අභිමන් හිමි බුහුමන් ලද අපේ කතුන්

මාර්තු 11, 2020

ලෝකයම එක්වී කාන්තා දිනයක් සැමරුව ද තවමත් කිසිදු නිදහසක් නැති අකුරක් ලියන්නට නොහැකි කතුන් ද ලොව වෙසෙයි. ලොවම විශ්ව ගම්මානයක් වුවද අද දවසේ ද ලෝකයේ ස්වභාවය එයයි. එහෙත් අභිමානවත් දේශයක කාන්තාවන් ලෙසින් ශ්‍රී ලාංකේය කතුන් ඊට බොහෝ ඉදිරියෙන් හිඳින්නේ සෑම අංශයකින්ම ඉදිරියට ඒමේ නිදහස අපේ රටේ කතුන්ට හිමිවී ඇති බැවිනි. අපි මේ සමරන කාන්තා දිනයේ දී යළි යළිත් මෙනෙහි කළ යුතු ලාංකේය කතුන් රැසකි. මේ මතක් කිරීම ඔවුනට කරන ගෞරවයකි.

අපේ මතකයට පළමුව නැඟෙන්නේ ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියයි. 1916 අප්‍රේල් 17 වැනි දා සිරිමා රත්වත්තේ නමින් ඇය උපදින්නේ රත්නපුරයේ දීය. දේශීය වෛද්‍යවරියක වූ රොසලින් හිල්ඩා මහවලතැන්න කුමාරිහාමි ඇගේ මවයි. පියා දේශපානඥයකු වූ බර්න්ස් රත්වත්තේ මහතාය. තෙවරක්ම අගමැතිනියක වන්නට අවස්ථාව හිමි වූ ඇය පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතීත්වය දරමින් මෙරට දී එය සංවිධානය කළ අයුරු අද ද වැඩිහිටි කාගේත් මතකයේ රැඳී ඇත.

අපේ රටේ පළමු වෛද්‍යවරිය කවුද? ඇය මේ රත්නායක මහත්මියයි. 1892 දී මහනුවර දී උපන් රත්නායක මහත්මිය මෙරට දෙවැනි වෛද්‍ය සිසුවියයි. 1916 දී කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හිමිකරගන්නා ඇය ප්‍රථමයෙන් සේවයට එක්වන්නේ යාපනයේ රෝහලකටයි.

පසුව ඇය හැව්ලොක් ආර්යා රෝහලේ සේවයට එක් වී (පසුව රිජ්වේ ආර්යා නමින් නම් කළ) එහි ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරිය බවට පත්විය. 1936 දී එහි ප්‍රධාන වෛද්‍යවරිය බවට පත්වූයේ ද ඇයයි.

එස්ලින් ඉසබෙල් දැරණියගල අපේ රටේ පළමු කාන්තා නීතිඥවරියයි. 1908 දී මහනුවරදී උපදින ඇය නුවර හිල්වුඩ් විද්‍යාලයෙන් හා කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරමයෙන් අධ්‍යාපනය හදාරා පසුව එංගන්තයට ගොස් ඔක්ස්ෆ(ර්)ඩ් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලැබ 1935 දී මෙරට ප්‍රථම නීතිඥවරිය ලෙසින් දිවුරුම් දෙයි. ශ්‍රී ලංකා කාන්තා නීතිඥවරියන්ගේ සංගමයේ ප්‍රථම සභාපතිනිය වන්නේ ද ඇයයි. ඇය රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටපු කතානායකවරයකු වූ ඔගස්ටස් අබේසේකර මහතාගේ දෙවැනි දියණියයි.

ලංකාවේ ප්‍රථම ඉංජිනේරුවරිය බවට පත්වන්නේ දමිළ කාන්තාවකි. ඇය 1942 දී යාපනයේ දී උපත ලබන ප්‍රමිලා ශිවප්‍රකාශපිල්ලෙයි ශිවසේගරම්ය. එහෙත් ඇය ජීවත් වූයේ කොළඹය.

කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1960 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා 1964 දී ඉංජිනේරුවරික බවට පත්වෙයි.

අපේ රටේ මහජන ඡන්දයකින් රාජ්‍යමන්ත්‍රණ සභාවට පත්වන ප්‍රථම කාන්තාව ඇඩ්ලින් මොලමුරේ නම් වන්නීය. 1890 දී උපන් ඇය කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදී සිසුවියකි. රාජ්‍යමන්ත්‍රණ සභාවේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක ධූරයට පත් සර් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා ඇගේ සැමියායි.

1928 දී ඊඩඥ ර්ඪඵබපර ර්‍ණට ඒ ඊපචඨඥඤර හෙවත් 'අභිරහසක ඛේදවාචකය' කෘතිය ලියූ රොසලින්ඩ් මෙන්ඩිස් ලංකාවේ ප්‍රථමයෙන් නවකතාවක් ලියා ප්‍රකාශයට පත්කළ කාන්තාව ලෙස සඳහන් වී ඇත.

ඩේසි මාරියා ෆ්ලෝරන්ස් සේනානායක ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වූවාය. 1903 ජුනි 19 වැනි දින මොරටුවේ දී දරුවන් අට දෙනකුගෙන් යුත් පවුලක උපත ලැබූ ඇය අධ්‍යාපනය ලැබුවේ කොළඹ වේල්ස් කුමරියගේ විද්‍යාලයෙනි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙරට ප්‍රථම කාන්තා ජනාධිපතිවරියයි.

ලංකාවේ ප්‍රථම මහාචාර්යවරිය බවට පත්වන්නට අවස්ථාව ලැබෙන්නේ කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි ශෂ්‍යාවක වන මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මියටයි. ඒ නීති අංශයෙනි. එමෙන්ම ඇය මෙරට විශ්වවිද්‍යාලයක ප්‍රථම උපකුලපතිනිය වන්නට ද අවස්ථාව හිමිකර ගෙන ඇත. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේය. එමෙන්ම ඇය මෙරට ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, මානව හිමිකම් නීතිය, සංවර්ධනය සහ නීති අධ්‍යාපනය යන අංශවලට අදාළ පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති කාන්තාවකි.

1996 දී මෙරට ප්‍රථම කාන්තා මහාධිකරණ විනිසුරුවරිය බවට පත්වන්නේ ද 2011 දී මෙරට ප්‍රථම හා එකම කාන්තා අගවිනිසුරුවරිය වන්නේ ද ශිරාණි අන්ෂුමාලා බණ්ඩාරනායක හෙවත් ඔබ හොඳින් හඳුනන ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. බම්බලපිටිය හෝලි ෆැමිලි කන්‍යාරාමයේ ආදි ශීෂ්‍යාවක වන අනූෂා සිරිරත්න මෙරට ප්‍රථම කාන්තා ගුවන් නියමුවරියයි.

රුධිර පාරවිලයනය නිසා ඒඩ්ස් රෝගියකුබවට පත් වූ ළමා රෝග වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මිය ද මේ මොහොතේ සිහිපත් කළ යුතුමය. ඇය ඒඩ්ස් රෝගීන් වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ කාන්තාවකි. වෛද්‍ය කෘති ගණනාවක් ද ඇය අතින් රචනා වී ඇත.

මේ අතර තවත් බොහෝ කතුන් ප්‍රමාණයක් අපි සිහහිපත්කළ යුතුව ඇත. ඒ අතර සිංහල සිනමාවේ ප්‍රථම නිළි රැජින මෙන්ම ගීත කෝකිලාවක වූ රුක්මණීදේවි, ප්‍රථම ඔලිම්පික් පදක්ම්ලාභීනී කාන්තාව වූ සුසන්තිකා ජයසිංහ, එවරස්ට් තරණය කළ ජයන්ති කුරුඋතුම්පාල, මෙරටින් බිහිවූ ප්‍රථම විවාහක රූ රැජන රෝසි සේනානායක, ඉන්දියවට ගිහින් බොලිවුඩය බබළවන ජැක්ලයින් ෆර්ඩිනෑඩ්න්ස් ආදී කතුන් ඒ අතර වේ.

 

2020/03/11 තරුණි බලන්න