අමෙරිකාවේ ගතකළ වසර හතර මගේ ජීවිතය වෙනස් කළා...

මාර්තු 18, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු

විලුදනි යටවර

 

ගුවන් හමුදා විශේෂ ගුවන් මෙහෙයුම් පක්ෂාංගයේ එකම කාන්තා නිලධාරිනිය

වින්මා රත්නසූරිය

 

සුන්දර සියුමැලි සිතක් ඇත්තී කාන්තාවයි. ඒ නිසාම ඇයව උපමා කරනුයේ ද එවැනි සිනිඳු, සුකොමළ දේටය. එවැනි කාන්තාවන් අතරේ පිරිමින් අභිබවා යන ක්ෂේත්‍රයක් නියෝජනය කරමින් දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් ඉදිරියටම යන්නියක මා අභිමුවේ සිටියි.

ස්කොඩ්‍රන්ඩ් ලීඩර් (Squadron leader)  විලූදනී යටවර නම් වූ ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරුවරියකි. (Aircraft Engineer)පසුගිය සතියේ පැවැති කාන්තා දිනයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංවත්සරයත් ඉලක්ක කරගනිමින් ඇය සොයා ‘තරුණී’ පුවත්පත පැමිණියේ ඉමහත් ළෙන්ගතුකමිනි.

ළමා අවධිය, පාසල් අවධිය අද ඔබ සිටින තැනෙහි මූලික අඩිතාලම වූවාට කිසිදු සැකයක් නැහැ. අපි යමු ඒ අතීතාවර්ජනයට 

මගේ ගම වට්ටප්පල, මහනුවර. පාසල් ගියේ මහනුවර මහාමායා විදුහලට. පුංචි කාලේ ඉඳන්ම මම පිහිනුම් ක්‍රීඩාවේ නියැළිලා තිබෙනවා.

මගේ අප්පච්චි වෛද්‍යවරයෙක්. අම්මා බැංකු නිලධාරිනියක්. ඒ අයත් කාර්යබහුල අය. සම්ප්‍රදායික විදිහට සිතමින් ගැහැනු ළමයි මේ මේ දේවල් කළ යුතුයි, කියන තැන ඒ අය හිටියේ නැහැ. උසස් පෙළ ගණිත අංශයෙන් කළා. ඉන්පසු ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතරේ මම දෙවැනි වරත් උසස් පෙළ කරමින් ඉඳිද්දි අප්පච්චි ඊට ඉස්සෙල්ලා වසරේ පත්තරේ තිබුණු දැන්වීමක් දැකලා මේ අවුරුද්දෙත් මේක එයි, සැලකිල්ලෙන් ඉන්න කිව්වා. මේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ Aeronantical Engineering උපාධිය සඳහා වූ වසර හතරක අමෙරිකා එක්සත් ජනපදයේ කරන පාඨමාලාවක්. ටෙලිකොම් ආයතනයේ වසරක පාඨමාලාවේ එක විෂයයක විභාගය ලියන්න කලින් මට ගුවන් හමුදාවේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීම ලැබුණා. ඒකල කඳවුරේ තිබුණේ. තුන්සිය ගණනක් පමණ හිටියා. එතැනින් තේරිලා තවත් සම්මුඛ පරීක්ෂණ 7 ක් විතර තිබුණා. 2007 මැයි වල මාත් තව පිරිමි ළමයකුත් තේරුණා. 2007 ජුනිවල අපි අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තය බලා පිටත්ව ගියා.

මගේ ජීවිතේ වෙනස් කර අත්දැකීම් රාශියක් ලබාදුන්නු පියවර ගණනාවක් ඉදිරියට ඔසවා තැබූ වසර හතරක් ගත කළා. කොලරාඩෝ ස්ප්න්ස්වල ඒ ඇකඩමිය තිබුණේ. අමෙරිකාවේ සියලුම ගුවන් හමුදා නිලධාරීන් පුරුදු පුහුණු කරන්නේ මේ ඇකඩමියේ. මගේ පන්තියේ එක්දහස් දෙසිය ගණනක් සිසුන් හිටියා. 1025 ක් තමයි උපාධිය සම්පූර්ණ කළේ. මේ අය අතරේ ගුවන් හමුදාවේ විවිධ අංශ නියෝජනය කරන අය හිටියා.

ඒ වසර හතර ඇතුළත වැදගත්ම වුණේ අපේ විෂය ඉංජිනේරු ක්ෂේත්‍රය වුණාට හැම පැත්තම ටික ටික හරි ඉගැන්නුවා. උදාහරණයක් ලෙස bebaviour scince, Military scince, biglogy psychology  මේ දේවලින් හොඳම දෙයක් දෙන්නයි ඒ අය සැලසුම් කරන්නේ. වසර 4 ක් ඉගෙන ගෙන වසර 5 ක් වැඩ කරන්න කියලයි ඒ අය කියන්නේ.

මගේ පන්තියේ ජාත්‍යන්තර සිසුන් හිටියේ 17 යි. අන්තිමට උපාධිය ලැබුවේ 13 යි. සමහරු මගින් නැවතුණා. මාත් එක්ක තව එක ගැහැනු ළමයෙක් හිටියා වෙන රටක. මම විතරයි උපාධිය අවසන් කළේ.

මේ අවුරුදු හතර මම ඉතා උනන්දුවෙන් කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරමින් උපරිම ඵල නෙළාගත්තා මගේ ප්‍රතිඵල අනුව මට විවිධ වරප්‍රසාද ලැබුණා. නාවික හමුදාවේ මාස 6ක පුහුණුවකුත් ලැබුණා. ඒ අයගේ නැව්, සබ්මැරීන්වලට යන්න අවස්ථාව හිමි වුණා.

මගේ කාමරේ හිටියේ අමෙරිකාවේ කෙනෙක්. එයා රෑට හැමදාම අඬනවා පුහුණුවීම් කාලේ. මම හැමවිටම හිතුවේ මට අඬන්න බැහැ. මගේ අම්මයි, අප්පච්චියි දෙන්නම කිව්වේ ඔයා නියෝජනය කරන්නේ ඔයාව නෙවෙයි. ශ්‍රී ලංකාව. මට අතරමඟ නවත්වන්න බැහැ. අපිත් එක්ක ඇකඩමියේ හිටපු අය හරියට උදවු කළා. මුල්කාලේ ඒ අයගේ  physical Fitness  එකට අපිට ළංවෙන්නවත් බැහැ. නමුත් අන්තිම වසර වෙද්දි මාව ඒ අයට අභියෝගයක් වුණා.

දැනට ගුවන් හමුදාවේ 9 දෙනයි ඉන්නේ අමෙරිකාවේ උපාධිය හදාරපු අය. තව දෙන්නෙක් එහේ ඉන්නවා. මේ අය අතුරින් ඉන්න එකම කාන්තා නිලධාරිනිය මම.



ඡායා -  ටෙනිසන් එදිරිසිංහ
 

 

2020/03/16 තරුණි බලන්න