අලුත් දෙයක් කරන තෙක් මට ඉවසිල්ලක් නෑ

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ සභාපතිනිය නීතිඥ වසන්ති මංචනායක
මාර්තු 18, 2020

ගොඩනැගිල්ලක් නිවෙසක් කරන්නේ ගැහැනියක විසින් යැයි කියමනක් පවතී. එය කොතෙක් දුරට සාර්ථකදැයි තම අත්දැකීම් අනුව සිතා බලන්නැයි මම ඔබට ඇරැයුම් කරමි. හොඳ මූල්‍ය කළමනාකරණයක් ඇති ගැහැනියකට එය පහසුවෙන් ම කළ හැකි දෙයකි. එපමණක් නොවේ, පවුලක් සාර්ථකව මෙහෙවිය හැක්කේ ද එවැනි තැනැත්තියකටයි.

සමාජයේ දී යම් වගකිවයුතු තනතුරක් හෙබවිය හැකි වන්නේ ද හොඳ කළමනාකරණයකින් යුතු තැනැත්තියකටයි. මෙහිදී මුදල් පමණක් නොව, කාල කළමනාකරණය ද වැදගත් වේ. නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාවේ වර්තමාන සභාපතිනිය වූ නීතිඥ වසන්ති මංචනායක ද නිසි කළමනාකරණයෙන් සාර්ථකත්වය කරා පා නැගූ කාන්තාවකි.

ඇගේ ගමන් මගේ තතු, සාර්ථකත්වයේ රහස් අප ඔබ වෙනුවෙන් හෙළි කරන්නේ ඉන් යම් ආදර්ශයක් ඔබේ ජීවිතයට නැතිනම් ඔබේ දරුවකුගේ ජීවිතය සාර්ථක කරගැනීමට උපයෝගී කරගත හැකි බැවිනි.

* ඔබේ කුඩා කාලය ගෙවුණු ආකාරය ගැන දැනගන්න අපි කැමැතියි..

මගේ ගම ගම්පහ කලගෙඩිහේන. මගේ මවුපිය දෙදෙනාම රජයේ සේවකයන් නිසා ඔවුන්ට මාරුවීම් ලැබෙන හැම තැනකට ම අපිත් ගියා.. මතුගම ආනන්ද විද්‍යාලයේත් මම ඉගෙන ගත්තා.. නැවත ගම්පහට ආවම අධ්‍යාපනය හමාර කළේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන්... පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා ඉන්ඩස්ට්‍රියල් මැනේජ්මන්ට් සඳහා. උපාධිය හදාරණ අතර ම විවිධ පාඨමාලාවන් කරමින් දැනුම එකතු කරගත්තා.

මම කාර්මික විද්‍යාලයට ගියා. එහිදී විදෙස් භාෂා, ඉංගී‍්‍රසි භාෂාව හැදෑරුවා. ඒ එක්කම නීති විද්‍යාලයටත් ගියා.. ඒ නිසා විශ්ව විද්‍යාලය තුළ වැඩි වශයෙන් රැඳෙන්න වුණේ නෑ.. යාළුවන්ගෙන් නෝට්ස් ඉල්ලගෙන තමයි පාඩම් කළේ. ඒත් නීති විද්‍යාලය එයට වඩා වෙනස්. එහි පැමිණීම ගැන විශේෂයෙන් හොයල බලනවා. ඒත් හැමදාම කැම්පස් ආව අයට වඩා මගේ ප්‍රතිඵල හොඳ තත්ත්යක තිබුණා. වැදගත් වෙන්නේ මේ හැමදේම එකවිට කරන්න පුළුවන් වීමයි.

මා සමඟ එකට උපාධිය ගත්ත යාළුවො හැමෝම වගේ ගුරුවරු විදියට පත්වීම් ගත්තා. ඒ අතරින් වෙනස් රැකියාවකට යොමු වුණේ මම විතරයි. ඒ සඳහා මම විවිධ පාඨමාලා හදාරා තිබීම වැදගත් වුණා. 1984 වසරේ දී මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියා ලාභියෙක් වුණා. මේ අතර මම ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා. මම එම ආයතනයෙන් විශ්‍රාම යන විට පියවරෙන් පියවර ඉදිරියට ඇවිත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිලය දක්වා පැමිණියා.

2015 වසරේදී මම මුදල් අමාත්‍යංශයට මාරු වුණා. එහි වසර තුනහමාරක පමණ කාලයක් සේවය කළා. මම නීතිඥවරියක් හැටියට නීතිඥ සංවිධානයක් පිහිටුවාගෙන ඒවායෙහිත් ක්‍රියාකාරී වුණා. ඒත් එහෙම වැඩ කරනවට අකැමැති පිරිසකුත් හිටියා. ඔවුන් නිතරම කළේ වැඩ කරන විට කකුලෙන් අදින එක.

ඇයගේ මුවේ මැවෙන්නේ තෘප්තිමත් සිනහවකි. එයින් ඇඟවෙන්නේ බාධා කොතෙක් පැමිණිය ද ඇය තමාගේ ගමන පැමිණි බවයි.

රැමිස් කියන තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතියක් තිබුණා. අපේ රටේ මුදල්වලින් සිංගප්පූරුවෙන් තමයි එය කළේ. මෙහි ව්‍යාපෘති නිලධාරිණිය ලෙසින් කටයුතු කිරීමේ අවස්ථාවත් මට හිමි වුණා. මේ දේවල් මම කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටිය කාලෙදියි.

මට මුදල් අමාත්‍යංශයට ගිහින් කරන්න දෙයක් තිබුණේ නෑ. එම කාලයේ දී මම මගේ සේවා කාලයේ දී ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් දේශීය ආදායම් පිළිබඳ පොතක් සම්පාදනය කළා. එහි තියෙන්නේ අපේ රටේ අය විය යුතු නියම බදු ප්‍රමාණය අය කරන්නේ නෑ. අයවිය යුතු බද්ද හා අයවන බද්ද අතර වෙනස හා එය අඩුකර ගන්නේ කෙසේද යන්න තමයි මේ පොතේ ඇතුළත් වෙන්නේ. මේ පොත මම බොහෝ අයට දුන්නා. මේ ආයතනයට එන විටත් ව්‍යාපෘතියක් හැටියට ඒ පොත තමයි දුන්නේ..

මෙය පර්යේෂණ කෘතියක්. විදේශ සංචාරවලට යන විට ඒ රටවල දී දකින දේ, පොත් පත් කියවලා ගත් දැනුම එකට ගොනු කළා. මට අමාත්‍යංශයට ගිය විට වැඩක් නැතිව ඉන්න බැරි නිසා මම මේ පොත සම්පාදනය කළා. එයින් ලොකු වැඩක් ගන්න පුළුවන් වුණත් මේ වෙනතෙක් ඒ ගැන අවධානයක් යොමු වුණේ නෑ.

* ඒ අත්දැකීම් සමඟින් මේ ආයතනයත් ඔබට සාර්ථකත්වය කරා ගෙන යන්න පුළුවන්...

ඇත්තට ම, මොකද අපි මේ තැන්වලට ඇවිත් ඉන්නේ ඒකටනේ.. අලුත් දෙයක් කරන තෙක් මට ඉවසිල්ලක් නෑ. පුරුදුවෙලා තියෙන්නේ ඒ විදියට. මම ධනාත්මක ලෙස සිතන අයට හරි කැමැතියි. මේ ආයතනයේ වුණත් ධනාත්මකව හිතන පිරිස තමයි මම හොයන්නේ.. මොකද එහෙම අයත් එක්ක ගමනක් යන්න හරි පහසුයි. අලුත් දෙයක් කරන්න ඕන.. මේ බැංකුව මඟින් යහපත් දෙයක් කළත් ජනතාව අතර ප්‍රචලිත වීම මදි බවක් මට දැනෙනවා. ඒ නිසා තවදුරටත් ජනතාවට සමීප විය යුතුයි.

 

2020/03/19 තරුණි බලන්න

 

ඡායා -  ශාන් රඹුක්වැල්ල