පුංචි සුරඟනන් සිහිගන්වන මල් කුමරියෝ

මාර්තු 18, 2020

සොඳුරු රුවැති මනාලියක් හුරුබුහුටි මල් කුමරියෝ කිහිපදෙනෙක් පිරිවරාගෙන ඉඳිද්දි මිහිබට සුරංගනාවක් පුංචි පුංචි සුරංගනාවන් රැසක් පිරිවරාගෙන ඉන්න හැඟීමකුයි කාටත් දැනෙන්නේ.

මනාලිය ඇතුළු පිරිවරේ මංගල ඇඳුම් නිර්මාණය වෙද්දී මල් කුමරියන්ගේ ඇඳුම් නිමවෙන්නේ මංගලෝත්සවයට සති දෙක, තුනකට පෙරදි වගේ. මිමි ගන්නෙත් අන්තිම සති දෙකේ. මල් කුමාරියන්ගේ ඇඳුම් නිර්මාණය කරද්දී මනාලියගේ අදහස්වලට මුල්තැන ලබාදෙන ගමන් ඇඳුම් නිර්මාණ ශිල්පියා හෝ ශිල්පිනිය ඊට අඩු වැඩි වශයෙන් අදහස් එකතු කරන්නත් අමතක කරන්නේ නැහැ.

සුදුසුම වයස

මල් කුමරියන් (Flower girls, Little maids) මේ වර්ග දෙකෙන්ම පිරිවර සඳහා එකතු කරගන්න අවස්ථාත් දැකගන්න පුළුවන්. මල් කුමරියන් සඳහා දැරියන් එකතු කරගනිද්දී අවුරුදු 3 1/2 ත් 6 ත් අතර වන්නේ නම් වඩාත් සුදුසුයි. නෑදෑ හිතවත්කම්වලට මෙවැනි දරුවන් එකතු කරගන්නත් ඇතැම් විටදී පුංචි දරුවෝ ඡායාරූපයකටවත් පෙනී සිටින්න සූදානම් නැහැ.

 

Little maid

Little maid  සඳහා සුදුසුවන්නේ හිරිමල් යෞවනයට (teenage) පා තැබීමට ඔන්න මෙන්න කියා සිටින දැරියනුයි. මීට වසර කිහිපයකට පෙර ගත් විවාහ මංගලෝත්සවවල මල් කුමරියන් තුන් හතර දෙනෙක්වත් අඩුම වශයෙන් සිටින්නට වුණා. එහෙත් දැන් මේ ප්‍රවණතාව වෙනස් වෙලා. මල් කුමරියෝ අඩුවෙලා. දෙවැනි මනාලියෝ වැඩිවෙලා. මනාලිය සැරසෙන ක්‍රමයට ගැළපෙන අන්දමින්

ඉතින් මේ පුංචි කුමාරිකාවෝ හැඩවැඩ කරද්දී මනාලිය සැරසෙන ක්‍රමය පිළිබඳ මූලිකවම හිතන්න වෙනවා. මනාලිය උඩරට ක්‍රමයට නම් හැඩවෙන්නේ මල්කුමරියෝ බොහෝවිට සැරසෙන්නේ ළමා සාරියෙන්.

එහෙමත් නැත්නම් හුරුබුහුටි ඔසරියකින්. ඒ සාම්ප්‍රදායික උඩරට මනාලියකගේ. නවීන ක්‍රමයට හැඩවන උඩරට මනාලියගේ මල්කුමරියෝ හැඩවෙන්නෙත් නවීන ක්‍රමයට. ළමා සාරියේ රෙද්ද කොටස වෙනුවට ෆිෂ්ටේල් ක්‍රමයට, ෆ්ලෙයාඩ් සාය,.. මේ ආදී ක්‍රමවලින් නිමවෙනවා.

ජැකට් එක ඕෆ් ෂෝල්ඩර් ක්‍රමයට සැකසුණා. මනාලිය උඩරට ක්‍රමයට ඔසරිය ඇන්දත් පුංචි පුංචි කුමරියන් දිග ගවුම් අඳින අවස්ථාත් තිබෙනවා. මේ ගවුම් පිම්බෙන විදිහටත් සකසනවා. දැන් දැන් ඉස්සරහින් කොටටත් පිටුපසින් දිගටත් තිබෙන ගවුම් මෝස්තරය මල් කුමරියන්ට ආදේශ කරන අවස්ථාත් දක්නට ලැබෙනවා.

මල් කුමරියන්ට පුංචි අතක් හැරුණු විට අත් දිගට දානවා හරිම අඩුයි. බෝරිච්චි අතක්, නභටට ක්‍රමයට අතක් වගේ දාන්න පුළුවන්. අත්රහිතව (sleveless)  බොහෝදුරට මැසෙන්නේ. ඕෆ් ෂෝල්ඩර් ද බහුලව යෙදෙනවා. එක් උරහිසක් පමණක් ඇති මෝස්තරත් දකින්න පුළුවන්.

සුව පහසුව

මල් කුමරියන්ට ඇඳුම් සකසද්දී සුවපහසුව පිළිබඳ වැඩිවැඩියෙන් හිතන්න වෙනවා. ඇඟට හිරිහැරයක් වූ විට හෝරාවක් දෙකක් යද්දී මේ පුංචි දරුවෝ ඇඳුම් ගලවලා වෙනමම සරල ඇඳුමක් ඇඳගෙන ඉන්නවා දැක ගන්න වෙන්නේ. ඇඳගෙන ඉඳිද්දි අපහසුවක් නොවන ආකාරයට ඇඳුම මහද්දි කාරණා කිහිපයක්ම පිළිබඳ සිතීම අවශ්‍යයි. සිරුරේ ප්‍රමාණයටම ඇඳුම මැහුවත් කිහිලි කට ආදිය එතරම් තදවෙන්න හොඳ නැහැ. ඒවගේම මූට්ටු කොටස් දරුවාගේ සිරුරේ ගෑවෙද්දී අපහසුවක් දැනෙන්න පුළුවන්. මෙහෙම වෙද්දි දරුවෝ ඇඳුම ප්‍රතික්ෂේප කරනවා.

නෙට් දාලා කැන්කැන්් දාලා ඇඳුම පුම්බනවා නම් කැන්කැන් කොටස සිරුරේ ඇනෙන්නේ නැතිවෙන්න ඉණේ වාටිය සැකසිය යුතුයි. මෙය සිරුරේ ගෑවීම දරුවාට අපහසුවක්. අනිවාර්යයෙන්ම දරුවා ඇඳුම ප්‍රතික්ෂේප කරාවි. ඇතුළත ඇති හැම මූට්ටුවක්ම නොපෙනෙන මූට්ටු ලෙස නිර්මාණය විය යුතුයි.

සුවපහසුව පිළිබඳ සිතද්දී මේ දැරියන්ගේ ඇඳුමට එකතු කරන රෙදි වර්ගය පිළිබඳවත් හිතන්න වෙනවා. ඒ අනුව බරින් අඩු සැහැල්ලු රෙදි එකතු කරන්නටම වෙනවා. සාමාන්‍යයෙන් නෙට් එකතු කරන්නේ මේ නිසා. නෙට් බරින් අඩුයි. කැන් කැන් එක ගත්තත් බරින් අඩුම එක ගන්න ඕන. මේවායින් දරුවාගේ ඇඳුමට සැහැල්ලුබවක් එකතු වේවි.

 

අදහස් දැක්වීම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

අමා චතුරිකා දේශප්‍රිය

 

2020/03/19 තරුණි බලන්න