ලොවට තිළිණ වූ කොවිඩ් සිහිවටන

මැයි 6, 2020

පුංචි හිතට කරුණාව, දයාව ඇතිකරවීම මවුපියන්ගේ වගකීමකි. සංවේදී, මානවගුණයෙන් පිරිහුණු පුද්ගලයකු රජකු වුවද ඵලයක් නැති බව බොහෝ අයගේ මතයයි.

මේ නිසාමදෝ එංගලන්තයේ ඔටුන්න හිමි කුමරකු වන විලියම් කුමරුගේ හා කේට් කුමරියගේ කුඩා පුතුගේ උපන් දිනය බ්‍රිතාන්‍ය සෞඛ්‍යය සේවයට උපහාර පිදීමට ඔවුන් යොදාගන්නා ලද්දේ. දේදුණු වර්ණ, එංගලන්තයේ සෞඛ්‍යය සේවයට උපහාර කිරීමට එරට වැසියන් යොදා ගැනිණි.

කුඩා ලුයිස් කුමරු තම දෑතේ දේදුණු වර්ණ තවරාගෙන සිනහමුසු මුහුණින් සිටින ඡායාරූප පෙළක් ඔහුගේ මව වන කේට් කුමරිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබිණි. මෙය කුමරුගේ දෙවැනි උපන් දිනය යෙදී තිබූ දිනයේ දී බ්‍රිතාන්‍ය සෞඛ්‍යය ක්ෂේත්‍රයට උපහාර පිණිස සිදුකර තිබීම විශේෂත්වයකි. දැනට කුඩා දරුවකු වුව ද ලුයිස් කුමරු අනාගතයේ දී මෙහි නියම අරුත වටහා ගනු ඇත.

**************************

කවුරුත් නොසිතූ ආකාරයේ වසංගතයක් ලොවම තම ග්‍රහණයට නතු කරගෙනය.

මිනිස් ජීවිත බිලිගත්ත ද මිනිසත්කම තමාගේ ග්‍රහණයට ගැනීමට කොරෝනා මාරයාට නොහැකිය. ලොව නන් දෙසින් විවිධ වූ ආරංචි මතුවන්නේ මේ වසංගත කාලයේ දී ඔවුන් තම ජීවිතවලට අත්දැකීම් ලබාගත් ආකාරය අනුවයි.

ස්වීඩනය ඉතාමත් සාමකාමී සුන්දර රටක් බව බොහෝ දෙනාගේ මතයයි. එය එසේ වන්නේ එහි ජීවත්වන මිනිසුන්ගේ සොඳුරු හදවත් නිසා වන්නට ඇත. එයට ස්වීඩනයේ රජ පවුලෙන්ම සාධක ලොවට අනාවරණය විය.

ස්වීඩනයේ සොෆියා කුමරිය ස්වේච්ඡාවෙන් ස්ටොක්හෝම් රෝහලේ කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට එක් වූවාය. ඇගේ සැමියා වන කාල් පිලිප් කුමරු ද එරට රෝහලක ස්වේච්ඡා සේවකයකු ලෙසින් සේවයට එක්ව සිටියි.

මේ සඳහා ඔවුන් දෙදෙනා දින තුනක පෙර පුහුණු සෞඛ්‍යය පාඨමාලාවක් හදාරා ඇත. රජවරුන් යනු මිනිසුන් තලා පෙළා ඔවුන්ගේ සුඛ විහරණය සිතන අය නොව, සංවේදී සිත් ඇතිව තම රටවැසියන්ගේ දුකට පිහිටවන්නන් බව ඔවුහු ලොවටම ආදර්ශයෙන් පෙන්වා දුන්හ.

***************************

විශ්ව නීතිය කාටත් පොදුය. එය රජ ගෙදරට ද, පැල්පතට ද එකය. මහල්ලාට මෙන්ම බිලිඳාට ද තරුණයාට ද එකය.

කොවිඩ් 19 වසංගතය එයට හොඳම උදාහරණයයි.

එංගලන්ත රජ පවුලේ රජ කුමරියක වන බියට්‍රිස් කුමරියගේ විවාහ මංගල්‍යය පැවත්වීමට නියමිතව තිබුණේ මැයි මස අගදීය. ඒ සඳහා සියලු කටයුතු සූදානම්ව තිබිණි. විවාහය පිළිබඳ අන් තරුණියන් සේම බ්‍රියට්‍රිස් කුමරිය ද සුබ සිහින දකින්නට ඇත.

එහෙත් ඇයගේ හදවත වේදනාවෙන් පුරවා, විවාහ මංගල්‍යය කල් දැමීමට රාජකීයයෝ තීරණය කළහ. ඒ ලෝකයම වසංගතයකට ගොදුරුව ඇති නිසා පමණක් නොව, බ්‍රිතාන්‍ය ද ඉන් දැඩි සේ පීඩාවට පත්ව ඇති නිසයි.

*************************

ඉන්දියාව කොරෝනා වසංගතයෙන් තම රටවැසියන් බේරාගැනීමට මුළු රටම වසා දැමීමට තීරණය කළේය. එය පහසු කාරණයක් නොවේ.

දරු ප්‍රසූතියකට ආසන්නව සිටි 27 හැවිරිදි පී‍්‍රතිට මෙය සිතා ගැනීමට පවා අසීරු කරුණක් විය. එහෙත් ප්‍රසූත වේදනා දැනෙද්දී ඇයත් සැමියාත් ඉතා අපහසුවෙන් බාධා මධ්‍යයේ රාහිපූර්හි රෝහලකට පැමිණියහ.

පී‍්‍රතිගේ පී‍්‍රතිය ඉහවහා ගියේ දරුවන් දැකීමෙනි. ඇයට එක් දරුවකු නොව, දරුවන් දෙදෙනෙකි. රෝස මල් දෙකක් වන් කුඩා බිලිඳකු හා බිලිඳියකට ඇය උපත ලබාදී තිබුණා ය. පී‍්‍රතිත් ඇගේ සැමියාත් තීරණය කළේ ඔවුන්ගේ උපත සිදු වු දුෂ්කර කාලය සිහිවීම සඳහා දරුවන්ට නම් තැබිය යුතු බවයි. ඒ අනුව බිලිඳියට කොරෝනා ලෙසත් බිලිඳාට කොවිඩ් ලෙසත් නම් තැබිණි.

තමන් දෙදෙනා ජීවත් කරවීම වෙනුවෙන් මවුපියන් වූ වෙහෙස අනාගතයේ දිනකදී කොරෝනා හා කොවිඩ් අනිවාර්යයෙන්ම දැනගනු ඇත. මෙය ඉන්දියාව වසා දැමුණු පසු සිදුවූ ප්‍රථම නිවුන් දරු උපතයි.