හෘදය ආශි‍්‍රත රෝගී තත්ත්වයක් තිබුණත් කොවිඩ් රෝගී දරුවන් එක්ක ඉන්නේ කැමැත්තෙන්මයි

මැයි 25, 2020

-IDH රෝහලේ ළමා රෝග

විශේෂඥ වෛද්‍ය මර්නා කබ්රාල්

සුරංගනා ලොවක අතරමං වෙමින් ඔහේ පාවෙවී ඉන්න පුංචි පැංචියන්ට ලෙඩක් හැදුණාම නම් මාපියන් ඇතුළුව කොයි කාටත් තදින්ම දැනෙන්න පටන් ගන්නවා. ඉතිං හිතන්නකෝ කොවිඩ් වගේ රෝගයකට පුංචි දරුවෙක් ගොදුරු වෙද්දී මාපියන් කොයිතරම් මානසික ආතතියකට ලක් වේවිද කියා.

කොවිඩ් සම්බන්ධයෙන් අපේ රටේ අනෙක් රෝහල්වලටත් ආදර්ශයක් වෙමින් ක්‍රියා කරන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යයතනය කොවිඩ් වැලඳුණු පුංචි දරුවන් වෙනුවෙනුත් අමිල මෙහෙවරක නියැළෙන්නේ මාපියන්ගේ සිතට අස්වැසිල්ලක් ගෙන දෙමින්.

එහි කතා නායිකාව නොහොත් ජාතික බෝවන රෝග විද්‍යයතනයේ දරුවන් භාරව කටයුතු කරන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මර්නා කබ්රාල් මහත්මියයි.

IDH රෝහලේ දරුවන් සම්බන්ධ අලුත්ම තත්ත්වය කෙසේද?

මේ රෝහලට යොමු කෙරෙන්නේ අවුරුදු 14 ට අඩු දරුවන්. දැන් අපට ඉන්නේ කොවිඩ් වැලඳුණු දරුවන් පමණයි. දරුවන් 17 දෙනකුට පමණ සුළු සුළු රෝග ලක්ෂණ තිබුණා. දරුවන් 28කට රෝග ලක්ෂණ තිබුණෙම නැහැ. මුළු ලංකාවේම කොවිඩ් වැලඳුණු සමස්ත රෝගීන් අතරින් දරුවන් සිටියේ සියයට පහක් වගේ.

සියලුම දරුවන් සාමාන්‍ය තත්ත්වයේ අය. රෝගය බරපතළ වුණු දරුවෝ කවුරුත්ම නැහැ.

මේ අයගෙ PCR පරීක්ෂණය සිදුකෙරෙන්නේ කොහොමද?

පුංචිම දරුවන්ගේ උගුරෙන් සහ නාසයෙන් සෙම බිඳීති ලබා ගැනෙනවා. ලොකු දරුවන්ට කැහැලා සෙම අරන් දෙන්න පුළුවන් නම් සෙම සාම්පල අරන් පරීක්ෂණ සඳහා යැවෙනවා.

පළමු පරීක්ෂණය පොසිටිව් වුණාම තවත් දවස් දහයකින් නැවත පරීක්ෂා කෙරෙනවා. මුලදී දවස් පහෙන් පහටත් පරීක්ෂණ කළා. නෙගටිව් වුණොත් පහුවදාටත් ර්‍ථඛ්අ පරීක්ෂණය කරනවා. ඒ පරීක්ෂණයත් නෙගටිව් වුණොත් පමණයි රෝහලෙන් පිටත් කෙරෙන්නේ. පිට පිට දෙවතාවක් නෙගටිව් විය යුතුමයි. දරුවනුත් නිවෙසට ගිය පසු දවස් 14 ක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතුයි.

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න