යන තැන දැන ගමන යමු ද?

ජූලි 15, 2020

ජීවිතයේ සාර්ථකත්වය සොයා යන ඔබට ඒ සඳහා ඉලක්කයක් ලබා දෙමින් අද සිට ඇරැඹෙන ලිපි පෙළෙහි පළමු වැන්න.

මොහාන් පල්ලියගුරු නම් වූ ඔහු ගැන බිඳක්....

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධිධරයකු වන මොහාන් පල්ලියගුරු අලෙවිකරණය පිළිබඳ අමෙරිකාවේ ඩිප්ලෝමා ධාරියකු මෙන්ම ජර්මනියේ ගුමස්බැක්හි නායකත්වය පිළිබඳ අන්තර්ජාතික පුහුණු ආයතනයේ පුහුණුව ලබා ඇති අතර මනෝ විද්‍යා උපදේශකවරයකු වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් හරහා පුද්ගල සාර්ථකත්වය පිළිබඳ විවිධ වැඩසටහන් මෙහෙයවන ඔහු රාජ්‍ය ආයතනවල සිට පෞද්ගලික ආයතන දක්වාත්, පාසල් ශිෂ්‍යයාගේ සිට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා දක්වාත් විවිධ මාතෘකා ඔස්සේ දේශන මෙහෙයවන්නෙකි. විශේෂයෙන් ම තරගකාරී පෞද්ගලික ආයතන තුළ වෘත්තීය සාර්ථකත්වය අත්කර ගැනීමටත්, ආයතනික සාර්ථකත්වය උදාකර ගැනීමට අවශ්‍ය වන සේවක අභිප්‍රේරණය, පාරිභෝගික සත්කාරය, ධනාත්මක ආකල්ප සංවර්ධනය ආදී ලෙසින් වූ මාතෘකා මෙන්ම මෘදු කුසලතා සංවර්ධනය ඔහුගේ ප්‍රධාන විෂයපථය යි.

අද සිට තරුණී පාඨක ඔබටත් නිසි ඉලක්කයකින් යුතුව ගමන් කර ජීවිතය සාර්ථක කරගන්නට ඔහු ප්‍රදීපස්ථම්භයක් ලෙස මඟ පෙන්වන්නට සූදානමින් සිටී. ඒ අනුව 'ඉලක්කය' වෙත යන ගමන් මාර්ගය පිළිබඳ සකස්කෙරෙන මේ ලිපි පෙළ සමඟ ඔබත් ජීවිතය ජයගන්නට අප සමඟ එකතු වන්න.

 

ඡායා -ද ශාන් රූපස්සර

---------------------------------------------------------

 

ජීවිතය සාර්ථක කරගැනීමට බොහෝ දෙනා කැමැති ය. එහෙත් ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි දැනුවත් නැත. ගමනක් යාමට නම් යන ගමන ගැන අප දැන සිටිය යුතුය. නොදන්නා ගමනාන්තයකට ගමනක් යාම ඉබාගාතේ ඇවිදීමකි.

අප ගමනක් යාම සඳහා පිටත් වීමට පෙර, ගමනාන්තය කොහේද? ඒ සඳහා කොතරම් දුරක් යා යුතුද? යන්නේ කෙසේද? යන්න විමසා බැලිය යුතුය. ජීවිත ගමන ද එසේමය. ඉලක්කයක් අවශ්‍ය වන්නේ ඒ සඳහා ය.

අදින් ඇරඹෙන ඉලක්කය, ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සොයා යාම සඳහා ඉලක්කයක් ලබා ගැනීමට ඔබට මඟ පෙන්වයි.

අප ගොඩනැගිල්ලක් සාදා ගැනීමට නම් පළමුවෙන් ම ඒ සඳහා සිදු කළ යුතු පියවර කිහිපයක් ඇත. ගොඩනැගිල්ල සෑදීමට සැලැස්මක් තිබිය යුතුය. පසුව ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ සොයා ගත යුතුය. ගොඩනැගිල්ලේ කොටස් සැකසීම සඳහා ඒ වෙනුවෙන් දක්ෂ සුදුසු ම පුද්ගලයන් සොයා ගත යුතුය. ඉන් පසුව සැලැස්මට අනුව ගොඩනැගිල්ල සැකසීම ආරම්භ කළ යුතු අතර සැලසුමට අනුව එය නිර්මාණය වේදැයි සොයා බැලිය යුතුය. අපේ ජීවිත ද මෙවැනි ය.

අපේ ජීවිතය යන අතක යාමට හැර ඔහේ බලා සිටීමට පුළුවන. මෙහිදී ජීවිතය සාර්ථක වීමට මෙන්ම අසාර්ථක වීමට ද හැකිය. සාර්ථක වුවහොත් අපි එය වාසනාව නිසා සිදු වූවක් බව පවසයි. අසාර්ථ වුවහොත් අවාසනාව නිසා එසේ වූවා යයි පවසා අප හිත හදා ගැනීමට පුරුදු වී සිටී. අපේ මැදිහත් වීමකින් තොරව සිදුවන සාර්ථක අසාර්ථක බව අපි මෙලෙසින් වාසනාවට හා අවාසනාවට බාර කිරීම සාමාන්‍ය තත්ත්වයයි.

ඒත් සාර්ථකත්වය ලබා ගැනීමට කැමැති පුද්ගලයෙක් කිසි දින වාසනාව මත ගොඩනැගිල්ල හැදෙන තෙක් බලා නොසිටී. ඔහු තමාට අවශ්‍ය කුමනාකාරයේ ගොඩනැගිල්ලක් දැයි තීරණයකොට එයට අවැසි සැලැස්ම සකසාගෙන, ඒ ඒ කොටස් සැකසීම සඳහා අදාළ ක්ෂේත්‍රවල දක්ෂයන් ඒ සඳහා යොදවා ගැනීමට කටයුතු කරයි. තමාට අවශ්‍ය ගොඩනැගිල්ල තමාගේ සිතැඟි පරිදි සකසා අවසානයේ දී පවසන්නේ 'මම සිතූ පරිදිම ගොඩනැගිල්ල හදා ගත්තා' යනුවෙනි.

මනුෂ්‍ය ජීවිතය ද මෙවැනිය. ඉබේ හැදෙන්නට දී බලාගෙන සිටීමට මෙන්ම ඉලක්කයක්, සැලැස්මක් ලබා දී ඒ අනුව හැඩගස්වා ගැනීමට ද හැකියි. මේ වර්ග දෙකේම පුද්ගලයෝ සමාජය තුළ සිටිති. සමහරු ජීවිතය ඔහේ ගලාගෙන යාමට ඉඩහැර බලාසිටිති. මෙවැනි ජීවිත සාර්ථක වන්නේ සම්භාවිතාවක් මතයි. ඒවා සාර්ථක වීමට මෙන්ම නොවීමට ද ඉඩ ඇත.

 

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.