සොබාදහමේ රිද්මය තේරුම් ගත් මිනිසාට මුළු ජීවිතයම කලාවකි

ජූලි 15, 2020

ගෙවත්ත යනු අප ජීවත්වන පවුලේ අවශ්‍යතාවන් ඉටු කරන හා පවුලේ සාමාජිකයන් ගැවසෙන වටපිටාවයි. එසේම ක්‍රමාණුකූලව හා අලංකාරව සකස්කරගත් ගෙවත්ත මනස නිරවුල් කරන ස්ථානයකි. නිවෙස අවට භූමියේ අලංකාරවත් ශාක වගා කිරීම හා ආහාර හා පෝෂණ අවශ්‍යතා සපුරාලන වගා පද්ධතිය ගෙවතු වගාව නමින් නිර්වචනය කළ හැකිය.

විශේෂයෙන් කිව යුතු වන්නේ අද විශ්වයම මුහුණ පා සිටින කොරෝනා ව්‍යසනය හමුවේ සෑම රටකම ආර්ථිකය බොහෝ සෙයින් වැටී තිබේ. ඊට සෘජුවම බලපා ඇත්තේ නිෂ්පාදනය බිඳ වැටීමයි. ආනයන හා අපනයන කටයුතු අඩාල වීමත් සමඟම රට තුළ කෘෂි කර්මාන්තය දියුණු කළ යුතු බව අප සියල්ලන්ටම වැටහී ගිය කරුණකි. මේ අතර ගෙවත්තෙ කුමන හෝ ඇති ඉඩම් ප්‍රමාණයක වගා කටයුත්තක් කිරීමට උනන්දු කරවීම බොහෝ මාධ්‍ය තුළින් මේ දිනවල අසන්නට හා දකින්නට ලැබෙන කරුණකි. මෙනයින් බලන කළ ගෙවතු වගාව නිවසට මෙන්ම රටට ද බලපාන ලෙස සකස් වුණු සංකීර්ණ ව්‍යාපෘතියකි.

බොහෝ දෙනාට බලපාන ගැටලුව වන්නේ තමන්ට ඇති ඉඩ ප්‍රමාණය වගා කටයුතු කිරීමට ප්‍රමාණවත් නොවීමයි. විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික පරිසරවල සිටින නිවැසියන්ට මෙන්ම මහල් නිවාස වල සිටින නිවැසියන්ට මෙය ගැටලු සහගත තත්ත්වයක් වී ඇත. එහෙත් එය ගැටලුවක් කර ගතහොත් කිසිමදාක උක්ත සඳහන් වූ නිවැසියනට පැළයක් පැළ කර ඉන් ලැබෙන අධ්‍යාත්මික සුවය අත් විඳිය නොහැකි වනු ඇත. අර්ධ නාගරික හා නාගරික පරිසරයක ගෙවත්තක් ඉදිකිරීමට භූමියෙන් ලබා ගත හැකි ඉඩකඩ ඉතා සීමිත බව ඇත්තකි. එබැවින් නව කෘෂි කර්ම තාක්ෂණය මඟින් හඳුන්වා දී ඇති සරල වගා ක්‍රම අනුගමනය කිරිමෙන් උක්ත සඳහන් නිවැසියනට ඇති ගැටලුවට පිළියම් ලබා ගත හැකිය. එනම් සිරස් අවකාශයේ ඉඩ ප්‍රයෝජනයට ගෙන භෝග වගාවේ යෙදීමට අවධානය යොමුකිරිමයි. ඉතාම කෙටියෙන් ඒ වගා ක්‍රම මොනවාදැයි යන්න මෙම ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරමි.

වගා මලු ක්‍රමය

භූමියේ ඉඩකඩ සීමා වූ විට සිමෙන්ති පෝච්චි, ප්ලාස්ටික් පෝච්චි, මැටි බඳුන්, ඉවතලන හාල් මලු යනාදිය භෝ වගා කිරීම සඳහා යොදා ගැනේ. මේ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කළ වගා මලු කෘෂි කර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති මධ්‍යස්ථානවලදී ඉතා අඩු මුදලට ලබා ගත හැක. මේ සඳහා වගා මාධ්‍ය ලෙස සම ප්‍රමාණ වලින් මිශ්‍රකර ගත් කොම්පෝස්ට් පොහොර හා මතුපිට පස්තට්ටුව හා කොහු බත් ද මිශ්‍ර කර ගත හැක. මෙයින් තෙතමනය රඳා ගැනීමට උපකාරී වේ. (මෙම පොහොර වර්ගද ඉතා අඩු මුදලකට කෘෂි කර්ම දෙපාර්තමේන්තු මධ්‍යස්ථානවලින් මිලදී ගත හැක.) එක මල්ලක කැරට් (මෙය පාරිසරික දේශගුණික සාධක මත වගා කළ හැකි භෝගයකි) බීට රූට්, නෝකෝල් වැනි භෝග වර්ග තුන හතරක් ද සිටුවිය හැක. ජලය භාවිතය හා පොහොර භාවිතය වගා මළු ඇසුරෙන් ගෙවතු වගාව පවත්වාගෙන යෑමේදී ඉතා කාර්යක්ෂමව සිදුවිය හැක. මෙම වගා මල්ල භූමියෙන් බැහැරව සඳලුතලයක මත හෝ කොන්ක්‍රීට් පියස්සක් මත තබා ගත හැක.

වගා බිත්ති

නිවාස ආශ්‍රිතව පවතින කොන්ක්‍රීට් හෝ ගඩොල් බිත්ති ඉදිකරන මොහොතේ එහි පිටතට ‘ඹ්’ අකුර හැඩය සහිත යකඩ ආධාරකයක් නිර්මාණය කිරීමෙන් වගා බඳුන් රැඳවීම සඳහා ආධාරකයක් පිළියෙළ කර ගත හැක.

වගා රාක්ක

මේ සඳහා වැහි පිහිලි යොදා ගත හැක. එනම් ‘ඒ’ අකුරේ හැඩයට පිහිටවන පරිදි ඉහළින් සරනේරු වලින් සම්බන්ධ කළ හැකි වන සේ හේත්තු කොට පිහිටුවා ගත් රාමු දෙකක් මත හරස් අතට පිහිලි පද්ධතියක් සකස්කොට කොහුබත් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කොට සෑදූ මාධ්‍යයෙන් රාක්ක (පිහිලි) පුරවා ගනු ලබයි. වැඩි ජල ප්‍රමාණය බැස යෑම සඳහා පිහිලි පහළ කුඩා සිදුරු සකස් කර ගත යුතුව ඇති අතර රාක්ක දෙකෙළවර ආවරණය කළ යුතුය. රාක්ක දෙකක් අතර පරතරය අඩියක්වත් පමණක්වත් තිබිය යුතු අතර, අස්වනු නෙළීම, නඩත්තු කිරීම පහසුවීම සඳහා උස අඩි 4 1/2 ක් පමණ උසකින් රාක්ක ගැසීම පටන් ගත යුතුය. විශේෂයෙන් පලා වර්ග වගා කිරිම සඳහා මෙම ක්‍රමය උපයෝගි කර ගත හැකි අතර, මිරිස් වැනි බෝගද වගා කළ හැකියි.

මීට අමතරව නාගරික හා අර්ධ නාගරික පරිසරයෙන් ඔබ්බට ගිය නිවැසියන් සඳහා යම්කිසි භූමි ප්‍රමාණයක් ඔවුන් සතුව තිබිය හැකිය. ඒ සඳහා ගෙවත්ත/ගොවිපොළ සඳහා සකසා ගත් මූලික සැලසුමක් ඔබ සතුව තිබිය යුතුය. පළමුව බිම සැකසුම කෙරේ වැඩි අවධානය යොමු කරමු.

 

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.