පළමු පියවර ගමනක ආරම්භයයි...

අගෝස්තු 5, 2020

ප සිදු කරන සෑම කටයුත්තකට ම යම් කිසි ඉලක්කයක් තිබිය යුතුය. එය දීර්ඝකාලීන විය හැකිය. කෙටි කාලීන විය හැකිය. එහෙත් යම් සාර්ථකත්වයක් ලබා ගැනීමට නම් එහි අවසානය මෙසේ විය යුතු යැයි සිතිය යුතුය. එය ව්‍යාපාරික ඉලක්කයක්, රැකියා ඉලක්කයක්, අධ්‍යාපනික ඉලක්කයක්, සාමාජයීය ඉලක්කයක්, පවුල සම්බන්ධ ඉලක්කයක්, තමාගේ පෞද්ගලික කරුණක් සම්බන්ධ, පුරුද්දක් සම්බන්ධ ඉලක්කයක් විය හැකිය.

මේ කුමනාකාර ඉලක්කයක් වුවද එය සාක්ෂාත් කරගැනීමට නම් ඔබ වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. එසේ නොමැතිව කටයුතු කිරීමෙන් නිසි සේ ඉලක්කයන් සපුරා ගැනීමට නොහැකිය.

පසුගිය සතියේ දී අප කතාබහ කළේ කුමන පරිසරයක දී වුවද අපේ ඉලක්කය සපුරා ගැනීමට අපට හැකි විය යුතු බවයි.

පවතින පරිසරය බලපෑම් කරන්නේ නම් අපට එම පරිසරය හෝ පවතින තත්ත්වය වෙනස් කළ නොහැකි නම් අප සිතන ආකාරය වෙනස් කිරීමෙන් හෝ යමක් දෙස බලන ආකාරය වෙනස් කිරීමෙන් සාර්ථකත්වය කරා පහසුවෙන් ළඟා විය හැකි බව අප ඔබට නිදසුන් සහිතව පැහැදිලි කළෙමු.

අපි යමක් ආරම්භ කිරීමේ දී සෑම දෙයක් ම සදාකාලික නොවන බව එනම් තාවකාලික බව සිතේ තබාගෙන කටයුතු කළ යුතුයි. එවිට යම් පසුබෑමක් හෝ යම් ගැටලුවක් පැමිණි විට සිත අධෛර්යමත් නොවී තබා ගැනීමට රුකුලක් වනු ඇත.

එමෙන්ම දැන් පවතින කොවිඩ් වසංගත තත්ත්වය නිසා යමෙක් පසුබා සිටි නම් හෝ ඒ පිළිබඳ සිතා තමාගේ කටයුතු පසුවට කල් දමා ඇත්නම් සිතිය යුත්තේ සෑම දෙයක් ම සදාකාලික නොවන බැවින් කොවිඩ් වසංගතය ද සදාකාලික නොවන බවයි.

එබැවින් මෙම වසංගත තත්ත්වය නිමාවන තෙක් ජීවිතයේ ඉලක්කය සපුරා ගැනීමට පසුබාමින් නොසිට එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන අනෙකුත් වැඩකටයුතු සිදු කරගත හැකිය. එවිට කොවිඩ් වසංගත තත්ත්වය නිමා වන විට ඔබ යම් තරමකට හෝ සාර්ථකත්වය කරා පියවර තබා ඇති බව ඔබට ම පෙනේවි.

ඒ වන විට අවම වශයෙන් ඔබේ ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන යම් කොටසක් හෝ සකසාගෙන තිබෙන්නට පුළුවන. එමනිසා ඔබේ ඉලක්කය කරා ගමන් කිරීමට අදම පියවර තබන්න.

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතා සිටී නම් ව්‍යාපාරික ඉලක්කයක් සකසා ගන්නේ කෙසේද?,

ව්‍යාපාරික සැලැස්ම සකසා ගන්නේ කෙසේද?, කුමනාකාරයේ ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුද?, ව්‍යාපාරික සැලසුමක් අත්‍යවශ්‍යද?, සාර්ථකත්වය සඳහා වාසනාව- අවාසනාව බලපානවාද?, අනෙක් අයගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද?, මේ කටයුත්ත සඳහා මූල්‍ය පහසුකම් සලසා ගන්නේ කෙසේද? යනාදී වශයෙන් බොහෝ කරුණු පවතී.

මේ සියල්ල සඳහා කෙටියෙන් ම පැවසිය හැකි දේ වන්නේ මේ සියල්ල පසෙකින් තබා ඔබට හැකි ආකාරයෙන් පළමු පියවර මේ සඳහා තබන ලෙසයි.

අපේ රටේ මෙන්ම ලෝකයේ බොහෝ සාර්ථක ව්‍යාපාරිකයන් මහා සැලසුම් සකස් කරගනිමින් ව්‍යාපාර ආරම්භ කළ අය නොවේ. ඔවුනට තිබී ඇත්තේ තමා කරන දේ පිළිබඳ ඉලක්කයක් පමණි. එම ඉලක්කය වී ඇත්තේ ‘මම ව්‍යවසායකයෙක් ලෙසින් ගමනක් යා යුතුයි‘ යන්නයි.

අප ගමනක් යාමේ දී අසීරු වන්නේ පළමු පියවර තැබීම පමණකි. නමුත් ගමන යාමේදී අනෙකුත් කළමනා එකතුකර ගැනීමට හැකිය. නමුත් සියල්ල සකස් කරගෙන මේ ගමන යාමට පෙරුම් පුරන විට කිසිදිනෙක එම ගමන යාමට නොහැකි වන්නට ද පුළුවන.

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.