ඉතාලි මැතිසබයට ගිය අවතාරය

අගෝස්තු 19, 2020

මැතිවරණයකදී අපේක්ෂකයන් උත්සාහ ගන්නේ හැකි තරම් තම මුහුණ ජනතාවට ප්‍රදර්ශනය කිරීමටය. එහෙත් 2018 ඉතාලි මැතිවරණයට පත් අපේක්ෂිකාවක ඡන්දයට ඉදිරිපත්වූයේ මුහුණ ආවරණය කරගෙනය.

එපමණක් නොව ඇය සිය නම ද හෙළි නොකළාය. නම නොදන්නා නමුත් මුහුණ දැක නැතත් මාෆියා විරෝධී අපේක්ෂිකාවට ජනතා මනාපය හිමි විය. ඇය නම හෙළි කළේ මැතිවරණයෙන් පසුවය. ඒ සමඟම ඇය ලොවෙන් සඟවා ගෙන සිටි රහසක් ද හෙළිවිය.

පියරා එයිලෝ ඇයගේ නමයි. මාෆියාකරුවන් විසින් ඇයගේ ජීවිතය බිලිගනු ලැබුවේ වයස අවුරුදු දාහතරක් තරම්වූ නව යොවුන් වියේදීය. පියරාගේ පියා ගඩොල්වලින් විවිධ නිර්මාණ කළ කෙනෙකි. මව මැහුම් ශිල්පිනියකි. මාපිය තුරුළේ සැහැල්ලුවෙන් සතුට්න් හැදුණු වැඩුණු ඇයට තිබු‍ණේ එකම ඉලක්කයකි. හොඳීන් සිප් සතර හදාරා උසස් රැකියාවක නියැළීමේ සිහිනය දකිමින් සිටි ඇයට තිගැස්සී අවදිවීමට සිදුවූයේ නිකොලෝ ආට්‍රියා මුණ ගැසීම නිසාය. ඔහු පළාතේ මාෆියා ප්‍රධානියාගේ පුතු බව ඇය දැන සිටියේ නැත.

නිකොලෝ පියරාට ආදරය කළත් පියරා නම් ඔහුට සෙනෙහසක් දැක්වූයේ නැත. එහෙත් ඔහුගෙන් වෙන්වීමට ද ඇයට ඉඩ නොලැබුණි. මාෆියා කල්ලියක නායකයා වූ නිකොලෝගේ පියා විටෝ පියරාගේ නිවෙසට පැමිණ පියරාට තර්ජනය කළේය. නිකොලෝ සමඟ විවාහ වූවේ නැත්නම් ඇයගේ පවුලම විනාශ කරන බව මාෆියා නායකයා පැවසූ පසු ඔහු සමඟ විවාහ වනු විනා කළ හැකි වෙනත් කිසිවක් නොවීය. දහඅට වැනි වියේදී ඇය නිකොලෝ සමඟ විවාහ වූවේ බලවත් අකැමැත්තෙනි. දෙදෙනාගේ විවාහයෙන් හරියටම දින නවයකට පසු විටෝ ඝාතනය කෙරිණි. නිකොලෝ ඝාතකයන් සොයාගන්නා බවට පියාගේ දේහයට අත තබා දිව්රුවේය.

පියාරා නිකොලෝව කෙතරම් පිළිකුල් කළා ද කිව්වොත් ඔහුගෙන් දරුවකු උපදීවී යන බියට උපත් පාලන පෙති ගත්තාය. මාෆියා පරපුර රැක ගැනීමට දරුවකු බලාපොරොත්තුවෙන් සිටි නිකොලෝ ඇය උපත් පාලන පෙති ගන්නා බව දැනගෙන දිගින් දිගටම පහර දුන්නේය. මනාපයක් නැති වුණත් ඇය නිකොලෝ නිසා මවක වූවාය. ඔහු බලාපොරොත්තු වු‍ණේ පුතෙකි. පියාරා පැතුවේ දියණියකි. ගැබිනියකව සිටියදීම ඇය පොලිස් නිලධාරීන් තෝරා ගැනීමේ විභාගයට පෙනී සිටියේ සැමියාගේ විරෝධය සහ ගුටි බැට මධ්‍යයේය. විභාගය අසමත් වුවත් දියණියකට උපත දීමෙන් ඇය නිකොලෝගේ බලාපොරොත්තුව සුනු විසුනු කළාය. පුදුමය නම් ඉපදු‍ණේ දියණියක වුවත් ඔහු දියණියට පණ මෙන් ආදරය කිරීමයි. වැඩි කලක් ගත නොවිණි. ඔහු පියාගේ ඝාතකයන් සොයන නිසා මාෆියා කල්ලිය ඔහුව ද බිලිගත්තේය.

පියාරාගේ ජීවිතය උඩුයටිකුරු වූයේ ඉන්පසුවය. පියාරා පලා ගියාය. ඇයට නීතිඥයන්ගේත් පොලිසියේත් රැකවරණය ලැබිණි. පියාරා සිය නම පවෝලා ලෙසින් වෙනස්කර ගත්තාය. කුඩා දරුවන් රැක බලාගන්නියක ලෙස සේවය කළාය. ලැබෙන විවේකයේදී ඇය චිත්‍ර ඇන්දාය. ජීවිතයේ පළමු වරට ඇයට ස්වාධීනව තීරණ ගැනීමට හැකිවිය. පියාරාට තමන් කැමැති අන්දමේ පෙම්වතකු මුණගැසිණි. ඇය ඔහුට මාෆියා පවුලකට මැදිවී ගෙවූ අමිහිරි දිවිය හෙළි කළාය. දෙදෙනා 2000 වසරේදී විවාහ වූහ. පියාරාට ඒ විවාහයෙන් දියණියන් දෙදෙනකු ලැබිණි.

ඇය දිගින් දිගටම පොලීසියේ ද සහාය ඇතිව පාසල්වල මාෆියා

විරෝධී දේශන පැවැත්වූවාය. පියාරාට දේශපාලනඥයන් මුණ ගැසු‍ණේ දේශනයක් පැවැත් වීමට ගිය අතරවාරයකදීය. ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණට ඉදිරිපත් වීමට ඔවුන්ගෙන් ලැබුණු ඇරියුම ඇය ප්‍රතික්ෂේප නො කළාය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි විවිධ ජාවාරම් රජකරවන මාෆියාවන්ට එරෙහිව සටන් කිරීමටය.

මුහුණක් නැති තරු පහේ ක්‍රියාකාරිත්වයේ අපේක්ෂිකාව ලෙස ජනප්‍රියවූ පනස් තුන් හැවිරිදි ඇය අද එරට කැපී පෙනෙන දෙස්පාලන චරිතයකි.