සාර්ථකත්වයට අනිවාර්යයෙන් තිබිය යුතු කුසලතා හඳුනාගනිමු

සැප්තැම්බර් 9, 2020

අප බොහෝ දෙනකුට ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය ය. එහෙත් එම සාර්ථකත්වය ලබා ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ යම් ගැටලුවක් පවතී. අපි 'ඉලක්කය' වෙතින් ඔබට පවසන්නේ ජීවිත සාර්ථකත්වය උදෙසා ජීවිතයට සුදුසු ඉලක්කයක් ලබාගෙන එය සපුරා ගන්නා ආකාරයයි.

පසුගිය ලිපි කිහිපයේ දී ම අපි ලෝකයේ නම ගිය සාර්ථක පුද්ගලයන්ගේ ජීවිතවලින් අපට ලබා ගත හැකි ආදර්ශ පිළිබඳ කතා බහ කළෙමු. ඔවුන් ලෝකයට ප්‍රකාශ කර ඇති ඔවුන්ගේ ජීවිත දර්ශනවලින් විවිධ කරුණු උපුටාගෙන එය ඔබේ සාර්ථකත්වය උදෙසා යොදා ගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කළෙමු.

අද, අප ඔබ සමඟින් කතා කිරීමට අදහස් කරන්නේ අපේ ම රටේ තරුණියකගේ ජීවිත කතාවෙන් ඇයගේ සාර්ථකත්වයට හේතු වූ කාරණා පිළිබඳ කරුණයි.

මගේ කාර්යාලයට දුරකථනයෙන් කතා කළ මවක් ඇගේ දියණිය පිළිබඳ දුක් ගැනවිල්ලක් මට ඉදිරිපත් කළා. ඇගේ දියණිය රැකියාවට යාමට අකැමැති බවත්, රැකියාවට ගොස් පැමිණි පසු හඬන බවත්, රාත්‍රියේ නිදිවර්ජිතව සිටින බවත්, ඇතැම් දිනවල දී උදෑසන කාර්යාලයට ගිය පසුව රාත්‍රිය වනතෙක් වැඩ කිරීමට සිදු වන බවත්, ඇයට කාර්යාලයේ වැඩ කළමනාකරණය කරගැනීමට නොහැකි නිසා ඉන් ඉවත් වීමට සිතන බවත් ය. මෙම තරුණිය කළමනාකාරිණියකි.

පසුව මේ තරුණිය මා හමුවීමට පැමිණියා. ඇය උපාධි දෙකක් ඇති, වෘත්තීය සුදුසුකම් ද සපුරා ගත් දක්ෂ තැනැත්තියකි. තමුන්ගේ විෂය පරිපථය ගැන මනා දැනුමක් ඇති අයෙක්. වෘත්තීය සාර්ථකත්වය දෙස බැලූ විට ඉතා කෙටි කාලයක් ඇතුළත කළමනාකාරවරියක් ලෙස ඉහළ තත්ත්වයකට පැමිණීමට හැකි වූ තරුණියක්.

ඇයට රැකියාව එපා වීමට හේතුව කුමක්ද? ඇයට පහළින් සේවක කොටසක් හා ඇයට ඉහළින් නිලධාරී මඬුල්ලක් වේ. සභාපතිතුමා හා අධ්‍යක්ෂවරු ඇයට, ඇය සිටින අංශයට වැඩ පැවරූ විට තමාගේ සේවකයන් යොදවා එම කටයුතු නිසියාකාරව කිරීම ඇගේ රාජකාරියයි. නමුත් මෙහිදී ඇය දැඩි පීඩනයකට ලක් වී ඇත්තේ අනෙක් අය ලවා වැඩ කරවා ගැනීමට වඩා තමා විසින් ම බොහෝ වැඩ කිරීමට යාම නිසා අනවශ්‍ය පීඩනයට ලක් වී තිබීමෙනි.

විශේෂයෙන් ම අපේ රටවල අලුතින් උසස්වීම් ලබන ප්‍රධානීන්, කළමනාකාරවරියන්, කළමනාකරුවන් අතරින් වර්කර් ට්‍රේඩ් එකක සිට සුපවයිසර් ග්‍රේඩ් එකකට නැතිනම් පිරිස් කළමනාකාර තනතුරකට එන සැලකිය යුතු ප්‍රමාණයක් මුල් මාස හය හෝ අවුරුද්ද තුළ දී දැඩි මානසික පීඩනයකට ලක් වීම, අපේක්ෂිත මට්ටමින් තම වෘත්තීය භූමිකාව සිදු කළ නොහැකි නිසා රැකියාව හැර යන තත්ත්වයට පත්වීම සිදු වේ. මෙය එසේ විය යුත්තක් නොවේ.

එසේ සිදු වන්නේ කෙසේද යන්න ගැන අපි මඳක් සොයා බලමු. තම රැකියාවේ උසස්වීමක්, ව්‍යාපාරයේ දියුණුවක් ගැන සිතන ඔබ පළමුව වටහා ගත යුත්තේ අධ්‍යාපනික සුදුසුකම් යනු අපිට යම්කිසි රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමට හා අපට රැකියාවක මූලික කටයුතු කරගැනීමට අවශ්‍ය වන දැනුම ලබා දෙන්නක් පමණක් බවයි. මේවා අප තාක්ෂණික කුසලතා ලෙස ද හඳුන්වයි. ඉංග්‍රීසියන් මෙය ඊඥජඩදඪජචත ඵඬඪතතඵ ලෙස හඳුන්වයි.

නමුත් රැකියාව කිරීමේ දී අපට විෂය දැනුම පමණක් තිබීම ප්‍රමාණවත් නැත. මිනිසුන් සමඟ රාජකාරි කිරීමට, සේවකයන්ට යම් යම් රාජකාරි පැවරීමට, ඔවුන් ලවා ඒවා ඉටුකරවා ගැනීමට, අනෙකුත් අංශවල සිටින අය ලවා රාජකාරියට අවශ්‍ය දේ ඉටුකරවා ගැනීමට, රාජකාරිමය ගැටලුවලට සාකච්ඡාවෙන් විසඳුම් ලබා ගැනීමට, යම් කොටසක් හෝ කණ්ඩායමක් රාජකාරි කටයුතු සඳහා පොලඹවා ගැනීම යන කුසලතා වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් අවශ්‍ය වේ.

 

උපදෙස් - ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

 

2020/09/09 තරුණි පුවත්පත බලන්න