වසංගත කාලයක මේ වසංගතය ගැනත් නොසලකා ඉන්න එපා

නොවැම්බර් 11, 2020

සෑම අඳුරු වලාකුළකම රිදී රේඛාවක් තිබෙනවාක් මෙන් කෝවිඩ් - 19 වසංගතය අතරේ ද යහපත් දේ සිදුව ඇත. බොහෝ රටවල ජනතාව සුරතල් සතකු ලෙස අනාථ සතුන් හදා වඩා ගැනීමට ගත්තේ අනුවේදනීය හදවත් ඇත්තන් තවමත් මිහිපිට සිටින බව සනාථ කරමිනි.

සම්බුදු හිමියන් තරමට සතුන්ට පරිසරයට ආදරය, කරුණාව දැක්වූ අන් ආගමික නායකයකු නැති තරම්ය. එනිසාම බුදු දහමේ සිසිලස ලබන ලංකාවේ හදවත් ඇත්තන් ද සත්ව කරුණාවෙන් පොහොසත්ය. එය ඉතා උතුම් ගුණ දහමක් වුව ද අප මතක තබාගත යුත්තක් ඇත. කෝවිඩ් - 19 සමයේ මිනිසා මිනිසාගෙන් මුව ආවරණ පලඳමින් ආරක්ෂා විය යුතු සේම සතුන් ඇති කිරීමේදී ද අප උන්ට කලට වේලාවට එන්නත් ගසා, සතකු ඇල්ලූ පසු දෑත් සබන් ගා සෝදා සෙනෙහසින් ඇතිකළ යුතුය. සතුන් ගෙන් මිනිසාට බෝවෙන ලෙඩ රෝග ගැන අන් කවරදාටත් වඩා අද කාලයේ කතා බස් කරමින් පවතියි. කෝවිඩ් - 19 ද සතකුගෙන් මිනිසාට වැලඳුනක් බවට රාවයක් පවතියි. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව පැනලයට අනුව සතුන්ට සහ මිනිසාට වැලඳිය හැකි නව කොරෝනා වෛරසය බඳු වෛරස 850000ක් පමණ ලොව පවතියි. මේ වෛරස මුලින්ම ගොදුරුකර ගන්නේ සතුන්ය. ඊළගට මිනිසාය. සතුන්ගෙන් මිනිසාට වැලඳෙන රෝග අතරින් ජලභීතිකා රෝගයට ඇත්තේ දිගු ඉතිහාසයකි. ජලභීතිකා තරම් සියයට සියයක් මාරාන්තික සියයට සියයක් වළක්වාගත හැකි තවත් රෝගයක් නැති තරම්ය. තවමත් අපේ රටේ වාර්ෂිකව ජලභීතිකාවෙන් 20 - 30 ක් මරණයට පත්වෙති. රෝගය වැලඳෙන්නේ ජලභීතිකා එන්නත ලබා නොදුන් සතුන් සපා කෑමෙනි. දඟකාර වයසේ දරුවන් සතුන්ට හිංසා කිරීමට යාමෙන් සුනඛ, බළල් සපා කෑම්වලට ලක්වෙන වාර අනන්තය. ධර්ම ශාලාවේ අසරණ සුනඛයකු දුටුවත් එළවා දමන අකරුණාවන්ත වැඩිහිටියන්ට හොර රහසේ සතුන් නිවෙසට රැගෙන එන, සුරතල් කරන දරුවෝ ද සිටිති. මේ දෙපිරිසම ජලභීතිකා රෝගය වැලඳීමේ අවදානම ඇති අයයි. එන්නත් නොකළ බලු පැටවුන් සපා කෑමෙන් ජලභීතිකා රෝගයට ගොදුරුවන දරුවන් ගැන වාර්ෂිකව වාර්තා වෙයි.

මෙතරම් භයානක ජලභීතිකාවෙන් ආරක්ෂා වීමට අපට කළ හැක්කේ කුමක්ද?

නිවෙසේ බළලකු, සුනඛයකු ඇති කරනවා නම් වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබා දෙන්න.

සතකු සපා කෑ විට, සීරූ විට ඒ බව මාපියන්ට පවසන ලෙස දරුවන් දැනුවත් කරන්න.

සුරතලා කුඩා පැටවකු වුවත් සපා කෑමෙන්, සීරීමෙන් රෝග බීජ ශරීරගත විය හැකි බව සිතන්න. සතුන්ට හිංසා නොකර ආදරය කරන්න දරුවන්ට කියා දෙන්න. ජලභීතිකාවෙන් වසරකට 59,000ක් පමණ මියයති. දිනකට රෝගයෙන් මියයන දරුවන්ගේ ගණන සියයක් පමණ වෙයි.

* ජලභීතිකාව කියන්නේ වෛරසයකින් බෝවෙන භයානක රෝගයක්. සතකු රෝගයට ගොදුරුවූ විට ඒ සතාගේ ස්නායු පද්ධතියට, මොළයට දැඩි හානි සිදුවෙයි.

සෑම ක්ෂීරපායි සතකුම ජලභීතිකාවට ගොදුරු වීමේ අවදානම ඇත. බල්ලන්, බළලුන් පමණක් නොව කලවැද්දන්, මුගටියන්, දඬු ලේනුන්, වවුලන් ආදී සියලුම ක්ෂීරපායින් මේ අවදානම ඇති සතුනුයි. අපි ආදරයෙන් ඇති කරන බළලාව, බල්ලාව රෝගයට ගොදුරුවූ මුගටියා, කලවැද්දා වැනි සතකු සපා කෑමෙන් රෝගයට ගොදුරු වෙන්න පුළුවන්.

රෝගී සතකුගේ ස්නායු පද්ධතියේ පටකවල, මොළයේ, ඛේටයේ විසබීජය වැඩිපුර අඩංගු වෙනවා. රෝගී සතුන් සපා කෑමෙන් වගේම රෝගී සතුන්ගේ ඇස්වල ශ්ලේෂ්මල මඟින් ද බෝවිය හැකියි.

 

උපදෙස් - වෛද්‍ය

අමිල ගුණසේකර

 

 

2020/11/11 තරුණි පුවත්පත බලන්න

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.