ගුවන ජයගත් ලක්මාතාවගේ අභීත දියණියෝ

නොවැම්බර් 25, 2020

 

ක්මාතාවගේ අභීත දියණියන් දෙදෙනකු වන ආර්. ටී. වීරවර්ධන සහ ඒ. ඩී. පී. එල්. ගුණරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු පියසර නිලධාරිනියන් ලෙස පසුගියදා අභිෂේක ලැබුවා.

චීන වරාය විද්‍යාපීඨ කඳවුරේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහත්වරුන් අතින් පත්වීම් ලබා අහස ජයගනිමින් ඔවුන් තැබූ සුවිශේෂී ජයග්‍රහණය අපේ රටේ සුවහසක් කාන්තාවන්ට, යුවතියන්ට ජීවිතයේ අභියෝග ජයගන්නට පූර්වාදර්ශයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 13 වැනි කාන්තා කැඩේට් නිලධාරීවරියන් ඇතුළත් කර ගන්නා අවස්ථාවේ ලංකාවේ විවිධ පැති වල සිට 9 දෙනෙක් පයිලට්, විදුලි ඉංජිනේරු, ලොජිස්ටික්, පරිපාලන කටයුතු පිළිබඳව හදාරන්නට දියතලාව සටන් පුහුණු පාසලට පැමිණි අතර මේ දෙදෙනාද එම කණ්ඩායමට ඇතුළත් වුණා. ඔවුන් මූලික ගොඩබිම් සටන් පුහුණුවීම් අභියෝගාත්මක සති 21ක් පුරාවට සිදු කර ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමි ත්‍රිකුණාමලය චීනවරයා මූලික පරිපාලන පාඨමාලාව සම්පූර්ණ කරලා තිබෙනවා. එයට පරිගණක සහ ඉංග්‍රිසි භාෂාව ඇතුළත්.

අනතුරුව මේ නිලධාරිනියන් දෙදෙනා ගුවන් යානා පැදවිමේ මූලික විද්‍යා උපාධිය හැදෑරීමට යොමුවුණු අතර එහි අත්‍යාවශ්‍යම අංගය වන න්‍යායික පුහුණුව අවසානයේ පියාසැරිය, ඉංජිනේරු, පරිපාලන සහ ලොජිස්ටික් යන

අංශ කෙරෙහි යොමුවුණා. ඉන්පසු ගුවන් නියමු ශාඛාවේ කැඩේට් නිලධාරීන් නො 1 පියසර පුහුණු පක්ෂාංගය වෙත යොමුවී විශේෂිත පුහුණුව ලබා ගත්තා.

මොවුන්ගේ මූලික පියාසැරි පුහුණුව ලෙස ඉන්දියාවේ හයිද්‍රාබාද් වල පිහිටි ඉන්දීය ගුවන් හමුදා ඇකඩමි හි පාඨමාලා අංක 204 2018 ජූනි 29 සිට 2019 ජුනි 16 වැනිදා වන තෙත් සම්පූර්ණ කර තිබේ.

මෙම පුහුණුව සඳහා භාවිතා කර තිබෙන්නේ ස්විස්ටර්ලන්තයේ පයිලේටස් ගුවන් යාන සමාගමේ නිෂ්පාදිත ර්‍ථඛ්-7ර්ඬධ්ධ් පුහුණු ගුවන් යානයයි.

උසස් පියාසැරි පුහුණු පාඨමාලාව සම්පූර්ණ කර ඇත්තේ නො 8 සැහැල්ලු ප්‍රවාහන රත්මලානේ බලඝනයේදී. බලඝනය තුළ නියමුවන් ලෙස සුදුසුකම් ලබන්නට පියාසැරි කාලය (පැය) සම්පූර්ණ කර ඇත්තේ ක-12 ගුවන් යානයෙන්. මේ පාඨමාලාවේ ඇති දැඩි පුහුණු වීම දරාගනිමින් එය සාර්ථකව නිම කර පාඨමාලාවේ අරමුණ සපුරා ගැනීමට ගුවන් හමුදා නීතිය, ප්‍රථමාධාර, පුපුරණ ද්‍රව්‍ය සහ කැලෑ සටන් පුහුණුව, වැනි විවිධ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියකු වීමට අවශ්‍ය සියලුම අංශයන්හි පුහුණුව ලබාගෙන මේ වසර තුනෙහි ලබාගත් දැනුම අවසානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වතාවට පියසර නිලධාරිනියන් ලෙස ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සනිටුහන් කරන්නට සමත්වනවා.

මේ ඒ පිළිබඳව ඔවුන් දෙදෙනා තරුණී වෙනුවෙන් කළ අදහස් දැක්වීමයි.

 

ගුවන් යානයක පුහුණු වීම් සිදු කළ ප්‍රථම දවස මතක සටහනක්

පයිලට් ඔෆිසර්-පවිත්‍රා ලක්ෂාණි

ගුවන් හමුදාවට බැඳීමට ආසාව ඇති වුණේ උසස් පෙළ කරන කාලයේ දීමයි

 

*ඔබේ සම්පූර්ණ නම අද්දරගේ දොන් පවිත්‍රා ලක්ෂාණි ගුණරත්න

*උපන් ගම- මහනුවර, අම්පිටිය

* පවුලේ තොරතුරු

මගේ අම්මා ප්‍රදීපා දසනායක. ඇය ගෘහණියක්. තාත්තා අනුර ගුණරත්න සංචාරක මාර්ගෝපදේශකවරයකු ලෙස රැකියාව කරනවා. මට ඉන්නේ නංගී කෙනෙක්. ඇය නවීන්ද්‍රා දේශානි උසස් අධ්‍යාපන කටයුතු කරන අතර තුර පෙරපාසල් ගුරුවරියක ලෙස සේවය කරනවා..

* අධ්‍යාපනය ලැබූ පාසල්

පළමුව ගියේ මහනුවර හිල්වුඩ් විදුහලට. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සමත්වෙලා මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලට ඇතුළත් වුණා. එහිදී සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වෙලා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා සමත්වෙනවා.

* පාසල් කාලයේ දැක්වූ සුවිශේෂී දක්ෂතා ගැන සිහිපත් කළොත්

ශිෂ්‍ය නායිකාවක් ලෙස පාසලේ ශිෂ්‍ය නායිකා මණ්ඩලයේ සිටියා. විවාද කණ්ඩායමට බැඳී වාද විවාද තරග වලදී ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ක්‍රීඩා වලට දැක්වූ ආසාව නිසා මලල ක්‍රීඩා වල නිරත වුණා. ඊට අමතරව ස්විමිං සහ වොලිබෝල් ක්‍රීඩා කළා.

* ගුවන් හමුදාවට බැඳුණු දිනය මතකද?

අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් සිටි කාලයේදී තමයි මට ගුවන් හමුදාවට බැඳීමට ආසාව ඇතිවුණේ. ඒ අනුව 2017 ජුලි මස 19 වැනිදා ගුවන් හමුදාවට බැඳුණා. දියතලාව සටන් පුහුණු පාසලේ මූලික සටන් පුහුණුවක යෙදුණු කාලය, අවි පුහුණුවල යෙදුණු කාලය වගේම ප්‍රථම වතාවට ගුවන් යානයක පුහුණු වීම් සිදු කළ දවස පුහුණු කාලයේ අමතක නොවන මතක සටහන් ලෙස සිතේ තිබෙනවා.

*ගුවන් නියමුවරියක ලෙස බැඳීිමට කිසියම් සුවිශේෂී හේතුවක් තිබුණාද?

ගුවන් හමුදාවට ප්‍රථම වතාවට ගුවන් නියමුවරියන් බඳවා ගැනීම පිළිබඳව ආරංචිය දුටු විට එයට ඉල්ලුම් කළ යුතුයි කියලා හිතුණා. ඒ වගේම මේ වන විට අපේ රටේ ගුවන් නියමුවරියන් සිටින්නේ ඉතාමත් අල්ප නිසා හොඳ අවස්ථාවක් වේවි යැයි සිතුණා.

*ගුවන් නියමුවරියක් වීමට ලබා ගත් පුහුණුව සහ කළ කැපවීම මොන වගේද?

මුලින්ම හය මසක මූලික සටන් පුහුණුවක් ලබාගත්තා. ඉන්පස්සේ හය මසක න්‍යායික දැනුම සඳහා පාඨමාලාවක් ද, පසුව හය මසක මූලික පියාසර පාඨමාලාවක් සහ පසුව තවත් හය මසක් උසස් පියසර පුහුණු පාඨමාලාවකින් ද සමන්විත වුණු මේ පුහුණුව ලබා ගන්නට බොහෝ වෙහෙස වුණා.

* පසුගියදා ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමු ගුවන් නියමුවරියක ලෙස පත්වුණු අවස්ථාවේ දැනුණු හැඟීම මොනවගේද?

විශාල කැපවිමක් කර ලබාගත් පුහුණුවත් එහි ප්‍රතිපලයක් ලෙස ගුවන් නියමුවරියක ලෙස අභිෂේක ලබපු මොහොතේ වචනයෙන් විස්තර කිරීමට අපහසු තරමේ සතුටක් දැනුණා.

*අපේ රටේ සුවහසක් දියණියන්ට පණිවුඩයක් දෙනවා නම්

කාන්තාවන්ට කළ හැකි දේ බොහෝයි. නමුත් සමහර දෙනෙක් සිතන්නේ ඇය කාන්තාවක් නිසා කළ හැකි දේ අල්පයක් ලෙසටයි.

නමුත් ජීවිතයේ සමබරව තමන්ගේ රැකියා ජීවිතයද පෞද්ගලික ජීවිතයද ගෙන යෑමට කාන්තාවට දක්ෂතාව තිබිය යුතුය.

කාන්තාවන් කියන්නේ ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් සහ රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි ඇලුම් කරන පිරිසක්. ඒ අතර තමාගේ රැකියාවටද එලෙසම ඇලුම් කර කටයුතු කළහොත් ජීවිතය සමබර ලෙස ගෙවිය හැකිය.

*ඔබේ විනෝදාංශ මොනවද?

මම විලාසිතා වලට ප්‍රිය කරනවා. ඒ වගේම විවේක අවස්ථාවල ගීත අහන එක මගේ විනෝදාංශයක්.

ගුවන් යානයක පුහුණු වීම්...

විශේෂයෙන් ඉංග්‍රීසි ගීත තමයි වැඩිපුරම අහන්න කැමැති. ක්ලැසික්, රොක් , හාඩ් මේ ඕනෑම ශෛලියක ඉංග්‍රීසි ගීත වලට කැමැතියි. සිංහල සිංදු අහනවා නම් වැඩිපුරම අහන්නේ ශාස්ත්‍රීය ගීත.

*යුවතියක ලෙස ඔබ ප්‍රිය කරන විලාසිතා ගැනත් කතා කරමු.

සාමාන්‍යයෙන් මම ප්‍රිය කරන්නේ ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් වලින් සැරසෙන්නයි. කලාතුරකින් තමයි ගවුම් අඳින්නේ කලාතුරකින්. විශේෂයෙන් ගුවන් හමුදාවේ විවිධ උත්සව අවස්ථාවලදී ඒ සඳහා උචිත නිල ඇඳුමින් සැරසෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සාරිය තමයි අඳින්නේ.

*අනාගත බලාපොරොත්තු මොනවද?

රටට වැඩදායී පුරවැසියකු වශයෙන් ද, ගුවන් හමුදාවේ කීර්ති නාමය රැක ගනිමින් හොඳ ගුවන් හමුදා නියමුවරියක වීම මගේ අනාගත බලාපොරොත්තුවයි.

*******************************************************************

කාන්තාවකට වුවත් පිරිමියකු සේ වැඩ කළ හැකියි

පයිලට් ඔෆිසර් - රංගනා තත්සරණී

රන් අසිපත සම්මානය හිමිවීම ජීවිතයේ සිදු වූ එක් විශේෂිත අවස්ථාවක්

*ඔබේ සම්පූර්ණ නම -රංගනා තත්සරණී වීරවර්ධන

*පවුලේ තොරතුරු

මගේ පියා හරිශ්චන්ද්‍ර වීරවර්ධන අම්පාර ප්‍රදේශයේ කෙනෙක්. ඒ නිසා මගේ උපන් ගම වන්නේ අම්පාර. මව චිත්‍රා අයිරාංගනී එදිරිසිංහ. මට සහෝදරයෙක් සහ සහෝදරියක් සිටිනවා. ඒ දෙදෙනා අසේල මධුසංඛ සහ අයේෂා මධුෂාණි. අයියා මට වඩා අවුරුදු 8කුත් අක්කා අවුරුදු 6කුත් වැඩිමල්. මම පෙර පාසල් ගියේ අම්පාරේ. 2003 වසරේ අපි වේයන්ගොඩ ප්‍රදේශයට පදිංචියට එනවා.

* අධ්‍යාපනය ලැබූ පාසල්

මූලික අධ්‍යාපනය ලැබුවේ ගම්පහ ශ්‍රී බෝධි ප්‍රාථමික විද්‍යාලයෙන්. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ 9ක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත්වෙලා උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හැදෑරීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. පාසලේ වායු රයිෆල හා වායු පිස්තෝල සංසදයේ සාමාජිකාවක් ලෙස කටයුතු කළා.

* ඔබට ගුවන් නියමු වරියක විමට සිත්වූයේ ඇයි?

මට කුඩා කාලයේ සිටම ගුවන් හමුදාවට බැඳෙන්නට ආසාවක් තිබුණා. ඒ අනුව අයදුම් පත්‍ර යොමුකරන විට දැනගන්නට ලැබුණා. පළමු වරට ගුවන් නියමුවරියන් සම්මුඛ පරීක්ෂණ වලට ගන්නා බව. එසේම එය මගේ රැකියාවක් සඳහා වූ පළමු සම්මුඛ පරීක්ෂණයයි. ඒ නිසා ඒ සඳහා සිතේ ලොකු ආසාවක් ඇතිවුණා. ඒ අනුව 2017 වසරේ ජූලි 19 වැනිදා ගුවන් හමුදාවට බැඳුණා.

*ගුවන් නියමුවරියක විමට ලැබු පුහුණුව සහ කළ කැපකිරීම් සිහිපත් කළොත්.

හය මාසයක් දියතලාව සටන් පුහුණු පාසලේ අවි පුහුණුව ඇතුළු ගොඩබිම් පුහුණුවත්, හය මාසයක් අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේදී න්‍යායික දැනුමත්, වසරක් ඉන්දීය ගුවන් හමුදා විද්‍යා පීඨයේ හයිද්‍රාබාද් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවත්, තවත් වසරක් අංක 8 බලඝනයේදී න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබා දැනට මෙහෙයුම් කටයුතු වල නිරත වෙනවා.

*ගුවන් නියමුවරියක ලෙස අභිෂේක ලබද්දී දැනුණු සතුට මොනවගේද?

අපට පැමිණි අභියෝග වලට ඉතා හොඳීන් මුහුණ දී අවසානයේදී ලබා ගත් ජයග්‍රහණයේදී ඉමහත් සතුටක් ඇතිවුණා.

* ඔබ උත්සාහය සහ කැපකිරීම තුළින් ජීවිතයේ බලාපොරොත්තු වුණු අරමුණ කරා පැමිණි කෙනෙක් ලෙස අපේ රටේ දියණියන්ට දෙන පණිවුඩය කුමක්ද?

කාන්තාවන් කියන්නේ ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, රූපලාවණ්‍ය කටයුතු කෙරෙහි වඩාත් ආකර්ශනයක් දක්වන පිරිසක්. මේ නිසා බොහෝ අය සිතන්නේ කාන්තාවන් සිටිය යුත්තේ ගෘහණියක ලෙස නිවෙසේ වැඩ කටයුතු කිරිමට පමණයි කියායි. නමුත් කාන්තාවකට වුවත් පිරිමියකු සේ වැඩ කළ හැකියි. නිවෙසේ කටයුතු ද, රැකියාවේ වැඩ කටයුතු ද, පෞද්ගලික ජීවිතයද සමසේ නියැලීමට ඇයට හැකියාවක් තිබෙනවා. ඔබට එසේ කිරිමට අවශ්‍යයි නම් ඒ දේ වෙනුවෙන් කැප වි වැඩ කළ යුතුයි. එවිට යම් දිනෙක එහි ප්‍රතිඵල ලැබෙනු ඇත. එහෙත් මේ කටයුතු සියල්ල සමබරව කිරීමට බුද්ධිමත් විය යුතුයි.

*අධ්‍යයන හා වෘත්තීමය වශයෙන් ඉහළම දක්ෂතා දක්වන නිලධාරියාට හිමි 'රන් අසිපත'(sword of honour) සම්මානය ඔබට හිමවනවා. ඒ පිළිබඳව මොකද හිතෙන්නේ.

ගෲප් කපිතාන් එන්. ආර්. රහිම් රන් අසිපත සම්මානය (sword of honour presented by Gp. Capt. N.R. Rahim)  මාගේ ජීවිතයේ සිදු වූ එක් විශේෂිත අවස්ථාවක්. විශේෂයෙන්ම මාගේ මව්පියන් මා වෙනුවෙන් කළ කැපවීම් බොහෝයි. මා සිතනවා මා ඔවුන්ට ලබා දිය යුතු ගෞරවයක් ලබා දුන්නා කියා. එසේම එය ලබා ගැනීමට පුහුණුවීම් කළ කාලය තුළ පමණක් නොව හැකි සෑම අයුරකින්ම උදව් උපකාර කළ සියලු දෙනාට මාගේ ස්තූතිය පිරිනමන අතර විශේෂයෙන්ම බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ හා රත්නාවලී බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලයටත් මාගේ සහෝදර සහෝදරියනුත් විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. එපමණක් නොව ඉන්දියාවේදී මා හට පුහුණුවීම් කළ පුහුණු නිලධාරීවරයාටත් විශේෂයෙන් ස්තූති කළ යුතුයි.

එසේම හැකි සෑම අයුරකින්ම උදව් උපකාර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ නිලධාරිතුමන්, පෙර සිටි ගුවන් හමුදාධිපතීන් ලෙස කටයුතු කළ එයාර් චීෆ් මාෂල් කපිල ජයම්පති නිලධාරිතුමන් හා එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස් නිලධාරිතුමන් ඇතුළු අංක 8 බලගණයේ අණ දෙන නිලධාරිතුමන් වන ගෲප් කපිතාන් අමල් පෙරේරා නිලධාරිතුමන් ඇතුළු සියලුම නිලධාරීන්ට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමි.

*ජනාධිපති වර්ණ සහිතව හමුදා පෙළපාලියක් මෙහෙයවමින් එයට අණදුන් ලංකාවේ පළමු නිලධාරිනිය ලෙස ඉතිහාසයට එක්වන ඔබ ඒ දිනය සිහිපත් කළොත්...

 

කළ බොහෝ කැපවීම්වලට ලැබුණු එක් ජයග්‍රාහී ප්‍රතිඵලයක් ලෙස හැඳීන්විය හැකියි. එසේම තවත් එක් ගෞරවාන්විත අවස්ථාවකි. ඒ අවස්ථාවේ මට මාගේ මාපියන්ට ගෞරවයක් ලබා දීමට හැකි වූවා යැයි මම සිතමි.

*විවේකී අවස්ථාවල නියැලෙන විනෝදාංශ තිබෙනවාද?

මම පුංචි කාලයේ ඉඳලාම පොත් කියවන්න ආසයි. වැඩිපුරම කියවන්නේ නවකතා. ඊට අමතරව මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගමි පෙරලිය, කලියුගය, යුගාන්තය වැනි පොත් වලට කැමැතියි. ඒත් ගුවන් හමුදාවට බැඳුණාට පස්සේ පුහුණුවීම් වලට අදාළ පොත් කියන්න සිදුවුණා. මම පොත් කියවන්න කැමැති කෙනෙක් නිසා ආසාවෙන් තමයි ඒවා කියෙව්වේ.

*යුවතියක ලෙස ප්‍රියකරන විලාසිතා මොනවාද?

මම වැඩිපුරම කැමැති ගවුම් අඳින්නයි. ඉඳලා හිටලා ඩෙනිම් කලිසම සහ ටී ෂර්ට් එක අඳිනවා. දැන් කරන රාජකාරියට අනුව ගුවන් හමුදාවේ ඒ ඒ උත්සව වලට අදාළ නිල ඇඳුම් තිබෙනවා. ඊට අමතරව සාරිය අඳිනවා.

* අනාගත බලාපොරොත්තු මොනවාද?

ගුවන් නියමුවරියක් වශයෙන් මා හට ලැබි ඇති රාජකාරීන් රට වෙනුවෙන් මැනැවින් ඉටු කිරීම මගේ අනාගත බලාරොත්තුවයි.

 

ඡායාරූප - ද ගුවන් හමුදා මාධ්‍ය ඒකකය

විශේෂ ස්තූතිය ද ගුවන් හමුදා මාධ්‍ය ඒකකයට