ලොවෙන් ඇසෙන අපටත් වටින කෝවිඩ් - 19 ගැන අලුත් ම තතු

දෙසැම්බර් 2, 2020

ලෝකයටම පොදුවූ ලෙඩක් ගැන ලෝකයෙන් ඇසෙන කතා අපටත් බොහොම වටින්නේ ඉන් පාඩම් රැසක් ඉගෙන ගැනීමට ඇති නිසයි. රෝගයෙන් වඩාත් පරෙස්සම් වීමට මේ තොරතුරු ඉතා වටිනවා.

නවතම ආරංචි මාර්ගවලට අනුව කෝවිඩ් - 19 වසංගතය සුපිරි ලෙස පතුරුවන්නන් කවුරුද? නව කොරෝනා වෛරසය ආසාදිත එක් පුද්ගලයකුට, පුද්ගලයන් තුන් දෙනකුට රෝගය පතුරවන්න හැකි බවට මෙතෙක් ඇස්තමේන්තුගත කර තිබුණා. එහෙත් මධ්‍යම ෆ්ලොරිඩාවේ සරසවිය මඟින් කළ අධ්‍යයනයකට අනුව ලැබෙන ආරංචිය ඊට වඩා භයානකයි. සුපිරි පතුරුවන්නන් ලෙස හඳුන්වන මේ අයගෙන් සියයකට වඩා වැඩි පිරිසකට රෝගය පතුරුවන්න පුළුවන් බව එම ආරංචියයි. සමීක්ෂණ කණ්ඩායම සුපිරි පතුරුවන්නන් ලෙස හඳුන්වන්නේ නාසය සොටු දියරවලින් සිරවී ඇති අය සහ කෘත්‍රිම දත් ඇඳි පැලඳූ අයයි. කහින විට, කිවිසින විට වාතයට වැඩිපුර සෙම් බිඳිති පිටකරන්නන් ද සුපිරි පතුරුවන්නන් ලෙස සලකනවා. එලෙසම තුනී ඛේඨය (උකු නැති) ඇති පුද්ගලයන්ගෙන් කුඩා සෙම් බිඳිති පරිසරයට නිකුත්වන අතර ඒවා වාතයේ බොහෝ වෙලා රැඳී පවතිනවා.

මුව ආවරණයෙන් ඇතිවන අසාත්මිකතා

සුව ආරක්ෂණය ගැන සිතීමේදී අසාත්මිකතා ගැනත් අවධානය යොමු කරන්න.

අන් කවරදාටත් වඩා ඉලාස්ටික්, රබර්, බ්ලීච්, හෑන්ඩ් සැනිටයිසර්, සුවඳ කාරක එක් කළ සබන් දැන් භාවිත කෙරෙනවා. සමහරුන්ට මේවා අසාත්මිකයි. අසාත්මිකතා, ඇදුම සහ ප්‍රතිශක්තිවේදය පිළිබඳ අමෙරිකානු කොලීජියේ වාර්තාවන්ට අනුව මුහුණු ආවරණවල පැලඳූ පසු කැසීමක්, රතු වීමක්, ඉදිමීමක් ඇතිවුවහොත් එයට හේතුව බොහෝවිට ඉලාස්ටික් පටි නිසා ඇතිවන අසාත්මිකතාවක් වීමට ඉඩ තිබෙනවා. මෙවැනි අයට වඩාත් සුදුසු කපු රෙද්දෙන් පිළියෙල කළ මුව ආවරණයි. සංවේදී සමක් ඇති අය ඩයි කරන ලද, ඉලාස්ටික් පටි ඇති මුහුණු ආවරණ තෝරා ගැනීම සුදුසු නැහැ. කපු රෙදි යෙදූ මුහුණු ආවරණයකින් පවා සියයට හැටක්ම වෛරසය ශරීරගත වීම වළකින නිසා අනිවාර්යයෙන්ම මුව ආවරණයක් පැලඳිය යුතුයි. ආසාදිත පුද්ගලයකු සහ නීරෝගි පුද්ගලයකු එකම තැනක ආස්තරණ පැලඳ සිටින විට සියයට හැත්තෑවකින් නව කොරෝනා වෛරසය ශරීරගත වීම වළකිනවා.

කපු මුව ආවරණ, ආස්තරණ දෙකකින් යුක්ත විය යුතු අතර නිකටේ අගේ සිට නාසයේ මුලට ආසන්න වන තුරු වැසී තිබිය යුතුයි.

පිරිමින්ගේ සරු බවටත් බලපානවා.

සමහර වෛරස රෝග පිරිමින්ගේ ප්‍රජනක පද්ධතියට බලපාන බව රහසක් නෙවෙයි. හෙපටයිටිස් සී වෛරසය, එච්අයිවී වෛරසය, හර්පීස් වෛරසය, ඉබෝලා වෛරසය, මානව පැපිලෝමා වෛරසය (හියුමන් පැපිලෝමා වෛරසය) සහ ඉබෝලා වෛරසය ශුක්‍රාණු ප්‍රමාණයට, පිරිමි හෝර්මෝන මට්ටමට, ශුක්‍රාණු චලනයට බලපානවා. අලුත්ම පර්යේෂණවලට අනුව කෝවිඩ් - 19 වැලඳීම ද පිරිමියකුගේ ශුක්‍රාණු එකතුව අඩු වීමට හේතුවන බව ඔප්පු වී තිබෙනවා.

*ගඳ සුවඳ නොදැනීම ප්‍රබල ලකුණක්

උණ, කැස්ස, කිවිසීමටත් වඩා ගඳ සුවඳ නොදැනීම ප්‍රබල ලකුණක්.

නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගැන ආරංචි වන්නට ගත් දිනයේ සිට ගඳ, සුවඳ නොදැමීම ද එහි ලක්ෂණයක් බවට කතා පැතිරුණා. මේ කට කතාවක් නොව සැබෑවක් බව ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියෙන් අනාවරණය කරගෙන තිබෙනවා. කෝවිඩ් ආසාදිතයන් වැඩි දෙනකුට සුවඳ විලවුන්, කෝපි වැනි සැර ගන්ධයන් පවා දැනෙන්නේ නැතිව යනවා. නාසය අවහිර නොවී. සොටු දියර ගලන්නේ නැතිව තිබියදීත් ගඳ සුවඳ නොදැනී යනවා. නව කොරෝනා වෛරසය නාසය පිටුපස, උගුරේ සහ දිවේ සෛල ආක්‍රමණය කිරීම මීට හේතුවයි. ලන්ඩනයේ කිංන්ග්ස් කොලීජියේ පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත්තේ කෝවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 60% කටම ගඳ, සුවඳ දැනෙන්නේ නැති බවයි. එය සෙම්ප්‍රතිශ්‍යාව, ෆ්ලූ වැලඳුණු විට ඇතිවන ගඳ සුවඳ නොදැනී යාමට වඩා වෙනස්. කෝවිඩ් - 19 රෝගීන්ට ගඳ සුවඳ නොදැනී යන්නේ හදිසියේමයි. ඒ වගේම තදබල ලෙසිනුයි.

මේ අයගේ නාසය අවහිරවීත් නැහැ. නාසයෙන් සොටු දියර ගලන්නේත් නැහැ. නව කොරෝනා වෛරස ආසාදිතයන් බොහෝ දෙනෙක් නිදහසේ හුස්ම ගන්නවා.

රෝගය සුවවී කලක් යන තුරු රෝගීන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. මේ අයට පැණි රසේ සහ තිත්ත රසේ වෙනස කියන්න බැරි තරම් රස දැනෙනවාත් අඩුයි.

වෛරසය ස්නායුවලට බලපෑමෙන් මෙසේ වන බව පර්යේෂකයන් පවසනවා.

 

සෑම මිනිත්තු 10 කට වරක්ම ජනේල විවෘත කරන්න උපදෙස්

උදාවුණු සීතල උඳුවප් මාසයේ බ්‍රිතාන්‍ය රජය විසින් රට වැසියන්ට වීඩියෝ වැඩසටහන් පෙළක් මාර්ගයෙන් අපූරු පණිවුඩයක් ගෙන එයි. මිනිසුන් වැඩිපුරම නිවෙස් තුළ ගැවසෙන මේ කාලයේ වාතාශ්‍රය පිරිසුදු වීම ඉතා වැදගත්. ජනෙල් ඇරීමෙන් වාතයේ රැඳී ඇති නව කොරෝනා වෛරස් විසබීජ අංශු පිටවීමට සැලැස්වීමට අපේක්ෂා කරනවා. වෛරසය වැසුණු පරිසරවල සිග්‍රයෙන් බෝ වෙනවා. නැවුම් වාතයට නිවෙසේ කවුළු අතරින් පැමිණීමට සැලැස්වීමෙන් කෝවිඩ් - 19 වැලඳීමේ අවදානම සියයට හැත්තෑවකින් අඩු කිරීමට පුළුවන්. පොදු තැන්වල ද දවස පුරාම මිනිත්තු 10 - 15 වරක් පුරුද්දක් ලෙස කවුළු විවර කළ හැකි නම් එය රෝගයෙන් ආරක්ෂා වීමේදී ඉතා වැදගත්. අමුත්තන් පිටින් පැමිණ ගිය පසුත් කවුළු විවරකර නිවෙසට වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතුයි. මෙය දුම් පානය කළ අයකු නිවෙසින් බැහැරට ගිය පසු දොර ජනෙල් විවෘතකර විස දුමට පිටවීමට සැලැස්වීමක් වාගෙයි.

කොරෝනා විනාශ කරන මුඛ සෝදන දියර

නව කොරෝනා වෛරසය මට්ටු කරන ක්‍රමයන් ගැන සොයා බැලීමේදී අපට පහසුවෙන් සොයාගත හැකි දියර වර්ගයකින් ලේසියෙන්ම මේ වෛරස් සතුරා පරාජය කළ හැකි බව සොයා ගෙන තිබෙනවා. ඒ අප දත් පිරිසුදුව සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීමට යොදා ගන්නා මුඛ සෝදන දියරයි. මුඛ සෝදන දියරයකට තත්පර තිහකින් නව කොරෝනා වෛරසය විනාශ කිරීමට පුළුවන්. ඒ සඳහා මුඛ සෝදන දියරයේ අවම වශයෙන් cetypyridinium chloride (CPC)  සියයට 0.07ක් වත් අඩංගුවී තිබිය යුතුයි.