බැස නො යන හිරුසේ බලවත් රාජකීය ආදරය

දෙසැම්බර් 2, 2020

දවසෙම මොකුත් සප්පායම් වුණත් නැතත් ආත්තම්මලාගෙ ගත සිත මුනුබුරන්ගේ මිනිබිරියන්ගේ සුරතල්වලින්, දක්ෂකම්වලින් පිරී'තිරී යනවා. ඒ ආත්තම්මා ඉන්නෙ දුගී පැලක ද රජ මැදුරක ද කියලා වෙනසක් නැහැ.

ආත්තම්මාට දැනෙන සතුටෙත් දුප්පත් පෝසත් කියලා භේදයක් නැහැ. මේ හිරු නොබසින අධිරාජ්‍යයේ මහ රැජන, දෙවැනි එළිසබෙත් මහ රැජන. ලෝකයේ හැමෝම එක වගේ ආදරය කරන ආත්තම්මා කෙනෙක්.

රටම වසා තබා ඇති මොහොතක වුණත් දෙවැනි එළිසබත් මහ රැජනගේත් එඩින්බරෝ ආදිපාදවරයාගේත් හදවතේ සතුට නම් කාටවත් වසා දමන්න බැරි වුණා. මේ දෙන්නා 73 වැනි විවාහ සංවත්සරය සැමරුවේ නොවැම්බර් 20 වැනිදායි. ඒ සුබ දවසේ වින්ඩ්සර් රාජ මන්දිරයේ ඕක් කාමරයේ දෙන්නාගේ කාලය වැඩිපුරම ගතවු‍ණේ සුබ පැතුම් පත් සමඟයි. මොනතරම් සුබපැතුම් පත් තිබුණත් රැජනගේ අත දිගුª වු‍ණේ දෙමුනුබුරන් විසින් එවන ලද සුබ පැතුම් පතටයි.

හත් හැවිරිදි ජෝර්ජ් කුමරු, පස් හැවිරිදි චාලට් කුමරිය, දෙහැවිරිදි ලුවිස් කුමරු ආත්තම්මාටයි අත්තාටයි අපූරු සුබ පැතුමක් එවා තිබුණා. ඒ අධික මුදලක් වියදම්කර මිලදී ගත් වටිනා කාඩ් පතක් නෙවෙයි. ඒත් රැජනටත් ආදිපාදවරයාටත් මේ කාඩ්පත ලෝකයේ වටිනාම කාඩ්පතටත් වඩා වටිනවා. ඒ ජෝර්ජ් කුමරුගේත් චාලට් කුමරියගේත් ලුවිස් කුමරුගේත් ආදරය අඩුවක් නැතිව ඔවුන්ගේ අකුරවල සිතුවම්වල ගැබ්වී තිබුණු නිසයි.

කාඩ්පතේ 73 ඉලක්කම

ලොකුවට ලියලා හරි පරෙස්සමට පාටකරලා. වටේට පාට පාට රවුම් ඇඳලා.

දෙවැනි එළිසබත් රැජනට දැන් වයස අවුරුදු 94ක්. එඩින්බරෝ ආදිපාදවරයා ජුනි 10 වැනිදා සැමරුවෙ 99 වැනි උපන් දිනයයි. එළිසබත් කුමරිය, පිලිප් කුමරුගේ අත ගත්තේ වයස අවුරුදු 21 තරම්වූ ළාබාල වයසකදීයි. ඒ වන විට පිලිප් කුමරුට (එඩින්බරෝ ආදිපාදවරයාට) අවුරුදු 26ක්. දශක හතක් ඉක්මවූ දෙන්නගෙ යුග දිවියේ රස රහස එකිනෙකා පිළිබඳව තිබූ අවබෝධයයි. ඇය රටවල් ගණනකට රැජනක්. එහෙත් නිවෙසේ රජු වු‍ණේ ඔහුයි. 2017 පිලිප් කුමරු රාජකීය සේවයෙන් විශ්‍රාම ගත් පසු රැජනගේ පෞද්ගලික ගොවිපලක එකිනෙකාගෙන් දුරස් වෙලා සිටියත් කෝවිඩ් - 19 වසංගතය නිසා දෙන්නට යළිත් එක වහලක් යට වාසය කරන්න අවස්ථාව ලැබුණා. වසංගතය රජ යුවළට වාසනාව රැගෙන ආවා. ඒ නිසා 73 වැනි විවාහ සංවත්සරය දෙන්නට අති විශේෂයි. දෙන්නා එකට එකතු වෙලා සරල රාත්‍රී ආහාරයක රස බැලුවා. සුපුරුදු විදියට අත්වැල් බැඳ ගෙන ඇවිදින්නත් අමතක කළේ නැහැ.

මහ රැජනටත් එඩින්බරෝ ආදිපාදවරයාටත් පුතුන් තිදෙනකුත් දියණියකුත් සිටිනවා. ඔවුන්ට දරුවන් අටක් සිටින අතර දරුවන්ගේ දරුවන්ටත් දරුවන් අට දෙනෙක් සිටිනවා. සමහරු දික්කසාද වෙන්නෙ දරුවන් ද දරුවන් ලැබූ පසුවයි. තවත් අය විවාහයෙන් දින කිහිපයකට පසු වෙන් වෙනවා. මෙවැනි දේ දකින්න ලැබෙන්නෙ සුදු ජාතිකයන් අතර විතරක් නෙවෙයි. ආසියානුවන් වූ අපටත් එය පොදුයි. එවන් වාතාවරණයක් පවතිද්දී දෙවැනි එළිසබත් රැජනගේත් ආදිපාදවරයාගේත් ආදර විජිතයේ හිරු කිසිදා නොබසින බවට 73 වැනි විවාහ සංවත්සරය සාක්ෂියක් සහ පරමාදර්ශයක් වී තිබෙනවා.

අන්තරජාලයෙනි