පොත් මතින් ජීවිතය ජය ගත් ටෝනි රොබින්ස්..

දෙසැම්බර් 23, 2020

ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට නම් විශේෂ දක්ෂතා පැවතිය යුතු යැයි ඇතැම්හු සිතති. එසේත් නැතිනම් අධ්‍යාපනයෙන් ඉහළ තත්ත්වයක් ලබා ගත යුතු යැයි සිතති. එහෙත් තම ජීවිත සාර්ථකත්වය කරා ගෙන ගිය සෑම පුද්ගලයකු ම එසේ විශේෂ දක්ෂතා හෝ උසස් අධ්‍යාපනය ලබා ගත් පුද්ගලයන් පමණක් ම නොවේ.

අපේ බොහෝ තරුණ පිරිස් තමාගේ නැතිකම්, නොහැකියාවන් පිළිබඳ සිතා දුක් වෙති. ජීවිතයේ ඉදිරියට යාමට තමාට නොහැකි බැව් සිතමින් ලතැවෙති. එහෙත් අද අප ඔබට පවසන්නේ එසේ සිතමින් සිටිය යුතු නැති බවයි. 'සිත ඇත්නම් පත කුඩාද' යන කියමන ඔබ අසා ඇතත් එයට අනුව කටයුතු කිරීමට නොසිතන්නට ඇති.

තමාට එතරම් ඉහළ අධ්‍යාපන සුදුසුකම් නැති වීම හෝ දැනට කුඩා රැකියාවක නියුතු වීම ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට බාධාවන් නොවේ. 1960 වසරේ පෙබරවාරි මස 29 වැනි දින අමෙරිකාවේ නෝර්ත් හොලිවුඩ්හි උපත ලද තරුණයකු මුළු ලොවට ම අගනා පාඩමක් ගෙන හැර පෑමට සමත් විය.

අද අප ඔබට ඉදිරිපත් කරන්නේද ඔහුගේ ජීවිතයෙන් අපට උගත හැකි දේ පිළිබඳයි.

මේ තරුණයා තම ජීවිකාව ලෙස සෞඛ්‍ය කම්කරුවෙක් ලෙස සේවය කළේය. මෙය සාමාන්‍ය මට්ටමේ රැකියාවක් වුවද අපේ රටවල මෙන් අමෙරිකාවේ කිසිම පුද්ගලයකු ඔහුගේ රැකියාව නිසා උසස් හෝ පහත් ලෙස නොසලකයි. විශාල පැය ගණනක් කය වෙහෙසමින් වැඩ කළ ද ඔහුට ලැබෙන්නේ කුඩා වැටුපකි.

ඔහු උසස් අධ්‍යාපනයක් නොලැබූ සාමාන්‍ය පාසල් අධ්‍යාපනයක් පමණක් ලැබූ පුද්ගලයෙකි.

ඔහුට ද තරුණයෙක් ලෙස අනෙක් තරුණයන් තුළ තිබූ සිහින ම තිබුණ ද ඒවා යථාර්ථයක් කරගැනීම සිහිනයක් ම වේදෝයි සිතී තිබිණි. එමනිසා නිතර තම සිහින ගැන සිතමින් සිටින විට ඔහුට ඇසෙන්නේ තමා වැඩ කරන ගොඩනැගිල්ලට ඉහළ අහසේ පියාසර කරන ගුවන් යානාවක හඬයි.

එය ඇසෙන විට ඔහුගේ සිතේ ඇතිවන්නේ මම කම්කරුවකු ලෙස දවස පුරා වෙහෙසී වැඩ කිරීමටත් ඔවුන් අහසේ පියාසර කිරීමටත් යන මේ වෙනස නිර්මාණය වන්නට ඇත්තේ කුමක් මතද යන්නයි.

'මේ සඳහා මම දන්නා දේට වඩා දෙයක් ඔවුන් දන්නවා වෙන්නට ඇති..' තමා නොදන්නා දේ ඔවුන් දැන සිටීම යන මේ දැනුමේ වෙනස නිසා පවතින තත්ත්වයේ වෙනස ඇති වී තිබෙන බව ඔහු තේරුම් ගනී.

මේ නිසා ඔහු තමාගේ මාසික වැටුපෙන් සතියක වැටුපේ ප්‍රමාණය ඉතිරිකර එයින් විවිධ විෂයයන් පිළිබඳ හා පුද්ගලයන්ගේ සාර්ථකත්වයන් පිළිබඳ පොත පත කියැවීමට පටන් ගනී. ඔහුගේ ජීවිත කතාවට අනුව පොත් 700-800 ක් පමණ ප්‍රමාණයක් එම කාලයේ දී කියැවූ බව සඳහන් වේ.

ඉක්මනින් පොත් කියැවීමට අවශ්‍ය නිසා වේගයෙන් කියැවීම පුහුණු කිරීම සම්බන්ධ පාඨමාලාවකට පවා ඔහු සහභාගී වී ඇත. එසේ වේගයෙන් කියැවීමට ඔහු පෙලඹී ඇත්තේ වයසට ගොස් සාර්ථකත්වය ලබාගැනීමට වඩා තරුණ වියේ දී ම එය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

තමාට ලබා ගත නොහැකි වූ අපේක්ෂිත දැනුම ලබා ගැනීම සඳහා ඔහු පොත් කියැවීමට පුරුදු විය. තමා සේවය කරන අතරතුර ලැබෙන හැම කුඩා විවේකයක් ම පාහේ ඔහු පොත් කියැවීම සඳහා යොදා ගනී.

මේ කියවූ පොත් ඔහුගේ ජීවිතය සැබැවින් ම වෙනස් කිරීමට සමත් වේ. එයින් ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වේ. එපමණක් නොව, පොත් ගණනාවක් ලියූ ලේඛකයකු බවට පත් වීමටත්, අමෙරිකාවේ පමණක් නොව ලොව පුරාම යමින් සාර්ථකත්වය පිළිබඳ දේශන පවත්වන ජනපි‍්‍රය දේශකයකු බවට පත් වීමටත් හේතු විය.

අපූරු සිද්ධිය වන්නේ තම ව්‍යාපාරය පවත්වාගෙන යන ගොඩනැගිල්ලට ඉහළින් තම පෞද්ගලික ගුවන් යානයෙන් පියාසර කිරීමයි. තම රටේ අනෙකුත් ප්‍රාන්තවලට මෙන්ම වෙනත් රටවල ඇති දේශන සඳහා ඔහු පිටත්ව යන්තේ තම පෞද්ගලික ගුවන් යානයෙනි.

සෞඛ්‍ය කම්කරුවකු ලෙස සේවය කළ පුද්ගලයා තමාගේම ගුවන් යානයෙන් ගොස් දේශන පවත්වන්නකු, ව්‍යාපාරිකයකු, ලේඛකයකු බවට හා මඟ පෙන්වන්නකු බවට පත් වීම තමාගේම සිත අවධි කිරීමයි.

ඔහුගේ දේශනයක් සඳහා ඩොලර් ලක්ෂ 3 ක් අය කරයි.

එනම් ඔහුගේ එක් දේශනයක වටිනාකම වන්නේ ඩොලර් ලක්ෂ 3 කි. රුපියල්වලින් මෙය ගණනය කිරීමට අප ඩොලරයක් රුපියල් 150 ක් ලෙස ගළපා ගණන් බැලුවහොත් ඔහු යම් ආයතනයකින් දේශනයක් සඳහා ගෙන්වන්නේ නම් රුපියල් මිලියන 45 ක් වැය වේ. මෙය ඔහුගේ එක් දේශනයක ආදායම පමණි.

මේ ධෛර්යවත් පුද්ගලයා වන්නේ ටෝනි රොබින්ස් ය.

ඔහුගේ වත්කම අන්තර්ජාලයේ සඳහන් වන්නේ ඩොලර් මිලියන 500 ක් ලෙසයි. එනම්, ඔහු මේ වන විට ධන කුවේරයෙකි. මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශය වන්නේ දැනට කුඩා රැකියාවක නියුතු වන අයකුට වුවද සාර්ථක පුද්ගලයකු විය හැකි බවයි.

තමාට යම් ඉලක්කයක් ලබා ගෙන එම ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා කැපවීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කිරීමෙන් දිනෙක ජීවිතය දිනිය හැකි බව ටෝනි රොබින්ස් අපට තම ජීවිතය තුළින් ම ආදර්ශ සපයා තිබේ.

පුද්ගලයකුගේ සාර්ථකත්වය තීරණය වන්නේ වාසනාව, ග්‍රහතරු මත, දෛවය මත නොවේ. සාර්ථකත්වය තීරණය වන්නේ ඔහු කරන දේ හා එය කරන ආකාරය අනුවයි.

ටෝනි පොත් කියවා ජීවිතයට ඉලක්කයක් සකසා ගනියි.

එම ඉලක්කය ජය ගැනීම සඳහා අවශ්‍ය වන දැනුම සොයාගෙන අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාවට නංවමින් තම අරමුණ ජය ගැනීමට, තමාට අවශ්‍ය වූ ඉලක්කය වෙතට ගමන් කිරීමට ඔහුට හැකියාව ලැබේ.

ඇතැම් විට එය ඔහුගේ ඉලක්කය අබිබවා යන මට්ටමක් වූවාද විය හැකියි.

මන්ද ඔහු ව්‍යාපාරිකයෙක්, ලේඛකයෙක්, දේශකයෙක්, මාර්ගෝපදේශකයෙක් හා ධන කුවේරයෙක් බවට පත් වී ඇති බැවිනි.

එමනිසා අප කිසි විටෙකත් දැන් අප සිටින තත්ත්වය පිළිබඳ සිතා මන්දොත්සාහී වීමට හෝ මේ ලබා උපන් හැටි යැයි සිතා කිසිවක් නොකර සිටීමට නොපෙලඹිය යුතුය.

මන්ද අපට ලැබෙන්නේ අපගේ උත්සාහයේ තරමට ය. උත්සාහයකින් තොරව ලැබෙන දෙයට වඩා උත්සාහයෙන් ලබා ගන්නා දේ ආත්මතෘප්තියෙන් වැඩි ය.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් සාර්ථක පුද්ගලයකු ලෙස සමාජයේ වැදගත් තැනක් උරුමකර ගත හැකි වේ.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා

මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු