දුරස් වුණු සබඳතා නව වසරේදී අලුත් කරගනිමු

ජනවාරි 6, 2021

සැබෑ මිතුරා අවංකවම හිතවත්, දුකේදී අත්හැර නොයා පිහිටට එන පුද්ගලයෙක්.

 

යථාර්ථය එය වුවත් නවීන තාක්ෂණය අපට ඔවුන් හා සබඳතා පවත්වන්න ඕනෑ තරම් අවස්ථා ලබා දීලා

 

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම 2020 වසරේ කෝවිඩ් - 19 වසංගතය සමඟ අපේ දෛනික ජීවිතයට එක්වූ අලුත්ම වගකීමක්. උතුරා යන සෙනෙහසක් දැනුණ ද කලණ මිතුරන්ට පවා උරහිසට තට්ටුවක් දැමීමටවත් නව කොරෝනා වෛරසය ඉඩ තබා නැහැ.

තමන්ගෙන් අනෙකාට රෝගය සෑදෙයි යන බිය නිසා හෝ අනෙකාගෙන් තමන් රෝගීවේයැයි යන බිය නිසා හෝ අතේ දුරට වැඩි දුරක් පවත්වා ගැනීමට සැමටම සිදුවෙලා. සමහරුන් නම් සමාජ දුරස්ථභාවය සමඟ සමාජ ඇසුරින් ඈත්වෙලා හුදෙකලාවී සිටිනවා. ඒත් සමාජ ජීවියකු වන මිනිසාට එය අසීරු දෙයක්.

මෙවැනි කාලයක වුණත් මිතුරන් සිටිනවාට බහුතරයක් කැමැති ඒ නිසයි.

විසි එක් වැනි සියවසේ ජීවත් වන්නන්ට මිතුරන් කී සැණින් මතකයට එන්නේ මුහුණු පොතේ නැත්නම් ෆේස්බුක් පිටුවේ මිතුරන්. සමහරු මිතුරන් ගණන් කරන්නේ ෆේස්බුක් පිටුවේ සිටින මිතුරන්ගේ ගණනින්. ඇතැමුන්ගේ මිතුරන් ගණන හාර දහස, පන් දහස ඉක්මවා යනවා. පිරිවර (ෆොලෝවර්ස්) සිටින ෆේස්බුක් පරිභෝගිකයන් ද ඕනෑතරම්. ඒ අය තමන්ගේ සැබෑ මිතුරන් කියා සිතන්නේ ෆේස්බුක් පිටුවේ සිටින මිතුරන් ටිකයි. සැබැවින්ම ඒ අතර කලණ මිතුරන් සිටිය හැකියි. එහෙත් බහුතරයක් එසේ නො වන බවට සමාජය ඕනෑතරම් සාක්ෂි දරනවා.

සැබෑ මිතුරා අවංකවම හිතවත්, දුකේදී අත්හැර නොයා සැබෑවටම පිහිටට එන පුද්ගලයෙක්. කලණ මිතුරන් කවුරුන් ද කියා බුදු දහමේ කදිමට විග්‍රහ කරනවා. කලණ මිතුරන් කෙනකුට මුණ ගැසෙන්නේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. හොඳම මිතුරන් කියා සිතා ගෙන සිටියත් වැඩි දෙනෙක් අවස්ථාවාදීන්. සැබෑ මිතුරා කියන්නේ ලාබ අපේක්ෂාවන්ගෙන් තොරව ක්‍රියාකරන්නන්. හොඳම මිතුරා හඳුනා ගැනීමට නම් අප අසීරුතාවකට පත් විය යුතුයි. නිවෙසේ කවුරුන් හෝ නැති, ඔබ ද නිවෙසෙන් බැහැර රාජකාරියට ගොස් සිටින අවස්ථාවක් ගැන සිතන්න. හදිසියේම දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඉන් කියැවෙන්නේ ඔබේ නිවෙසින් විශාල ශබ්දයක් ඇසෙන බවයි. ඇමතුම ලැබෙන විට ඔබ සිටින්නේ හලාවත. නිවෙස තිබෙන්නේ පන්නිපිටියේ. කඩිනමින් පැමිණීමට බැරි දුරක ඔබ අසරණ වී සිටිනවා. මෙවැනි වෙලාවක ඇමතුමක් දී නිවෙසට ගොස් සිදුවී ඇති දේ බලන ලෙස පැවසිය හැකි මිතුරකු ඔබට සිටිනවාද? එසේ සිටිනවා නම් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. යහපත් මිතුරු ඇසුරක් ලබන්නට නම් තමා ද ඔහුට / ඇයට හොඳ මිතුරකු විය යුතුයි.

වසංගත කාලයේදී හොඳ මිතුරන් සිටීම ඉතා වැදගත්. මිතුරන් කියන්නේ පාසලේ, සරසවියේ, රැකියා ස්ථානයේ සිටින පුද්ගලයන් පමණක් නො වෙයි. අසල් වැසියන්, නෑයන් අතර ද හොඳ මිතුරන් සිටිනවා. සමහර විට හොඳම මිතුරා වන්නේ තමන්ගේ පවුලේ අය වීමට පුළුවන්. "මගේ හොඳම යාළුවා තමයි මගේ මහත්තයා", "දුව මගේ මිතුරිය" මෙසේ පවසනවා ඔබත් අසා ඇති. කෝවිඩ් - 19 වසංගතය සමීපතමයන් අපෙන් ගතින් දුරස් කරලා. කලණ මිතුරන්ට මෙය අසීරු කාලයක්. පවතින යථාර්ථය එය වුවත් නවීන තාක්ෂණය අපට ඔවුන් හා සබඳතා පවත්වන්න ඕනෑ තරම් අවස්ථාවන් ලබා දීලා. අසල්වැසියන් සමඟ නම් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන පහසුවෙන්ම ඇසුරු කරන්න පුළුවන්. මෙවැනි කාලයක අපට හිතවත් පුද්ගලයන් ඇසුරු කිරීම, සමාජ සම්බන්ධතා ඉතා වැදගත්. අපේ මානසික සුවතාව හොඳීන් පවත්වා ගෙන යා හැක්කේ එවිටයි. වසංගතය කිසි විටකත් යහපත් මිතුරු ඇසුර දුරස් කිරීමට හේතුවක් කරගනු එපා. යහපත් සබඳතා ජීවිතෙන් ගිලිහී යාම මඟින් කෙනකුගේ මානසිකත්වය බිඳ වැටෙනවා. ස්මාට් දුරකථනය මිතු දමේ පාලම කරගත හැකි ආකාර ගණනාවක් තිබෙනවා. කෙටි පණිවුඩ ( එස්එම්එස් ) යැවීම, වයිබර්, වොට්ස්ඇප්, මුහුණු පොත ඊට උදාහරණ කිහිපයක් පමණයි. ඉන් ලැබෙන සහනය ඔබත් අත් විඳීන්න.

 

***************************

 

සිහියෙන් ජීවත් වෙමු

 

නව වසරට අලුතින් දින එක් වෙනවා වගේ ජීවිතයට අලුතින් යමක් එක්කර ගැනීම වැදගත්. සිහියෙන් ජීවත් වීම එසේ එක්කර ගතයුතු වටිනා ගුණාංගයක්. සිතන්න අපෙන් කීයෙන් කී දෙනාද කරන කියන දෙය දැන ගෙන කරන්නේ. කෑම ගන්නා අතරේ තමන් කැම ගනිමින් සිටින බව සිතනවාද? දුරකථනය භාවිතා කරමින්, ඉදිරියට කිරීමට ඇති වැඩ ගැන සිතමින් ආහාර ගන්නා අය අප අතර ඕනෑ තරම්. දිවා ආහාරය ගන්නා අතරේ රාත්‍රී ආහාරය ගැන සිතන්නන් සිටිනවා. වසංගත කාලයක සිටියත් නො සිටියත් සිහියෙන් ජීවත්වීම ඉතා වැදගත්. යමක් කිරීමේදී සිත දස අත දුවන්නේ මානසික සෞඛ්‍ය අයහපත් පුද්ගලයන්. අප අතර සියයට අනූ ගණනක්ම සිටින්නේ එවැනි පුද්ගලයන් බව රහසක් නො වෙයි. සිත එක් තැන් කිරීම කෙතරම් අසීරු ද කියා දැන ගැනීමට නම් සිහියෙන් සිටිය යුතුමයි. එහෙත් අසීරුවෙන් හෝ සිහියෙන් සිටීම පුරුදු පුහුණු කළ විට තමන්ගේ පෞරුෂත්වය කෙතරම් සුබවාදී ලෙස වෙනස් වෙනවා ද කියා තමන්ට ම දැනෙනවා. නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම පවා සිහියෙන් සිටින්නාට පහසු දෙයක්.