ජීවිතයේ හැම කාලයම හොඳ කාලයන් නොවේ

නව වසරට නව සැලසුම් බලාපොරොත්තු අත් නොහරින්න
ජනවාරි 13, 2021

නව වසරක් උදාවෙන්නේ ජීවිතයට නව බලාපොරොත්තු කැඳවමිනි. උදා වූ නව වසර ජයග්‍රාහී, සාර්ථක වසරක් කරගැනීම හැම අයකුගේම බලාපොරොත්තුවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නොතිබුණා නම් මුළු ලෝ වැසියන් ම මේ වසර කොතරම් ආදරයෙන් පිළිගන්නවා ඇතිදැයි අපිට පෙර වසරවල ආරම්භයන් සිහිකර ගැනීමෙන් සිතා ගැනීමට පුළුවන්. අපේ රටේ වුවත් සෑම නිවෙසක ම කිරිබත් සකසා සෑම අයකුට ම එම කිරිබතින් සංග්‍රහ කරමින් සුබපැතුම් එක්කරමින් නව වසරක නව බලාපොරොත්තු සමඟින් නව වසර අරඹයි.

ඒ වගේම සෑම අයෙක්ම, සෑම ආයතනයක් ම පාහේ නව වසර වෙනුවෙන් නව ඉලක්ක සකසා ගනී. එසේ කරන්නේ පසුගිය වසරට වඩා නව වසර ජයග්‍රාහී, සාර්ථක වසරක් කරගැනීමේ අභිප්‍රායෙනි. එබැවින් අද අපි ඔබ සමඟ නව වසරේ නව ඉලක්ක සහ අරමුණු ඇතිකර ගැනීම පිළිබඳ කතා කරමු.

පවතින වසංගත තත්ත්වය නිසා අපේ රටේ පමණක් නොව, ලෝකයේ බොහෝ දෙනා ද අනාගතය පිළිබඳ විසල් බලාපොරොත්තු, අරමුණුවලින් තොරව උදාසීන කමකින් උදා වූ නව වසර දෙස බලා සිටියි. මෙය මුළු ලොවට ම බලපා ඇති තත්ත්වයක්. එහෙත් අද අපේ බලාපොරොත්තුව එයට වඩා වෙනස් අදහසක් ඔබ වෙත ලබා දීමටයි.

දිනක් මට අපේ රටේ තරුණ ව්‍යාපාරිකයෙක් හමු වුණා. ඒ කාලය ලංකාවේ මෙන්ම ලෝකයේ ද තරමක ආර්ථික අර්බුදයක් ඇති වී තිබූ කාලයක්. මේ තත්ත්වය අපේ රටට දැඩිව බලපා තිබුණා. බොහෝ ව්‍යාපාරික ආයතන එවැනි කාලයන්හිදී නව ආයෝජන, නව ව්‍යාපෘති ආරම්භ කිරීම නතරකොට ආර්ථිකය යම් තත්ත්වයකට පැමිණෙන තෙක් බලා සිටීම සාමාන්‍ය දෙයක්. එහෙත් වයස අවුරුදු 25 ක් පමණ වන මේ තරුණයා ආර්ථික අතින් අයහපත්ව සිටි කාලයේ නව ව්‍යාපාර දෙකක් ආරම්භකොට තිබුණා.

බොහෝ දෙනා ආයෝජන නොකරන කාලයක ඔබ මෙවැනි ආයෝජනයක් කිරීමට අදහස් කරන්නේ ඇයිදැයි මම ඔහුගෙන් විමසුවා. ඔහුගේ පිළිතුර අපි කාටත් හොඳ ආදර්ශයක්. ඔහු පැවසුවේ, ඒක තමයි මගේ වෙනස.. අනිත් අය හොඳ කාලය එනකල් බලාගෙන ඉන්නවා ව්‍යාපාරය ආරම්භ කරන්න. මම නරක කාලෙදී ආයෝජනය කරලා මූලික කටයුතු ටික සූදානම් කරගනිද්දී නරක කාලය ගෙවිලා අවසන් වෙනවා.. එවිට හොඳ කාලය ලැබුණු ගමන් ම මට මගේ ව්‍යාපාරවලින් වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. අනිත් අය හොඳ කාලය එනකල් බලන් ඉඳලා ව්‍යාපාර අරඹන්න තීරණය කරනකොට මම තරගයක් නැති වෙළෙඳපොළ ඇතුළේ මට අවශ්‍ය ලාභය, වර්ධනය ලබාගෙන ඉවරයි...

ජීවිතයේ හැම කාලයම හොඳ කාලයන් නොවේ. විවිධ වූ ගැටලු, පාරිසරික, ආර්ථික, සමාජයීය තත්ත්වයන්ට අපට මුහුණ දීමට සිදු වීම සාමාන්‍යයි. මෙහිදී ඒවාට නොසැළී උපක්‍රමශීලීව මුහුණ දුන් පුද්ගලයා ජීවිතය දිනීමට, තම ඉලක්ක සපුරා ගැනීමට සමත් වෙනවා. එමනිසා මේ වසර ජයග්‍රාහී වසරක් කිරීමට අප කුමක් කළ යුතුදැයි බලමු.

මෙයින් පළමු කාරණය වන්නේ බලාපොරොත්තු අත්නොහැරීමයි. කොවිඩ් වැනි වසංගත තත්ත්වයන් යනු දීර්ඝකාලීනව හෝ සදා කාලිකව පවතින තත්ත්වයන් නොවේ. මෙවැනි නොයෙකුත් වසංගත සහිත කාල සීමා ඉතිහාසයේ ඇති වී තිබෙන බවට සඳහන්. ඒවා මනුෂ්‍ය ජීවිත නැතිකර, ආර්ථික ගැටලු ඇතිකර කාලයක දී ස්වභාවිකවම නැති වී ගොස් තිබෙනවා. එමනිසා මෙවැනි කාලවල දී අප අමුතුවෙන් දැඟලුවායැයි වැඩක් නොවන අතර එම රෝගයෙන් වැළකීම පිණිස පිළිපැදිය යුතු උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුය. ඒ සමඟම අප තුළ අනාගතය ගැන ඇති බලාපොරොත්තු අත්නොහැරීම ද කළ යුතුයි. ඇතැම්විට වෙනදා ගිය තරම් වේගයකින් ඔබට මේ දිනවල දී තම අරමුණු කරා යාමට නොහැකි විය හැකියි. එහෙත් අරමුණ සිතේ ඇතිව බලාපොරොත්තු සහගතව කටයුතු කළ යුතුය.

දෙවැනි කාරණය වන්නේ ඍණාත්මක නොවන්න යන්නයි. මන්ද ආර්ථික පරාජිත බවට වඩා මානසික පරාජිත බව පුද්ගලයකුට හානිදායක වන බැවිනි. පුද්ගලයෙක්, ආයතනයක් හෝ රටක් දියුණු කිරීමට නම් පළමුවෙන් ම මනසින් පොහොසත් විය යුතුයි. මනසින් පොහොසත් වූවකුට ආර්ථික සමෘද්ධිමත් බව ආර්ථික පොහොසත් බව ලබා ගැනීමට හැකි වේ. මෙය බොහෝ අය පසුගාමීව සිතූ නව වසරක්. ඇතැම් අය සුබ නව වසරක් යැයි සුබ පැතුම් එක්කිරීමට පවා උනන්දු නොවූ, පරාජිත මානසිකත්වයකින් සිටි නව වසරක් බව ඔබත් දකින්නට ඇති. වටේම මිනිස්සු මැරෙද්දී සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන්නේ කෙසේදැයි ඔවුන් පැවසුවා. නමුත් නොමැරී ජීවත් වුවහොත් ඉදිරියේ දී කරන්නේ කුමක්ද? ජීවත් වන්නේ කෙසේදැයි ඔවුන් සිතා බැලුවේ නැහැ. මියගිය විට ප්‍රශ්නය එතැනින් නවතිනවා වුවත් ජීවත් වූ විට අපි අනාගතය ගැන සිතා කටයුතුකර නොතිබුණහොත් අපිට ලොකු ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වේ.

එනිසා ඍණාත්මක සිතුවිලි සහිත පුද්ගලයන්, සිතිවිලි ආදියෙන් ඈත් වී කටයුතු කරන්න. ධනාත්මකව සිතිය යුතු නැත. නමුත් ඔබ යථාර්ථවාදී විය යුතුය. යථාර්ථවාදී වීම යනු සැබෑ තත්ත්වය හඳුනාගෙන සැබෑවට මුහුණ දීමයි. නියඟයක් පැමිණි විට විසල් ගස් තම පත්‍ර හලා නියඟයට මුහුණ දෙන්නේ වැස්සක දී නැවත දලු ලා වැඩෙන්නටයි. නැවක් ගිලීමට යන විට එහි කපිතාන්වරයා නැවේ බර අඩුකර ගැනීමට නැවේ ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ නැවෙන් ඉවතට දමා නැව බේරා ගනී. එසේ වන්නේ ඔවුන් යථාර්ථවාදීව අවස්ථාවට මුහුණ දීම නිසයි. ඒ නිසා ආදායමට සරිලන සේ වියදම සකසා ගන්න. අනවශ්‍ය වියදම් කපා හරින්න. ගෙවත්තේ ඉඩකඩ පවතී නම් යමක් වගාකර ගන්න. ඔබ 2021 වසරට සූදානම් වන්න.

අනෙක් කාරණය වන්නේ නව සැකසුම් සකස් කිරීමයි. ඔබ යම්කිසි ගමනක් යනවා නම් එම ගමන යන මාර්ගයේ යම් බාධකයක් තිබුණහොත් ඔබ ගමන නොයා සිටින්නේ නැත. වෙනත් විකල්ප මාර්ගයක් භාවිතකර ඔබ ඔබේ ගමනාන්තයට කරා යයි. මෙහිදී ඔබ කරන්නේ ඒ සඳහා යොදන උපක්‍රමය වෙනස් කිරීම පමණයි. මෙහිදී ඉලක්කය නොව, වෙනස් කරන්නේ ඒ සඳහා යන මාර්ගයයි.

අවසන් කාරණය වන්නේ නව ඉලක්ක සැකසීමයි. මෙහිදී පැවසෙන්නේ ඔබ යම් ව්‍යාපාරයක් කරමින් සිට එය අසාර්ථක වනවා යැයි හැඟෙනවා නම් එහිම එල්ලී සිටිය යුතු නැති බවයි. ඒ සඳහා වෙනත් සුදුසු ව්‍යාපාරික අවස්ථා ගැන සොයන්න. වෙනත් ඉලක්ක ඇතිකර ගන්න. මෙහදී ඉලක්කය වෙනස්කර සාර්ථකත්වය කරා යා යුතුය. යම්කිසි භාණ්ඩයක් අලෙවිකරමින් සිට මේ තත්ත්වය යටතේ එයට ඉල්ලුමක් නැතිනම් ඔබ විසින් කළ යුත්තේ මේ දිනවල සාර්ථක වේයැයි සිතිය හැකි වෙනත් භාණ්ඩයක් අලෙවි කිරීමයි. එනම් අලුත් ඉලක්කයක් සකසා ගැනීමයි. බොහෝ ආයතනවල පවා මේ වන විට සේවකයන් ඉවත් කරයි. එමනිසා ඔබ ඔබේ ම ඉලක්කයක් සකසා ගත යුතුයි. මේ සඳහා ඔබට ව්‍යාපාරයක් ඇරැඹිය හැකියි. එය සාර්ථක වන විට තවත් පුද්ගලයන්ට රැකියා ලබා දීමට පවා ඔබට හැකි වනු ඇති.

අත්නොහරින්න. 'මිනිසුන් අසාර්ථක වෙන්නේ නැත, සාර්ථකත්වයට යාමට මත්තෙන් අතහරී 'යැයි කියමනක් පවතී. අපි බොහෝ දේ කරගෙන ගොස් යම් බාධක පැමිණෙන විට අරමුණ අතහරී. එමනිසා ඉලක්ක අතනොහැර සිටීම ජීවිතය ජය ගැනීමට හේතුවක් වේ. බුදු දහමේ පැවසෙන්නේ ඔබ යමකදී සාර්ථක වීමට නම් ආරම්භ කිරීමේ ශක්තිය, පවත්වාගෙන යාමේ ශක්තිය, එය සාර්ථකව නිම කිරීමේ ශක්තිය ද පැවතිය යුතු බවයි. මේ කාලයේ දී ඔබේ අරමුණ ජය ගත නොහැකි නම් අවම වශයෙන් එය දරාගෙන, අල්ලාගෙන සිටීමේ ශක්තිය ඔබට තිබිය යුතුය. එවිට මේ කරදරකාරී තත්ත්වය පහව ගිය පසු ඔබට නැවත සාර්ථක වීමේ අවස්ථාව උදා වේ.

 

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු