පාට පාටින් ජීවිතය ලස්සන කරගනිමු

පෙබරවාරි 17, 2021

 

ලෝකය කළු - සුදු වුණා නම්....

“අපෝ ජීවිතය හරිම ඒකාකාරී වෙයි. “

ඔබ එසේ පැවසුව ද අවාසනාවකට වර්ණ සපිරි ලොවක ඔබ ජීවත් වන්නේ ඒකාකාරීව බව ඔබ දන්නවා ද?.

ජීවිත ආතතියෙන් පිරිලා. කළු සුදු ලොවක අතරමං වෙලා. දේදුන්නක් මෙන් ජීවිතය වෛවර්ණ කරගන්නේ කෙසේද? අපි දැන් ඒ ගැන කතා කරමු.

සෑම වර්ණයක්ම අපේ ජීවිතයට එක්කරන ජීවී සුන්දරත්වයක් තිබෙනවා.

රතු - රතු බලයේ, ශක්තියේ, සරාගී බවේ වර්ණයයි. ලජ්ජාශීලී, මන්දෝත්සාහී, ආත්ම විශ්වාසයක් නැති අයට රත් පැහැයෙන් ජීවිතයට ප්‍රබෝධයක් ලැබෙනවා.

අනෙක් වර්ණ අතරින් රත් පැහැය කියන්නේ දුටු සැණින් ඇස ඇදී යන වර්ණයක්. රුධිර පීඩනය ද රතු පැහැයෙන් ඉහළ යනවා. කොහොම වුණත් මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. තද රතු කෝපය අවුළනවා. නො රිස්සුම් සහගත බවක් ඇති කරනවා.

 

තැඹිලි -තැඹිලි යනු හිරුගේ වර්ණයයි. උණුසුම, විනෝදය, සුබවාදී බව ජීවිතයට කැන්දනවා. නව අදහස් පූදිනවා. තැඹිලි පැහැ පරිසරයකදී අපට නිදහස් ස්වෛරී බවක් දැනෙනවා.

 

කහ - කහ වර්ණය හිරු කිරණවල පැහැයයි. දැනුම, සතුට, සුබවාදී බව රැගෙන එයි. තීරණ ගැනීමේදී ඇඳීය යුතු වර්ණයක්. ආත්ම විශ්වාසය අඩු අයට කහ වස්ත්‍රයෙන් සැරසීමෙන් තමන් ගැන විශ්වාසයක් ගොඩ නැඟෙනවා. පමණට වඩා කහ පැහැයෙන් සැරසුණොත් විවේචනයෙන් නම් අඩුවක් වන්නේ නැහැ. තමන් අනුන්ව විවේචනය කරනවා වගේම අනුන් ද තමන්ව විවේචනය කරනවා.

කොළ -සොබා දමේ, සරු බවේ, සාමකාමී බවේ, ධනයේ පැහැය වන කොළ නැතිවී ගෙන යන ශක්තිය ලබා දෙනවා. තමන්ට ආදරය කිරීමටත් අනුන්ට ආදරය කිරීමටත් කොළ පැහැය සිත් ඇති කරනවා. කොළ සෞභාග්‍යවත් බවක් සංකේතවත් කළත් සිතේ කුකුසක් ඇති කරන වර්ණයක් බවත් මතක තබා ගන්න.

නිල් - නීල පැහැයෙන් දිස්වන අහස් කුස, මහ සයුර ආතතිය දුරුකර මනස සිසිල් කරනවා. සන්සුන් කරනවා. ගුරුවරුන්ට, ප්‍රසිද්ධ දේශකයන්ට ඇඳීමට සුදුසු පැහැයක්. ව්‍යාපාරිකයන්ටත් කදිමයි. සම්මුඛ පරීක්ෂණයකට යාමේදී නිල් පැහැයෙන් සැරසීමෙන් ඔබ ගැන විශ්වාසයක් ගොඩ නැඟෙනවා. පමණට වඩා නිල් පැහැයෙන් සැරසීම ද සුදුසු නැහැ. පමණට වඩා නිල් වර්ණය ඇඳීම විෂාදයට හේතුවන්න පුළුවන්.

 

දම් - දම් නිර්මාණාත්මක බවේ, ඥානයේ, අධ්‍යාත්මයේ වර්ණයයි. අපේ සිතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමට උපකාරී වෙන වර්ණයක්. නරක පුරුදු දුරුකර යහපත් පුරුදු ඇතිකර ගන්නා අයට දම් පැහැය කදිමට ගැළපෙනවා. අනන්තවූ ආදරයකට මුල පුරන්නන් දම් පැහැයෙන් සැරසෙන්න අමතක කරන්න එපා. රෝගියකු සිටින කාමරය දම් පැහැයෙන් වර්ණවත් කරගන්න. ඉක්මන් සුවයට දම් පැහැය අත් වැලක් වෙනවා.

දම් පැහැයේ අසුබ පැත්තක් ද තියෙනවා. ඒ වැඩි දම් පැහැය විෂාදයට හේතු වීමයි.

 

සුදු - පවිත්‍රතාවයේ වර්ණය වන සුදු නැත්නම් ධවල පැහැය අහිංසක බවේ, පරිපූර්ණ බවේ වර්ණය වෙනවා. අලුත් ආරම්භයකදී අඳීන්න කදිම වර්ණයක්. මානසික කඩා වැටීමකින් නැඟී සිටීමට සුදු පැහැය උදව් වෙනවා. ඒත් පමණට වැඩි සුදු පැහැය තනිකමක්, හිස් බවක් ජීවිතයට කැන්දන්නත් පුළුවන්.

අන්තර්ජාලයෙනි