ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමු !

'රටකි දැයකි ලොවකි ඇය'
මාර්තු 8, 2021

ස්ත්‍රියගේ අභිමානය, ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමකි

 

 

ශ්‍රී ලංකා ජනාධිපති

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අන්තර්ජාතික කාන්තා දින පණිවිඩය

 

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරියක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළේය. යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයකි.

ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇත.

කවර ප්‍රජාවක වුවද මූලික ඒකකය වන පවුල් සංස්ථාවේ පදනම සකසන්නී කාන්තාවය. සිය ජීවිත කාලය තුළ නන්විධ භූමිකා ඉටු කරන ඇය පවුල් ඒකක එක්වීමෙන් නිර්මාණය වන සමාජය එකට බැඳ තබන ශක්තිමත් හුයක් බඳුය. හැමවිටම මුදලින් ගණනය නොකළ ද ජාතික නිෂ්පාදනයට ඇගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගනී. ස්ත්‍රයගේ අභිමානය, ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් වන්නේ එබැවිනි.

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජයීය, සංස්කෘතික ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවක වැඩි නියෝජනය හිම කර ගැනීමට ස්ත්‍රීහු සමත්ව සිටිති. තවත් ක්ෂේත්‍ර රැසක ඇය පිරිමියාට අභියෝග කරමින් සිටින්නීය. මේ ජයග්‍රහණ කාන්තාවගේ බුද්ධියට, ධෛර්යයට හා කැපවීමට මෙන්ම අපේ සමාජයේ සමාජ සාධාරණත්වයට හා පරිණතභාවයට ද නිදසුනකි. දේශපාලන ක්ෂේත්‍රයේ ඇගේ සහභාගිත්වය වර්ධනය කළ යුතුව තිබේ.

'රටකි - දැයකි - ලොවකි - ඇය' යන්න මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව කොට ගැනීම අතිශයින් කාලෝචිතයයි හඟිමි.

කාන්තාවගේ කාර්යභාරය නිවැරැදිව හඳුනාගත් 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ, ආර්ථික දායකත්වය ප්‍රවර්ධනයට ප්‍රතිඥා දී ඇත. එහි සඳහන් අටවැදෑරුම් ක්‍රියාමාර්ග දැන් යථාර්ථයක් බවට පත් කෙරෙමින් තිබේ.

අන්තර්ජාතික කාන්තා දිනය සමඟ එක්වන අපේ කාන්තා පරපුරට මගේ ආශීර්වාදය සහ ශුභාශිංසන පිරිනමමි.

 

 

සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතුයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ

අන්තර්ජාතික කාන්තා දින පණිවිඩය

 

“රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව යටතේ සමරන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

ලෝකයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනයක් සැමරීමට ලක් වුවද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බව මාගේ විශ්වාසයයි.

දියණියක, බිරියක මෙන්ම ලොව උතුම් මව් පදවියට පත්වන්නේ ද කාන්තාවකි. මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන්ගේ සිට මානව පැවැත්ම සාක්ෂාත් වන්නේ ඒ ඔස්සේය.

මේ නිසා කාන්තාවන්ට සමාජය තුළ නිසි ගෞරවය නිතැතින් හිමිවිය යුතුය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් ද කාන්තා අයිතිවාසිකම්වලට මුල්තැන ලබාදෙනවා මෙන්ම ඔවුන්ව දිරිය කතුන් ලෙස සවි බල ගැන්වීම පිළිබඳව නිතැතින් අවධානය යොමු කර තිබේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙන්ම වෙනස් කොට සැළකීම අප රජයක් ලෙස තරයේ හෙළා දකිමු. කාන්තාවන්ගේ නැඟී සිටීම සමාජ යහපතට යෙදී ඇති අවස්ථා අප රටක් ලෙස අත්විඳීමින් සිටියි.

ඉතිහාසයේ විහාරමහා දේවියගෙන් ද නූතනයේ ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආදර්ශයෙන් ද ශ්‍රී ලාංකේය කාන්තාවගේ වීරත්වය හා නායකත්වය ලොවටම විදහාපායි.

එම අභාෂයන් අනුව යමින් මෙරට කාන්තාවන් අද වන විට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාතෘ භූමියේ බොහෝ වගකීම් දරමින් සිටීම ආඩම්බරයට කරුණකි.

ආර්ථික සමාජයීය හා දේශපාලන වශයෙන් ද කාන්තාවන්ගේ මැදිහත්වීම අපි අගය කොට සළකමු. සමාජයේ කුඩාම ඒකකය වන පවුල සුරක්ෂිත කිරීමට වෙහෙසෙන කාන්තාව, අවසානයේ මුළු රටම සුරක්ෂිත කිරීමට දායක වී තිබේ.

විවිධ හේතුමත මේ දක්වා සමාජය තුළ කාන්තාවන්ට තිබෙන අභියෝග බොහොමයකි. මේ අභියෝගාත්මක ලොව තුළ සෑම කාන්තාවක්ම අවදියෙන් සිටිය යුතුය. ඔබට ජයග්‍රහණය හෝ පරාජය මෙන්ම යහපත හෝ අයහපත ලැබෙනුයේ ඔබගේම සිතුවිලි හා ක්‍රියාවන් අනුවය.

ඒ නිසා සියලු කාන්තාවන්ට අභියෝගය තෝරාගන්නැයි මම ආරාධනා කරමි. ඔබගේ සාමුහිකත්වයේ දායකත්වය අනුව ගොඩනැගෙන අනාගත මාතෘ භූමිය මෙන්ම දියුණු ලෝකය දෙස සියලු දෙනා බලා සිටින බව සිහිපත් කරමි.