පස් කන්දකින් වැසී ගිය ශානිකගේ නිවාස සිහිනය

ජුනි 16, 2021

 

නොනවතින වර්ෂාව මැදියම් රැය තවත් දිගු කළේ අපේ රටේ පළාත් කිහිපයක පරිසරයම දැඩි අන්දකාරයක ගිල්වමිනි. මොර ගෙඩි සේ විරාමයක් නොගෙනම ඇද හැලෙන මහා වර්ෂාවත්, කොරෝනා වසංගතයත් මුළු පරිසරයම නිහඬ කර කළු අඳුරු වැහි වළාවකින් වසාගෙන තිබුණේ එදා බඩ වියත සවිකර ගන්නා මිනිසුන්ට සරදම් කරනා විලසිනි.

ඒ දිගු රාත්‍රිය නිමා වුවද කළු වළා අතුරින් වැටෙන වැස්ස අඩු නොවුණු අතර අරනායක, දෙවනගල, කරගම්පිටිය ගම ම නිහඬ කරමින් හමා ආවේ ඇඟ කීරි ගස්සන මූසල සුළඟකි.

ඒ සුළං වැහි කෝඩ අතුරින් දෙවනගල ගම්මානයේ විශාල පස් කන්දක් කඩා වැටී නාය යෑමෙන් සිදුවූයේ විශාල විනාශයකි. එකම පවුලේ පියා (58 හැවිරිදි කංකානමලාග් විජේරත්න), මව ( 56 හැවිරිදි ඩබ්ලිව්. පී. ලලිතා වීරසිංහ), පුතා ( 28 හැවිරිදි ශානික ප්‍රදීප් කුමාර වීරසිංහ) සහ දියණිය (25 හැවිරිදි උමේෂා මධුවන්ති වීරසිංහ) යන සිවු දෙනකුගේ ජීවිතය අහිමි වූ එම සිදුවීමේ දෝංකාරය තවමත් ඇසෙන්නේ මහා විලාපයක් ලෙසිනි.

ඒ විලාප හඬ මැදින් අප එහි සැබෑ තතු සොයා ගියේ විද්‍යුත් මාධ්‍ය හරහා අප දුටු සිදුවීම්වල සැබෑ තොරතුරු දැන ගැනීමේ අපේක්ෂාවෙනි.

මෙම ගමනේදී අප ප්‍රාදේශීය මාධ්‍යවේදී අරනායක රෝහණට හමුවූයේ මෙම සිද්ධිය සිදුවන අවස්ථාව සියැසින් දුටු ගම්වැසියෙකි.

දෙවනගල ජී. ප්‍රේමරත්න (53 වියැති) මේ සිදුවීම අප හට විස්තර කළේ හැඟුම්බර දෙනෙතේ කඳුළු සඟවාගෙනය.

"මම එදා (5 වැනිදා) උදේ 6.30 විතර වැස්සේම එළියට බැස්සා. මොන දේ තිබුණත් තිරිසනා බඩගින්නේ තියන්න බෑනේ. මම වැස්සිත් දක්කගෙන ඔය නාය ගිය ගේ පසුකරනකොට ගෙයි දොර වහලා තිබුණේ. මම ගේ පහුකරලා ගිහින් වෙළේ හරකා බැඳලා තිබුණ ඉන්න ගලවාගෙන අඩි 3 - 4 ක් ඉස්සරහට ගියා. මට හිතාගන්න බැරි ශබ්දයක් ආවා.... මම දැක්කේ කන්ද පාමුල තිබුණු ගේ යටකරගෙන එන මහා විශාල කන්දක් විතරයි. මට කිසිම දෙයක් හිතාගන්න බැරිව ගල් ගැහිලා බලාගෙන සිටියා. මම කෑ ගහලා ගමේ මිනිස්සුන්ට කතා කළා. ගමේ මිනිස්සු එනකොටත් වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි... "අරනායකත් මාවනැල්ලත් මායිම් කරන දෙවනගල ඓතිහාසික පුදබිම පිහිටි අක්කර 50 ක පමණ වූ විශාල ගල් පරුවත භූමියට අයත් ඉඩමක මෙම නිවෙස පිහිටා තිබුණේ පස් තට්ටුවක් මතය. පසුගිය 5 වැනිදා උදෑසන සිදුවූ මෙම නාය යෑමෙන් මිය ගියේ එකම පවුලේ මව, පියා, දුව සහ පුතා යන සිවුදෙනාය.

උදෑසන 9.00 වන විට පස් කන්දට යට වී තිබූ 23 හැවිරිදි උමේෂා මධුවන්තී විජේරත්නගේ සිරුර සොයා ගැනීමට හැකි වී ඇති අතර 57 හැවිරිදි කේ. විජේරත්න වන දරුවාගේ පියාත්, මව වන 55 හැවිරිදි ලලිතා වීරසිංහගේ දේහයන් සොයාගෙන තිබේ. එහෙත් විශාල පරිශ්‍රමයකින් පසුව එදින සවස 2.30 ට පමණ 29 හැවිරිදි ශානික පුෂ්පකුමාරගේ දේහය හමු වී ඇත්තේ ප්‍රදේශවාසින් හා යුද හමුදාව කළ විශාල පරිශ්‍රමයකිනි. මෙසේ මිය ගිය මේ පවුලේ දියණිය උමේෂා පෞද්ගලික පාසලක ගුරුවරියක් වූ අතර පුතා ශානික මාලදිවයිනේ රැකියාවක් කර මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ නිවෙසට පැමණි ඇත්තේ නිරෝධායනයෙන් පසුවය.

මෙසේ ඔහු ලංකාවට පැමිණ ඇත්තේ තම කුඩා නිවෙසට ඈතින් ආරක්ෂිත ස්ථානයක තිබූ ඉඩමේ භාගයට සකස්කරමින් ඇති නිවෙසේ වැඩ අවසන් කර නැවත පිටත්ව යෑමේ අපේක්ෂාවෙනි. දැන් ඒ සියලු අපේක්ෂා නොසිතූ ලෙසින් මහා පස්කන්දට යටවී ගොසිනි.

අලුත් නිවෙසේ වැඩ කටයුතු ඇරැඹීම සඳහා සිමෙන්ති ඇතුළු අමුද්‍රව්‍ය රැගෙන විත් තිබුණු අතර පෙදරේරුවන්ට ද පසු දින එන්නට කියා රාත්‍රියේ සියලු දෙනා නින්දට යන්නට ඇත්තේ මෙලෙසින් ජීවිත ගමන අවසන් කරන්නට සිදුවන බව නොදැනය.

ඒ ගැන ඔවුන්ගේ මිතුරෙකු facebook ගිනුමක සටහන් කර තිබුණේ ඔහුගේ අනාගත බලාපොරොත්තු ද සමඟිනි.

මේ සියල්ලම එක් නිමේෂයකින් ගිලගත් මාරයා ශානිකත් ඔහුගේ පවුලේ හැමදෙනාමත් රැගෙන ගියේ මුළු රටටම රතු එළියක් දල්වාලමිනි.

ඒ අවදානම පිළිබඳ අරනායක ප්‍රාදේශීය ලේකම් ඉසඩ්. ඒ. එම්. ෆයිසාල් මහතා සඳහන් කළේ මෙවැනි ස්ථානවල පදිංචි හැම දෙනාම සිතට ගත යුතු කරුණු රැසක් සිහිපත් කරමිනි.

‘‘මෙවැනි කාලයක මෙවැනි ස්ථානයක ජීවත්වීම ඉතාම අවදානම්. තමුන්ට පුංචි පැල්පතක් හරි ආරක්ෂිත ස්ථානයක තියෙනවා නම් ඒ ස්ථානයට යෑම තමයි බුද්ධිමත්ම ක්‍රියාව. නමුත් බොහෝ දෙනෙක් හිතන්නේ අද දවස ගැන විතරයි.

වැස්ස කාලයට ආරක්ෂාව ගැන හිතනවා. නමුත් ආයෙමත් කාලයක් යනකොට ඒ බය නැතිවෙලා පුරුදු විදිහට ඒ ගෙදරම ඉන්නවා. අවසානයේ සිද්ධ වෙන්නේ විශාල විනාශයක්. ඇත්තටම ජීවිතයක වටිනාකම මිල කරන්න බැහැ. ඒ නිසා තමුන් අවධානමක් මැද ජීවත්වීමේ ප්‍රතිඵලයක් තමයි මේ සිද්ධිය. මෙවැනි සිදුවීම් අපේ රටේ සිද්ධ නොවෙන්න නම් අවදානයට පෙර ආරක්ෂාව ගැන හැම මනුස්සයෙක්ම සිතිය යුතුයි."

මේ සිදුවීම හමුවේ දෙවනගල රජ මහා විහාරයේ භාරකාර පුඤ්ඤසාර හිමි ඇතුළු බොහෝ පිරිසක් පවසන්නේ මේ අයුරින් තවත් ජීවිත බිලිගන්නට පෙර රජයේ වගකිව යුතු නිලධාරී හා බලධාරින් ක්‍රියාත්මක වී පියවරක් ගත යුතු බවයි. එසේම කඳු බෑවුම් හා කඳු කපා එළි පෙහෙළි කිරීමෙන් සිදුවන පරිසර විනාශයද මෙයට හේතුවන බව මිනිසුන්ට කියා දෙන්නේ සොබා දහමේ ගැඹුරුම පාඩමකි.

 

 

තොරතුරු හා ඡායාරූප - අරනායක සමූහ

රෝහණ ජයරත්න