සියල්ල සිදුවන්නේ කර්මය අනුව ද?

නොවැම්බර් 22, 2018
 
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පෙර කරන ලද කර්මය ගැන නිවැරැදි විග්‍රහයක් තිබෙනවා. නමුත් ශාස්තෘන්වහන්සේ සෘජුවම ප්‍රතික්ෂේප කළා සියල්ල සිදුවන්නේ පෙර කළ කර්මයට යි කියන අදහස. ඒක මිත්‍යා දෘෂ්ඨියක්.
 
 
සියල්ල පෙර කළ කරුමයට සිදුවන්නේ නම්, මේ ලෝකයේ වැරැදි කරන අයට දඬුවම් දියුයුතු නැහැ. මේ ලෝකයේ පාපි අකුසල කරන අය පිළිබඳ අප අමනාප වියයුතුත් නැහැ. මොකද ඔහු වරදින් නො වැළැකි ඔවුන් කියයි හැමදෙයක් ම වුණේ පෙර කළ කරුමයට කියලා.
 
අපගේ ශාස්තෘන් වහන්සේ කර්මවාදී, කිි‍්‍රයාවාදී ශාස්තෘන්වහන්සේ නමක්. උන්වහන්සේ වදාළේ අප කරන ක්‍රියාවේ ඵලයක් තිබෙන බව. ඒ වගේ ම අප සරණ ගියේ උත්සාහය, වීර්යය, වර්ණනා කළ ශාස්තෘන් වහන්සේ නමක්. ධර්මය අවබෝධ කිරීමට ගිහි පැවිදි වූ ශ්‍රාවකයන්ට උන්වහන්සේ වීර්ය, උත්සාහය බොහෝ සේ වර්ණනා කර තිබෙනවා. “මහණෙනි, වීර්ය ආරම්භ කරන්න. කෙලෙස්වලින් නික් ම යන්න. බුදු සසුනේ යෙදෙන්න. මාර සේනාව පිඹ හරින්න, හරියට ලපටි බට දඬුවලින් හදපු කුටියක් කඩා දාන බලසම්පන්න හස්තියෙක් වගේ සසරේ ගැටලු සිඳබිඳ දමන ලෙස වදාළා. එලෙස ම කෙලෙස්වලින් එන ප්‍රශ්නවලට බය නොවී ප්‍රශ්නවලට යට නොවී තමන් ඒ ප්‍රශ්න යට කරන්න උත්සහ කරන්නයැයි ද වදාළා.
 
නො සිතූ මොහොතක ඇතිවන කම්පනය. . .
 
එනිසා සාමාන්‍ය ජීවිතයේ දී කර්මානුරූප බලපෑම් ලෙස යම් යම් ප්‍රශ්නය එන්න පුළුවන්. අපට පෙර කළ කර්මවිපාල පිළිබඳ දකින්නට බැරි නිසා මේක කර්මයයි කියා හරියට කියන්න බැහැ. කෙනෙකු සතු ජීව, අජීව සිල්ලම ඥාතී හිතවතුන් අහිමිවනවිට ඇතිවන මානසික කම්පනය ධර්මාවබෝධය තුළින් හිත පුළුල් කර නො ගත් කෙනෙකුට කෙ තරම් ශෝකයක්, දුකක්, කම්පාවක් ඇති කරනවා ද?
 
අපි පුංචි කාලයේ එක වරක් වැටිලා නැගී සිට නැවත නො වැටී ගියා නොවේ. වැටි වැටී නැගිට්ටා. ඒ වගේ පළමුව ලොකු ප්‍රශ්නයක් ඇවිත් ඒකෙන් නැගී සිටින්න උත්සායක් ගත්තා ම නැවත මට ප්‍රශ්න නො ඒවී කියා අපට හිතන්න පුළුවන්කමක් නැහැ. මොකද, ලෝකයේ කිසි දෙයක් අපගේ වසඟයේ පවත්වන්න බැරි නිසා. මේ ලෝකය අනාත්ම යි. ආත්ම රහිත යි.
 
අද අප සමාජයේ ඕනෑම පවුලක් තුළ විවිධ වූ ප්‍රශ්න කෙ තරම් තිබෙනවා ද? මේ කාම ලෝකයේ ප්‍රශ්න කියන දේ සාමාන්‍ය දෙයක්. එයට කො තරම් හොඳට තමන් මුහුණ දෙනවා ද කියන එකයි. ඔබගේ හෝ අයගේ ඉදිරි ජීවිතයේ දියුණුව හෝ පිරිහීම තීරණය වෙන්නේ. එනිසා මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන ඕනෑම කෙනෙකු වැටුන තැනින් නැගිටීමට උත්සාහ කිරීමයි වැදගත් වන්නේ.
 
එනිසා අපේ ජීවිතය යම් ප්‍රශ්නයක් මතු වූ කාලය තුළ දී අපට පුළුවන් ධර්මයට තවත් සමීප වෙන්න. බොහෝ අය ජීවිතය ජය ගන්න හදන්නේ ධර්මය අත හැරලයි. තෙරුවන්ට වන්දනාමාන කිරීම අත් හරිනවා. ධර්ම ශ්‍රවණය අත්හරිනවා. නමුත් කරදරයක් ආ විට බෝධිපූජා තබමින්, පැමිණි කරදර දුරු කරන්න කියා ඉල්ලනවා. බොහෝ අය බෝධිපූජා තබන්නේ අපල උපද්‍රව දුරු කර ගන්න යි. කළයුත්තේ එය නොවේ. සසර දුකෙන් නිදහස්වීමට අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ දේ්ශනා කළ පරම ගාම්භීර ධර්මයක් තිබෙනවා. එය දුර්ලභ මානික්‍යයක් සේ වටිනවා. එනිසා මේ ධර්මය මගේ ජීවිතයේ කොටසක් කර ගන්න ඕන කියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිතන්නට ඕන.
 
පිරිත් තිබෙන්නේ නිදාගන්න නොවේ
 
සතියකට වරක් හෝ දහම් පොතක් පෙරළලා තමන්ට ඉගෙනගන්න යමක් කියවා ගන්න ඕන. ධර්ම දේශනාවක් නිකං ඇහෙනවා නොවේ. පිරිත් තිබෙන්නේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන එක දාලා නිදා ගන්නත් නොවේ. අප ළඟට ප්‍රශ්න කියාගෙන එන බොහෝ දෙනාගෙන් අප අහනවා නිවසේ බුද්ධ වන්දනාව කරනවා ද? පිරිත් සජ්ඣායනා කරනවා ද කියලා. “ස්වාමිනි, ඒකට අපට වෙලාවක් නම් නැහැ. ඒත් ගුවන් විදුලියේ රෑ එළිවෙනතුරු ප්‍රචාරය වන පිරිත් දාලා තියෙන්නේ” කියා කියනවා. එය නොවේ කළ යුත්තේ. තමන් බොහෝ ම ශ්‍රද්ධාවෙන් යුක්තව දිනකට විනාඩි 20 – 30 ක් සතියකට පැය 2, 3 ඕනෑම කෙනෙකුට ඒ සඳහා වෙන්කර ගන්න පුළුවන්.
 
අපි දන්නා විවිධ තරාතිරම්වල සේවය කරන වෛද්‍යවරු, ඉංජිනේරුවරු, නීතිඥවරු මෙන් උසස් රැකියා කරන අයත්, විවිධ ව්‍යාපාර කරන අයත්, බොහෝ වෙහෙසවෙලා ජීවත්වන මධ්‍යම පාන්තිකයෝත්, ඇගලුම් කර්මාන්තයේ යෙදෙන අයත්, පාසල් දරු දැරියන් ආදීන් ඉන්නවා හොඳින් සිල්පද ආරක්ෂා කරගෙන උදේ සවස තෙරුවන් වඳිනවා. පුදනවා. ඒ අතරේ ඔවුන් ගී සිංදු කියනවා. නටනවා, විනෝද වෙනවා. නමුත් සිල්පද රකිනවා. තෙරුවන්ට දිවිපුදා ජීවත් වෙනවා. පසළොස්වක පෝ දිනට සුවඳ විලවුන්, රන් ආභරණ ආදිය පසෙකළා උපෝසථ සීලය සමාදන් වෙනවා. එසේ කරන ප්‍රතිශතය ගණනින් අඩුවුණාට දහස් ගණනක් එහෙම කරන ශ්‍රද්ධාවන්තයන් අප අතර ඉන්නවා. ඔවුන්ගේ ජීවිත සුන්දරයි.
 
බෝධි පූජාවෙන් ප්‍රශ්න විසඳෙනවා ද?
 
බෞද්ධයන් ලෙස අප ඒ කිසිවක් නො කර ප්‍රශ්නයක් ආ විට පමණක් බෝධියක් ළඟට ගොස් කොඩියක් එල්ලා පූජාවක් කළාට ජීවිතයේ සියලු ප්‍රශ්න විසදේවි කියා හිතන්න එපා. ප්‍රශ්න දෙස ධර්මානුකූලව බලන්න සාර්ථක ක්‍රමය බුදු දහමේ හමුවෙනවා. එලෙස ඔබ ධර්මයට ළංවෙන්න ඕන. කල්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරෙන් ධර්මය ඉගෙන ගන්නත් ඕන. දහම් පොතපතක් කියවන්නත් ඕන. මුලින් එය නො තේරෙන්න පුළුවන්. හිත අකැමැති වෙන්නත් පුළුවන්. නමුත් පොතපත කියවද්දී තමන් කැමැති යම් අදහසක්, වාක්‍යයක් සිතට කා වඳින්න පුළුවන්. ඒ ඔස්සේ කාලයක් යද්දී ඔබට පිනත් සමඟ සියල්ල සකස් වෙනවා. ඉන්පසු ඔබගේ ජීවිතය වෙනස් වෙනවා.
 
අප පිනක් දහමක් කරලා ප්‍රාර්ථනා කරනවා කිසිදු කරදයක් නොවේවා! බාධාවක් නො මැතිව සියලු කටයුතු කරගන්න ලැබේවා! කියා. නමුත් ඔබ හොඳින් දන්නවා ඕන වෙලාවක හිතට ප්‍රශ්නයක් ඇවිත් මානසිකව ඇඳ වැටෙන්න පුළුවන්. කයට රෝග පීඩාවක් වැළඳෙන්න පුළුවන්. ඊළඟට මිතුරු වේශයෙන් හතුරෙක් ළං වෙන්න පුළුවන්. තමන්ගේ ළඟම කෙනෙක් තමාට අසාධාරණයක් කරන්න පුළුවන්. එනිසා ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, දුක, සැප, යස, අයස ඉදිරියේ අවබෝධයෙන් ඉන්නවා.
 
තොටුපොළ හඳුනාගන්න
 
ඒ ආකාරයට ධාර්මිකව ජීවත්වෙන ගමන් තමන් නිතරම තමන් දෙස බලන්න ඕන. තමා ධාර්මිකව ද, අධාර්මික ද, තමා තුළ වැරැදි ඇබ්බැහිවීම් තිබෙනවාද? සටකපටකම්, දුරාචාරයේ යෙදීම් තිබෙනවා කියා. එසේ තිබෙනවානම් හිතට එකඟව එයින් අත මිදෙන්න ඕන. එසේ නො මැතිව තමා අත වැරැදි තබාගෙන තමාට කාගෙන්වත් හානියක්, කරදරයක් වෙන්න එපා කියා සිතුවොත් ඒක අසාරධාණ යි. තමා අනෙක් අයට කළයුතු උපකාර අමතක කරලා තමාට පමණක් යහපත වෙන්න ඕන කියා හිතුවට එහෙම වන්නේ නැහැ. හේතු සකස් වූ ආකාරයට ක්‍රියාව සිදුවෙන්නේ. දිගින් දිගට ම ප්‍රශ්න එනකොට අපි හිතනවා නම් “අනේ මගේ කරුමය ද මේ” කියලා ඒ රටාව වැරැදියි. එසේ සිතුවා ම කවදාවත් ධර්මයෙන් පිළිසරණක් ලබන්න බැහැ. මේ ධර්මයෙන් සැබෑවට ම පිහිට පිළිසරණ ගන්න පුළුවන්. ඒ සඳහා ඉවසීමෙන් කටයුතු කරන්න. අවශ්‍ය තොටුපළ නිවැරැදිව හඳුනා ගන්න. දේශනාවක් තිබෙනවා ගෝපාලක සූත්‍රය නමින්. එහි තිබෙනවා දක්ෂ ගොපල්ලා ගඟකින්, ඔයකින්, ඇළකින් ගවයන් එතෙර කරනවිට ගවයන්ට වතුර පොවනකොට තොටුපොළ අඳුනා ගන්න ඕන. නැත්නම් ගවයින් ගැඹුරු තැනකට දැම්මොත් එය අනතුරුදායක යි. ඒක දක්ෂ ගොපල්ලෙකුගේ ලක්ෂණයක් නොවේ. තමන්ගේ ගැටලුවට විසඳුම සොයා ගන්න පුළුවන් තොටුපොළ හඳුනාගන්න ඕන ඒ නිස යි. ඒ සඳහා දක්ෂ ගුරුවරයෙක්, කළ්‍යාණ මිත්‍රයෙක්, යහළුවෙක් අඳුනාගන්න ඕන. ධර්මයෙන් මට මේ සඳහා පිහිට පිළිසරණ ලැබේවි කියන අදහස ඇතිකර ගන්නත් ඕන. ඒ වගේ ම දහම් පොතපත කියවන ගමන් ධර්මය ශ්‍රවණය කරන්නත් ඕන. එවිට කර්මයට සියල්ල බාර නො දී උත්සාහය හා වීර්ය අභ්‍යන්තරයේ තබාගෙන ජීවිතය ජය ගන්න පුළුවන්.
 
ධර්මානුකූලව උත්සාහය
 
එනිසා ධර්මානුකූලව උත්සාහය වීර්යය උපයා ගත්තොත්, ලෝක ස්වභාවය දැනගෙන ජීවත් වෙන්න පුළුවනි. සමහර අය හිතනවා මම තෙරුවන් සරණ ගියා. මට කිසිම ප්‍රශ්නයක් ඇති නොවේවා! මම ලෙඩ නොවේවා! මගේ පවුලේ් අයට කරදර ඇති නොවේවා! කියා. එහෙමනම්, බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා ලෙඩ වුණේ ඇයි? නින්දා අපහාස ආවේ ඇයි? නො සැලී සිටීම තථාගත ශාසනය හඳුන්වා දී තිබෙන්නේ. ඒ පණිවුඩය හරියට ගත්තොත් ඔබට නැවතත් සිදු වූ සියල්ල අමතක කර ඇස්දෙක පිසදාගෙන ලෝකය දෙස බලන්න පුළුවන්. බොහෝ ම ප්‍රයෝජනවත් ආකාරයට ජීවිතය දෙස බලන්න පුළුවන්. සෑම දිනයක් ම අරුණෝදයක් කරගන්න පුළුවන්. අරුණෝදය කියන්නේ ඉර පායන්නට කලින් ලා එළියක් පායනවා. ඒ කියන්නේ ඒකාන්තයෙන් ම ඉර පායනවාම යි. ඒක කාටවත් වළක්වන්න බැහැ. ඒ වගේ මේ ධර්ම ලිපිය ඔබ කියවා හිතේ ප්‍රසාදයක් ඇතිකරගෙන මොහොතක් නතරවෙලා කල්පනා කරන්න දැන් මම මොකද කරන්න ඕන කියලා. එවිට උත්තරය ලැබෙයි. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ප්‍රශ්න විසදෙන පැත්තට නැවත ප්‍රබෝධමත් ව ගමන් කරන්නට හැකිවීම යි. වූ දේ අමතක කරන්න. සියල්ල සිදු වන්නේ කර්මයට කියන අදහසින් බැහැර වෙන්න. ධර්මයට ටිකෙන් ටික ළං වෙන්න. සැනසිල්ල එතැන දී හමු වෙනවා නො අනුමාන ය.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.