හදන්න මුළු රටටම වටින පුතෙක්

නොවැම්බර් 26, 2018
රුව ඇති දුවයි, කට ඇති පුතයි යන්න සාමාන්‍ය ව්‍යවහාරේ භාවිත වන කියමනක්. අතීත අර්ථයට එහි ගැළපුමක් ඇතත්, නවීකරණය වූ ලෝකයක සිටින දරුවන්ට රුව, කට පමණක් ප්‍රමාණවත් වේවිද? නූතන දරුවන් අනාගතයේ වැඩිහිටියන් මුළු රටේම භාරකරුවන්. දරුවන්ට රුව, කට පමණක්ම නොව ගුණ නැණ ප්‍රඥාව ද පුරුදු කළ යුතුය.
 
 
මේ සියල්ල තිබුණ ද, කෙනකුගේ කඳුළක් දැක දෑසේ කඳුළක් නොනඟන්නේ නම්, එබඳු අයකුගන් ඔබටත්, රටටත් පලක් නැත. ඉතින් ආදරණීය අම්මේ, ඔබත් හදන්න. මුළු රටටම වටින පුතෙක්
 
ඔබ සැමියගෙන් බලාපොරොත්තු වුණේ මොනවද?
 
නිසැකවම ඔබේ අපේක්ෂාව ඔබව රැක බලා ගන්න පිරිමියෙක් ඔබට අවශ්‍ය බවය. පොදුවේ සියලු ගැහැනුන් පිරිමියකුගේ ආරක්ෂාව ලබන්නට කැමැතිය. ඔහු ඔබගේ දෛනික වැඩ කටයුතුවලට සහාය වෙනවා නම් එය ඔබට සහනයකි. උදාහරණයක් විදියට රෙදි ටික සෝදන්න, දර පලන්න, පොල් ලෙලි ගහන්න, උයන්න පුංචිම සහයෝගයක් හෝ ලැබේ නම් එය ඔබට සහනයකි. අස්වැසිල්ලකි. ඔබත් ඔබගේ පුතාට නිවෙසේ කටයුතු පුරුදු කරන්නේ නැතිනම්, ඔහුගේ අනාගතයට ලොකු බලපෑමක් වේවි. ඔහුගේ බිරිය අසරණ වේවි. තම පුතුගේ අනාගත පවුල් ජීවිතය සාර්ථක වීමට නම් ඔහුටත් නිවෙසේ වැඩ කටයුතු ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න.
 
ගෙදර ආර්ථීක අපහසුතා දරුවාට දැනෙන්න දෙනවාද?
 
ඔබ ඔබේ දරුවාට පවුලේ ආර්ථික ප්‍රශ්න දැනෙන්නට දෙන්නේ නැතිනම් ඔහු ජීවිතය හඳුනා ගන්නේ කොහොමද? ඔබේ සියලු දුක් සිතේ සඟවාගෙන දරුවාට සැප පමණක් ලබා දෙන්නේ නම් දුක කුමක්දැයි හඳුනා ගැනීමට හැකි වන්නේ නැහැ. දුක මැදින් නැඟිටින්නට දරුවාට උගන්වන්න. දුක ජය ගැනිමට වෙහෙස මහන්සි වී ඉගෙන ගත යුතු බව දරුවාට දැනෙන්නට සලස්වන්න. යම් දිනක දරුවා ස්වාධීනව ජීවත්වන විට හමුවන බාධක, ගැටලුවලට නොබියව මුහුණ දෙන්නට එය ශක්තියක් වේවි.
 
කෑම දෙන්නේ කොහොමද?
 
ආසම කෑම විතරක්ද?
 
ඇතැම් මවුපියන් තම දරුවන්ට ලබා දෙන්නේ ආසම කෑම පමණයි. එළවළු කන්නේ නැතිව මස් මාළු එක්ක පමණක් ආහාර ගන්න දරුවන් සිටිනවා. මස් හෝ මාළු නැතිනම් ඔවුන් ආහාර ගන්නට අකැමැතියි. සියලු කෑම වර්ග ආහාරයට ගන්නට ළමුන් කුඩා කාලයේ සිටම පුරුදු කරවන්න. සෑම ආහාර වර්ගයකම එයට අනන්‍ය ගුණයක් ඇති බව දරුවාට පහදා දෙන්න. ආහාර වේලක වටිනාකම කෙබඳුදැයි ඔවුනට පහදා දෙන්න. දරුවා ගැන ආදරයෙන් යැයි පවසා මිල අධික ආහාරවලට හුරුකර දරුවන් නරක පුරුදුවලට ඇබ්බැහි කරවන්නට එපා. පුංචිම කාලයේදී දරුවාට තේ එක නිවලා බොන්නට දුන්නට කමක් නැහැ. එහෙත් දරුවා වැඩෙන විට උණුසුම් තේ කෝප්පයක රස විඳින්නට දරුවන් පුරුදු කරන්න. නැතිනම් දරුවා වැඩිහිටියෙක් වූ දිනයක සමාජය ඉදිරියේ විහිළුවක් වේවි.
 
දරුවාගේ බැඳීම කොතැනද?
 
ඔබේ දරුවා වැඩි වශයෙන් ආදරයෙන් බැඳී සිටින්නේ පවුලේ සාමාජිකයන් සමඟද? පරිගණකය, නැතිනම් දුරකථනය සමඟ ද? තමාගේ මාපියන්ට වඩා සමාජ ජාල මාධ්‍යවලට සහ වෙනත් භෞතික සාධකයන්ට ළං වන්නට දරුවන්ට ඉඩ දෙන්නට එපා. දරුවන්ගේ සිත් පවුල වෙත රඳවාගෙන නිවෙසේ දෛනික කටයුතුවලට සම්බන්ධ කරගැනීමට ඔබ දක්ෂ විය යුතුය.
 
දුර ඈත සිටින පවුලේ සෙසු නෑදෑයන් බලන්නට යනවිට එයට අකැමැති වී නිවෙසේ රැඳෙන දරුවන් සිටිනවා. ඔවුන්ගේ සිත් නෑදෑයන් ගැන සෙනෙහසක් ඇතිවීමට සලස්වන්න. සිතේ සෙනෙහසක් නැතිව හැදෙන ළමුන්ගෙන් ඔබට මෙන්ම රටටත් විශාල හානියක් සිදුවේ. එවැනි දරුවන් අනාගතේ දවසක රාජකාරි ජීවිතයේ කාර්යබහුල වුණාම ඔබව බලන්න එන්නත් කම්මැළි වේවි.
 
අනුන් වෙනුවෙන් කැප කිරීම් කරන්නට පුළුවන්ද?
 
මවුපියන් විදියට ඔබ දරුවා වෙනුවෙන් කැප කිරීම් කරලා ඇති. නමුත් ඒ කැප කිරීම් ගැන දරුවාට උගන්වා තිබෙනවාද? මාපියන්ගේ ප්‍රශ්න සහ අසනීප හමුවේ සංවේදී වන්නට දරුවන් හුරු කරවන්න. නිදසුනක් විදියට අද දියවැඩියා අසනීපයෙන් සිටින තමන්ගේ මව වෙනුවෙන් රතු බත් කන්නට දරුවන් කැමැති නැහැ. බත් මුට්ටි දෙකක් උයන්නට බැරි නිසාම තම අසරණ බව අමතක කර සුදු බත් උයන මවුවරුන් සිටිනවා. ඒත් එයින් ඔබේ දරවාගේ සංවේදි බව නැති වී යනවා. එය විශාල හානියක්.
 
දරුවගේ වැඩ කරන්නේ කවුද?
 
පුතා පුංචිම කාලේදී හැම දේම කරලා දුන්නත් වයසෙන් වැඩෙද්දී ඒ පුරුද්ද අතහරින්න.
 
තමන්ගේ ඇඳුම් ටික සෝදගන්න, කාපු බීපු කෝප්පය, පිඟාන සෝදගන්න දරුවාට පුරුදු කරවන්න.
 
වැඩි ආදරය නිසා දරුවාගේ හැම වැඩක්ම කරලා දුන්නොත් ඒක දරුවාගේ අනාගතයට ලොකු හානියක් වෙනවා.
 
ඉතින් ආදරය නිසා දරුවාගේ අනාගතය අඳුරු කරනවාද? රැක ගන්නවා ද? හිතන්න හෙට නොවේ අදම.