සම්බුදු පහස විඳි සිරිපාවේ අපි යමු බැති සිතින් කරුණාවේ

ජනවාරි 16, 2019

එළැඹ ඇත්තේ සිරිපා වන්දනා සමයයි. උඳුවප් පුරපසළොස්වක පොහොයත් සමඟ ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පුරපසළොස්වක පොහොයත් සමඟිනි. ශ්‍රී ලංකාවේ දීර්ඝතම වන්දනා සමය ද නිශ්චිත කාල සීමාවකට පමණක් සීමා වූ වන්දනා සමය ද මෙම සිරිපා වන්දනා සමයයි.

මේ කාලය තුළ දී බෞද්ධ බැතිමතුන් පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් බැතිමතුන් ද වැල නොකැඩී ලක්ෂ ගණනින් සිරිපා වන්දනා කරයි. ගමනේ දුෂ්කර බවද නොතකා අව් වැසි හා අධික ශීතල ද නොතකා යන මේ සිරිපා වන්දනාව මහා පුණ්‍ය කර්මයක් සේ සැලකේ.

ශ්‍රී පාදස්ථානය නම් පූජනීය ස්ථානය අති රමණීය වූත්, චමත්කාරජනක වූත් විචිත්‍ර වූත්, ප්‍රසන්න ස්ථානයකි. එහි නම කන වැකෙන විට ලෝකවාසී බෞද්ධ ජනයාට ආඩම්බරයක්, භක්තියක්, ඇල්මක් ඇතිවන්නේ නිරායාසයෙනි. හිමාල කඳුවැටිය ලොව සුප්‍රකට කඳු ශිඛරය වුවත් සමනල කන්දට තරම් ගෞරවයක් ඇති කඳු ශිඛරයක් ලොව කිසිම තැනක නැත.

මෙය සමනල කන්ද නමින් ප්‍රකට වීමට පාදක වී ඇත්තේ නොයෙක් පෙදෙස්වලින්, විවිධාකාරයේ සමනලුන් දහස් ගණනින් වන්දනාවට පැමිණෙන නිසාවෙනි. බවත් එසේ පැමිණෙන සමනලුන් මෙම කඳු ශිඛරයේ ගැටී මියයන බවත් පුරාවෘත්තවල සඳහන් වේ. මේ හේතුවෙන් මෙම කඳු ශිඛරය සමනල කන්ද ලෙස හඳුන්වා ඇති බවද සඳහන් වේ.

බුදුන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයේ දී සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනල කඳු අඩවියට වැඩම කොට ශ්‍රී පාද ලාංඡනය තැබූ බවට මහාවංශයේ සඳහන් වේ.

අපේ පැරැන්නන් දිවි පරදුවට තබා ශ්‍රී පාද වන්දනාවට ගියේ තම දේපොළ, ඉඩකඩම්, හරකාබාන ආදිය තම දූ දරුවනට පවරාය. ඒ ඔවුන්ගේ ආපසු පැමිණීම සැක සහිත වූ නිසායි. මෙම ගමන සංසාරගත පාරමිතාවක් වශයෙන් සැලකූ අපේ මුතුන්මිත්තන් අතිදුෂ්කර මේ මඟ ගෙවා ගියේ නිරාමිස පී‍්‍රතියෙනි. ගමන අතරතුර බැතිමතුන් හැසිරෙන්නේ එකම පවුලක අය ලෙසිනි. මුළු ජීවිතයටම හමුවූ මුල්ම අවස්ථාව මෙය වුවත් එකිනෙකා කෙරෙහි ඇති කරගන්නේ ළෙන්ගතුකමකි. ඒ නිසාම “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි - වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” වශයෙන් ආශීර්වාද කරගනිති. එසේම තනි පුද්ගලයකු සිරිපා කරුණා කිරීම සිරිත නොවේ.

තම තමන්ගේ ගමන් මළුවෙහි ගෙන යන දෑ ඔවුනොවුන් අතර බෙදා හදා ගනිමින්, කන්ද නඟින්නට, බහින්නට අපහසු අයට අත්වාරු සපයමින්, ඇතැමුන් ඔසවාගෙන යමින් සිරිපා සංස්කෘතිය තුළ ඇති සමගිය, සමානාත්මතාවය ඔප් නංවයි. තවද මේ වන්දනාවට විශේෂ වූ භාෂාවක් පවතී. සිරිපා වන්දනාව යනු ‘සිරිපා කරුණා’ කිරීමයි. පළමුවරට සිරිපා වඳින්නට යන්නා වයසින් අඩු නම් ඔහු ‘කිරිකෝඩු’ය. තාරුණ්‍යයේ හෝ වැඩිහිටි නම් ‘දඬුකෝඩු’ය.”

2019/01/16 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.