ධනාත්මක සිතිවිල්ල ඔබව ජයටැඹ කරා ගෙන යයි

පෙබරවාරි 13, 2019

'යො ධම්මං පස්සති - සා මං පස්සති'

යමෙක් මාගේ ධර්මය දකී ද? හේ මා දකී. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වක්කලී තෙරුන් උදෙසා ධර්මය දේශනා කරමින් වදාළහ.

මේ අනුව, බුදුන් දැකීමට නම්, නිවන් දැකීමට නම් ධර්මය දැනගත යුතුය. ධර්මය දැකිය යුතුය. ඒ සඳහා අපට ඇති එකම මඟ ධර්මය ශ්‍රවණයයි. ධර්ම ඥානය ප්‍රගුණකර ගැනීමයි. ධර්මය අසාගෙන දැන හැඳිනගෙන, ධාරණය කරගෙන ඒ අනුව හැසිරීමයි.

ධම්මො භවේ රක්ඛති ධම්මචාරීං

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රැකේ. යනුවෙන් බුද්ධ දේශනාවල සඳහන් වේ. ධර්මයෙහි හැසිරීමට ධර්මය පිළිබඳ දැනුමක්, අවබෝධයක් තිබිය යුතුය.

සබ්බ දානං ධම්ම දානං ජිනාති

සබ්බ රසං ධම්ම රසං ජිනාති

සබ්බ රතිං ධම්ම රතිං ජිනාති

ධර්මයේ ඇති සුවිශේෂී වටිනාකම සදහම් සෙවණ කියවන තරුණී පාඨක ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ.

පින්වත් ඔබට මෙවර ධර්මාවබෝධය ලබා දෙනුයේ ධනාත්මක චින්තනය පිළිබඳවයි. සැබැවින්ම යහපත් සිතිවිලි මානසික සංවර්ධනය සාර්ථකත්වයේ මුල් පියවරය. ඒ බව නොදත් බොහෝ අය භෞතික සාධකයන් මුලට ගැනීමට ගොස් අතරමඟ කඩා වැටේ.

පින්වත් දරුවනේ ජයග්‍රහණය ඔබ සොයා නොපැමිණේ. ඔබ ජයග්‍රහණය සොයා පියමන් කරන්න. ජයග්‍රහණය ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටී. එසේම අප කිිසිවකු සැමදා ජීවත් වන පිරිසක් නොවෙමු. නමුත් ජීවත් වන කෙටි කාලය තුළ මිනිසාට විස්මිත නිර්මාණ කිරීමේ හැකියාවක් උපතින්ම ගැබ්ව පවති. යම් පුද්ගලයකුට සියලු ක්ෂේත්‍රයන් සඳහාම හැකියාවක් නොමැති වුවත් යම් ක්ෂේත්‍රයක් වෙනුවෙන් විශේෂ වූ නමුත්, බොහෝ විට සැඟව ගිය ශක්තියක් නිසැකවම ගැබ්ව ඇත. ඊට ජාති, ආගම්, කුලමල, දුප්පත්, පොහොසත් භේද නොවේ. මේ සැඟවුණු හැකියාවන් කලඑළි කරවා ගැනීමට ඔබට ධනාත්මක චින්තනය විශාල අත්වැලක් වනු නියතය.

ධනාත්මක චින්තනය යනු

උතුම් ආත්මාභිමානයක් සිත්හි මවාගෙන ඔබ ගැන හෝ ඔබ කරන්නට සූදානම් වන යම් කාර්යයක් පිළිබඳව හෝ යම් පුද්ගලයකු පිළිබඳව හෝ තමාටත් අනුන්ටත් අයහපතක් නොවන පරිදි ඉහළ ඇගයීමකින්, යහපත් සිතින් ධෛර්යවන්තව හා විශ්වාසයෙන් දකී නම් එය ධනාත්මක චින්තනයේ සාරයයි.

මේ ධනාත්මක චින්තන සංකල්පය ඔබට නුපුරුදු නොවේ. ලොව්තුරා බුද්ධ දේශනාව පුරාවට මේ සංකල්පය ගැබ්ව තිබේ. උන්වහන්සේ වගේම යේසුතුමා, ඇරිස්ටෝටල්, චීනයේ කොන්ෆියුසස්තුමා වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් පවා ධනාත්මක චින්තනය තම ධර්මයට එකතුකර ගෙන තිබුණා.

ජීවිතය යහපතට යොමු කරන, සුමගට යොමු කරන උතුම් ආකල්ප ධනාත්මකයි. ලෝකයේ ජීවත්වන සියලුම සත්ත්වයන් දඬුවමටත්, මරණයටත් බිය වෙයි. ඒ නිසා තමා උපමාව කොටගෙන අනුන් නොනසන්න. සෑමවිටම තමා උපමාවට ගෙන කටයුතු කිරීම තුළ ඔහු නියම ධනාත්මක පුද්ගලයකු වෙයි. මේ ආකාරයට සිතා ජීවත්වන පුද්ගලයකු, දිළින්දකු වුවත් ඔහුට හැකියාව තියෙනවා ධෛර්යය ඇතිව කැපවීමක් කර ජීවිතය ජය ගන්න.

නියම ධනාත්මක පුද්ගලයා

ඔබ ගැන වගේම ඔබ කරන්නට යන කාර්යය ගැනත් හොඳ ඇගයීමකින් තමුන්ටත් අනුන්ටත් කරදරයක් නොවන විදිහට විශ්වාසයකින් යුතුව යම් කාර්යයක නිරත වන කෙනෙක් හොඳ ධනාත්මක පුද්ගලයෙකි.

ඔබව හඳුනා ගන්න

තමන් කවුද, තමන් ප්‍රිය මොනවටද, තමාගේ දක්ෂතා, මම කොහොමද එතැනට යන්නේ කියලා හඳුනා ගැනීම අවශ්‍යයි. ඔබ සතුව තිබෙන කුසලතාවන් එළි දක්වන්නට පසුබටවීම තුළ වෙන්නේ ඔබේ ඒ සුවිශේෂි දක්ෂතා විසින් ඔබව කවදා හෝ පසුතැවිල්ලට පත් කිරීමයි. තමන් කරලා තියෙන හැමදේම වැරදි දේවල් කියලා හිතලා දුක්වීම නිශ්ඵලයි. බලන්න අංගුලිමාල මිනිස්සු 999 ක් මැරුවා. මිනීමරුවෙක් වුණා. මිනිස්සු අංගුලිමාල දිහා බැලුවේ වැරැදිකාරයෙක්, මිනීමරුවෙක් විදිහට. අංගුලිමාල මිනිසුන් දිහා බැලුවේ ඔහු මේ තැනට ඇදල දාපු අය ගැන විතරක් නෙමෙයි, මනුෂ්‍ය වර්ගයා ගැනම වෛරයෙන්. ඒත් අංගුලිමාල ඒ තරම් පාපයක් කරලත් රහත් වුණා. මිනිසුන් දස දහස් දෙනාගෙන් වැඳුම් පිදුම් ලැබුවා. මේ සිදුවීම සිතට ගන්න. ඔබ අතින් වැරැදි සිදු වෙන්නට ඇති. නමුත් හොඳ යහපත් කෙනෙක් විය හැකියි. ඔබ ඔබ තුළ ඇති නැති දක්ෂතා ගැන හිත හිතා ඉන්න එපා. අවශ්‍ය තැනට කැපවීමෙන් යන්න. සිහින දකින තරමට කැපවීමත් අවශ්‍යයි. කැපකිරීමක් නැතිව සිහින සැබෑ වන්නෙත් නැහැ. එහෙම සැබෑවන සිහිනයක වටිනාකමකුත් නැහැ.

නිතරම මට හැකියි. මට පුළුවන්. මම ශක්තිමත්, මම ධෛර්යවන්තයි, මට විශ්වාසයි, මට තිබේ යන ආකල්ප ඇතිකර ගන්න. ධනාත්මක පුද්ගලයෙක් කියන්නෙ තමන් ගැන ඉහළ ඇගයීමකින් හිතන කෙනෙක්. ඒ විදිහට ඔබේ ඉලක්කය හදා ගන්න.

බොහොමයක් මත් වතුර, සිගරට්වලට ඇබ්බැහි වූ අය ඉන් මිදෙන්න බැහැ කියන මානසික මට්ටමේ ඉන්නෙ. ඒ මොකද ඔවුන් ඇසුරු කරන අය නිතර කියන්නෙ බැහැ කියන සෘණාත්මක දේමයි. ඔබ හිතන්න ඔබට වඩා මත් ද්‍රව්‍ය බලවත් වුණේ කොහොමද? නැහැ, බැහැ කියන දේවල්වලින් හැකිතාක් බැහැර වන්න. මොහොතක් හිතන්න. මෙලොව උපන් මිනිසෙක් විවිධාකාරයේ නරක දේට වියදම් කරන සල්ලි නිසා තමන්ගෙ මොන තරම් දේවල් නැති වෙලාද කියලා. ශරීරය දුබල වෙලා මුදල් නාස්තිවෙලා තමන්ගෙ කීර්තිය නැති වලා. ඇයි එහෙම නම් ඒ තත්ත්වය ඇති වුණේ. ඔබේ හිත ඔබට පාලනය කරගන්න බැරි නිසයි.

තමන්ගෙ වැරැදිවලින් හැකි ඉක්මනින් මිදෙන්න. බැහැ, නැහැ කියන දේවල් මේ ලෝකෙ නෑ. හැමදේම පුළුවන්. ධනාත්මකව සිතිවිල්ලට මේ සියල්ල කළ හැකියි.

ඉලක්කයක් අවශ්‍යයි

ධනාත්මක චින්තනය තුළ එසේත් නැතිනම් ඉහළ ඇගයීමක් ඇතිව කටයුතු කරන්නකු වන්නට නම් ජීවිතයට ඉලක්කයක් තිබිය යුතුයි. නැවක් මුහුදේ තිබුණට එහි නාවිකයෙක් නැතිනම් නැව මුහුදෙ ගමන් කරන්නෙ කුමන දිශාවට ද කියන දේ ප්‍රශ්නයක් වන්නා සේම, ජීවිතයට ඉලක්කයක් නැතිනම් ඒ ජීවිතයක් හරියට අයලේ යන පෙර කී නැව වගේමයි නේද? එසේනම් දරුවනේ ජීවිතය තුළින් නිවැරදිව, නිසියාකාරව ප්‍රයෝජනයක් ඇතිකර ගැනීමට ඉලක්කයක්, අරමුණක් තිබිය යුතුමය. ඒ ඉලක්කය, අරමුණට ධනාත්මකව යොමුවීමත් අතිශය වැදගත්.

අන් මතවලට ඇහුම්කන් දෙන්න

ධනාත්මක ආකල්ප ඇතිකර ගන්න කෙනෙක් විදිහට ඔබ අන් මතවලට ඇහුම්කන් දිය යුතුය. එසේම බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දී දේශනා කරනවා. තමන්ට අන් අය කියනවා ඇහුණා කියාල පිළිගන්නට එපා. එහෙම නම් පිළිගන්නට අවශ්‍ය නම් සිතින් දැකලා තමන්ගෙ නුවණට ගෝචර වෙනව නම් පිළිගන්න කියලා.

ඒ අනුව ඔබට වැටහෙනවා නේද අන් මතයක් වුවත් පිළිගන්නට ඕනෙ කොහොමද කියලා.

මධ්‍යස්ථව ගමන් කරන්න

ඔබට ඇති අරමුණ කරායාම අසීරු වන්නට පුළුවන්. අසීරු කාර්යක් ටික දිනකට හෝ මඟහැරී ගියහොත් එය ඔබගේ සිතට ද කරදරයක්. මේ කියන්නෙ ඔබට මන්දගාමී වන්නට නොවේ. තමන්ට හැකි ප්‍රමාණයේ ස්ථාවර, මධ්‍යස්ථ ගමනක් තිබිය යුතුයි. ඕනෑවට වඩා ඉක්මන පසුතැවිල්ලයි. අවසානයට පහසුවෙන් යන්න ආශාව ඇති වූ විට සමහරු ක්ෂණිකව ඉක්මන් වෙනවා. එය විශාල අනතුරක්. පින්වත් ඔබ අසා ඇති රත්තරන් බිත්තර එක බැගින් දාන කිකිළියක් ගැන කියැවෙන ජනකතාවක්. කිකිළියගේ අයිතිකරු එම බිත්තර එකවර ගන්න කිකිළිව මැරුවා. ලැබුණෙ මොනවාද? බිත්තරත් නෑ. කිකිළිත් නෑ. ඊටත් වඩා ධනාත්මක ආකල්පවලින් ජීවිතයේ ජයග්‍රහණය කරා යන පුද්ගලයකුට මේ මධ්‍යස්ථ ගමන කියන විශ්ව සත්‍ය තිබීම අවශ්‍යමයි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දුක නැතිකරලා තමන් වහන්සේ අපේක්ෂා කළ ඉලක්කයට ගියෙත් මේ මධ්‍යම ප්‍රතිපදාවෙනි.

එසේනම් පින්වත් දරුවනේ, ඔබේ ජීවිතයට ධනාත්මක සිතිවිලි හැකිතාක් ඇතිකර ගන්න. එයින් ඔබට උදාවන යහපත මෙතෙකැයි කිව නොහැකියි.

අනුශාසනාව ශාස්ත්‍රපති පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ