කාන්තාවගේ ඉවසීම

මාර්තු 6, 2019

අම්මා, බිරිය, කාන්තාවල නැතිනම් දියණිය බොහෝ විට පවුලක බර උසුලන්නීය. ඒ සඳහා ඇයට දිරියක්, බලයක්, ප්‍රඥාවක්, ඉවසීමක් ඇවැසිය. පවුලක බර උසුලන ඇය බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හැසිරෙද්දී කෙසේ කටයුතු කළ යුතුද? නිවැසියන් කෙරෙහි කෙසේ කරුණාවෙන්, ඉවසීමෙන් සිටිය යුතුද? යන්න අප මුතුගල මහමෙව්නා අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේ නමක් සමඟ මෙසේ සාකච්ඡා කළෙමු.

 

අද සමාජයේ ජීවත් වන අප බොහෝ දෙනෙකුගේ කුසල් මුල් පිරිහී ඇති කාලයක ධර්මය තුළ පිහිටන පිරිස අඩුයි. අද වනවිට බොහෝදෙනාගේ ඉවසීම ඉතා දුර්වලයි. අර්බුද හට ගත් තැන දී එයට ඇවිලී නොයන සේ කටයුතු කළයුතුද කියා කාන්තාව දැනුවත් වෙන්න ඕනේ.

පවුල තුළ ධර්මයට සුදුසු පරිසරයක් ඇතිකර ගැනීම බිරියක් මෙන්ම අනෙක් කාන්තාවන්ද අවධානය යොමු කළ යුතු කරුණක්. අංගුත්තර නිකායේ දේශනාවක් තිබෙනවා අඹුසැමි දෙදෙනාට උපමා කරලා. යම් නිවෙසක සැමියා හා බිරිය දෙදෙනාම ධර්මයේ හැසිරෙනවා නම් ඒ නිවස දෙවියෙකු හා දෙවඟනක් ජීවත් වෙනවා යැයිද, දෙදෙනාම ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඒ නිවෙසේ මළමිනියක් සමඟ තවත් මළමිනියක් ජීවත් වෙනවා යැයිද, සැමියා ධර්මයේ හැසිරී කාන්තාව ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් දෙවියෙකු සමඟ මළමිනියක් ජීවත් වෙනවා යැයිද, කාන්තාව ධර්මයේ හැසිරී සැමියා ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් දෙව්දුවක් සමඟ මළමිනියක් ජීවත් වෙනවා යැයිද භාග්‍යවතුන් වහන්සේ වදාළා. අද සමාජයේ මේ ආකාරයේ ජීවත්වන පවුල් හතරම දැකිය හැකියි. නමුත් ශ්‍රද්ධාවන්ත කාන්තාවට ඕනෑම තැනක සිට ධර්මය දියුණු කර ගත හැකියි. තමන් ධර්මයේ හැසිරීමට කැමැති වුවත් තමන්ට ඒ නිවෙස, ස්ථානය ඒ සඳහා සුදුසු නො වෙන්න පුළුවන්. එවිට ඇය ඉවසීමෙන් කටයුතු කළයුතු වෙනවා.? ඒ වගේම අනෙක් අය සමඟ අර්බුදය හට නොගන්නා ලෙස වැඩ කළයුතු වෙනවා.

එසේ නැත්නම් ඒ ස්ථානයේ අර්බුද සාදන චරිතය බවට පත් වන්නේ ඇයයි. සමහර විට ඇයට සිත රිදවන වචන ඇසෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට විරුද්ධ වචන ඇසෙන්න පුළුවන්. ඒ වගේ අයත් සමග එක පාරටම ධර්මය කතාකෙළොත් අපි ගැටෙනවා. මුලින්ම අප කළ යුත්තේ ඔවුන්ට ශ්‍රද්ධාව ඇතිවන පරිසරයක් උදාකර දීමයි. ඒ ඉඩකඩ සාදා දෙන්නට ලොකු ඉවසීමක් අවශ්‍ය වෙනවා. යම් නිවෙසක කාන්තාව ධර්මයේ හැසිරෙන්නට කැමැතියි. නමුත් සැමියට ඒ පිළිබඳව කිසිදු අවබෝධයක් නැති නිසා ඇය සිල් සමාදන් වීමට යාමේදී, වන්දනාවට, දානයකට යාමේදී අමනාප වෙන්නත් පුළුවන්.

එය ඇයට යහපතක් බව ඔහුට දන්නේ නැහැ. නමුත් එවැනි අවස්ථාවක බිරිඳ සිතුවොත් “අනේ මම මහා පවුකාරයි. මේ සේරම දුක මේ බැඳීම් නිසානේ. නැත්නම් මටත් හිතේ හැටියට පින් දහම් කරන්න තිබුණා. අනේ මමත් පැවිදි වුණානම් මේ කරදර නැහැනේ” කියා සිතුවොත් පවුල තුළ අර්බුද ඇතිවන ආකාරයට වදන් කියවෙනවා.

සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ ඇය තුළ යම් කරුණාවක් තිබුණානම් ධර්මයේ හැසිරෙන්නට පටන් ගත් පසුව ඒ කරුණාව වැඩි වෙන්න ඕනේ. දයානුකම්පාවක් තිබුණානම් ධර්මයේ හැසිරෙද්දී එය වැඩිවෙන්නට ඕනේ. පවුල තුළ වගකීම් ඉටු කරන ස්වභාවයක් තිබුණානම් ධර්මයේ හැසිරෙන්න පටන් ගත් පසුව තව තවත් එය වැඩිවෙන්න ඕනේ. එසේ පවුලේ අයත් සමඟ දහම් කටයුතු කරනවා කියන්නේ දෙකක් නොව එකක් කියා ඇය තේරුම් ගත යුතු වෙනවා.

ඇය දැඩි වුවොත් පවුල තුළ අර්බුද හට ගන්නවා. ඒ සියලු තැන්හි ඇයට ඉවසීම උපකාරි වෙනවා. ඒ වගේම උපක්‍රමශීව පවුලේ සියල්ලට ම ධර්මයේ පිහිට ලැබීමටත් ඇයට උපකාරි කළ හැකිනම් එය උතුම් වෙනවා. හැබැයි එය අප හිතන වේගයෙන් සිදු වේවියැයි සිතිය නොහැකියි. ඒ සඳහා අඛණ්ඩ උත්සාහයක් අවශ්‍ය වෙනවා. තථාගතයන් වහන්සේ වදාළා තමන් තව කෙනෙකුට සෙනෙහෙනම්, ආදරේ නම්, සානුකම්පිත නම්, ඔවුන්ගේ යහපත කැමැති නම්, මම කියන දේ අසාවි යැයි සිතනවා නම් ඔවුන්ට බුද්ධ, ධම්ම, සංඝ රත්නයන් කෙරෙහි කියා දෙන්න කියනවා. නමුත් සිතන පමාවට එය කළ නොහැකියි. කෙනෙක් ධර්මයට පහදින්න ඒ සඳහා පිනක් තිබෙන්න ඕනේ. ඒ පින රැස්කර ගැනීමටයි මුලින් උදව් කළ යුත්තේ. පින මෝරන තැන කොහොමද? කොතැනද? අප දන්නේ නැහැ. ඒ නිසා අපටත් යම් ප්‍රශ්නයක් තැවුලක් ආ විට ඉවසන්න ඕනේ. ඉවසල ඉවසල ඔවුන්ට ධර්මය දෙන්න මහන්සි ගන්න ඕනේ. ඉවසල ඉවසල ධර්මය දෙන්න බැරි වුණොත්. ඒත් සතුටු වෙන්න මම හොඳ දෙයක් වෙනුවෙන් උත්සාහයක් හෝ ගත්තා කියලා?. එසේ බොහෝ සේ කාලයක් ඉවසූ රහත් තෙරණියක් ගැන අපට දේශනාවේ මුණ ගැහෙනවා. ඒ ථේරිකා රහත් භික්ෂුණියයි. ඇය විවාහ වෙලා සැමියාගේ නිවෙසට ගියේ තරුණ වයසේදී ම යි. ඇය විවාහ වුණාට පස්සේ ධර්මය අසන්න ලැබී පී‍්‍රති ප්‍රමෝදයට පත් වුණා. පැවිදි වෙන්න ආසා හිතුණා.

තරුණි 2019/03/06 බලන්න. 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.