ඔබ කවුද ? මොනවද කරන්නේ? පැටලුනෝතින් ජීවිතය පිරිහේවි

මාර්තු 20, 2019

පින්වත් දරුවනේ, ඔබ කවුද? මොනවද කරන්නේ? අද බොහෝ ඇත්තන් ජීවිතය වරදවාගෙන ඇත්තේ මේ කාරණා පටලවා ගැනීම නිසායි.

මනුෂ්‍යත්වය බොහොම දුර්ලභයි. ඒ වගේම ලැබූ මනුෂ්‍ය ආත්මය තුළ ගෙවන වයස් සීමා යළිත් උදා වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ කාල සීමාවලදී සිදු වූ වැරැදි අතපසුවීම් යළිත් නිවැරැදි කරගැනීමටත් අවස්ථා නොලැබිය හැකියි.

තමා කවුද? කළ යුත්තේ මොනවාද? එලොවත් මෙලොවත් දියුණුව වෙනුවෙන් නිරතුරුව මේ ප්‍රශ්න දෙක හිතට නඟා ගත යුත්තේ ඒ නිසායි.

රත්තරං දුවේ පුතේ, අධ්‍යාපනය ලබන වයසේ පසුවන ඔබට ඇති කාර්යභාරය හා වගකීම් හරිහැටි හඳුනාගන්න. මේ ඔබම ඔබේ අනාගත ජීවිතය කුමන තරමකට සෞභාග්‍යවත් කරගන්නවාදැයි තීරණය කරන කාලයයි.

ඔබේ මුළුමහත් අනාගතයම ඉදිවන්නේ ඔබ ලබන මේ අධ්‍යාපනයේ පදනම මතයි.

බාධක අවහිරතා නොමැතිව ජීවිතයේ විසල් ජයග්‍රහණ ලබන්න බැහැ. ඉගෙන ගන්නා ඔබට බොහෝ දුෂ්කරතා තිබිය හැකියි.

මෙහිදී ලොකුම බාධකය වන්නේ පහසුකම් පිළිබඳ ප්‍රශ්නවලටත් වඩා හිත තුළ නැගෙන අලසකමයි. සිදුහත් කුමරා බුද්ධත්වය ලබන්නේ වීර්යය පාරමිතාවේ උත්තරීතරම ප්‍රතිඵලය ලෙසයි.

අපේ දරුවන්ටත් අධ්‍යාපනය ලැබීමේදී වීර්යය පාරමිතාව අත්හදා බැලිය හැකියි. දරුවනේ විභාග අධ්‍යාපනය වෙනුවෙන් විර්යය වඩන තරමටම ඔබට ඉහළම විභාග ප්‍රතිඵල නෙළා ගන්න හැකි වෙනවා. අධ්‍යාපනය ලබන අවධියේදී අපේ දූ පුතුන් නින්දට වැඩි ඉඩක් දීම සුදුසු නැහැ. නිද්‍රාශීලීවීම පිරිහීමේ දොරටුවක් ලෙසයි බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ.

අපේ බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නේ ශිෂ්‍ය භූමිකාව හරිහැටි තේරුම් නොගැනීමෙනුයි.

ජීවිතයේ ශිෂ්‍යයකු ලෙස ගත කළ යුතු අවධිය වැඩිහිටියකු ලෙස ගෙවා දමන්නට සිතුවෝතින් එතැනදීම ඔහුගේ ඇයගේ ජීවිතය වරදිනවා. පැහැබර අනාගතයකට යා යුතුව තිබූ ගමන නවතිනවා. ශිෂ්‍ය කාලයේදී පෙම්වතුන් පෙම්වතියන් වීම, විවාහකයන් බවට පත්වීම ජීවිතය අවුලක හෙළීමක් වනවා.

ආදරණීය දරුවනේ, ටෙලිවිෂන් තිරය පාසල් නිල ඇඳුමෙන් ප්‍රේමකරන සුන්දර දර්ශන මැව්වාට ඒවා තමන්ගේ ජීවිතවලට ගළපා ගන්න එපා. මේ ප්‍රේම දර්ශන ඔබව ගෙනයන්නේ දුක්ඛිත අනාගතයකටයි.

නිසි කාලය එළඹීමට පෙර ආවාට ගියාට ගන්නා විවාහ තීන්දුවලට පැවැත්මක් නැහැ. දුකක් මිස සතුටක් නැහැ. විවාහයක් වෙනුවෙන් සැපිරිය යුතු සුදුසුªකම් තිබෙනවා. ඒ සඳහා මනා කායික වර්ධනයක්, බුද්ධිය මුහුකුරායාම වගේම යහපත් ආර්ථික ශක්තියක් යන අංශ සපුරාලිය යුතුයි.

වරෙක තරුණ පිරිසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගොස් ඔවුන්ට විවාහ වීමට අවශ්‍ය බව පැවසුවා. එහිදී බුදුරජාණන් වහන්සේ,

"ආර්ථිකයක් ගොඩ නගාගත යුතුයි. කළමනාකරණ ශක්තියක් තිබිය යුතුයි. ණය නොවිය යුතුයි, නුසුදුසු ක්‍රමවලින් මුදල් හරිහම්බ නොකළ යුතුයි" යැයි විවාහයට අවශ්‍ය ආර්ථික පසුබිම පිළිබඳ දේශනා කළා.

අපේ දරුවන් මත්වීම අද ජාතික ප්‍රශ්නයක් වෙලා. මතට යොමු වූවන්ට නම් විවාහ ජීවිතය වෙනුවෙන් එකම සුදුසුකමක් හෝ සපුරාලිය නොහැකියි.

මතට ඇබ්බැහිවීමෙන් කායික ශක්තිය, බුද්ධි ශක්තිය, ආර්ථික ශක්තිය පිරිහුණු අයකුට සාර්ථක විවාහ ජීවිතයක් උදා වෙන්නේ නැහැ. ඒ පිළිබඳත් ලස්සන අනාගතයක් ගැන හීන මවන අපේ දරුවන් කල්පනාකාරි විය යුතුයි.

විවාහයේදී අපේක්ෂා කළ යුත්තේ දෙවියෙක් දිව්‍යාංගනාවියක් හා සමානව ගෙවන ජීවිතයක් බව බුදුරජාණන් වහන්සේ වදාරනවා. විවාහකයන් වගකීම් හා යුතුකම් රැසකිනුයි පවුලට බැඳෙන්නේ. සැමියා බිරිය වෙනුවෙන් - බිරිය සැමියා වෙනුවෙන් - මාපියන් දරුවන් වෙනුවෙන් වගේම දරුවන් මාපියන් වෙනුවෙන්ද ඉටුකළ යුතු යුතුකම් වගකීම් තිබෙනවා.

මේ යුතුකම් ටික හරි හැටි ඉටුවෙන තැන ඇත්තේ බොහොම සාර්ථක පවුලක්. ඒත් අද අපේ ඇත්තන් තම තමන්ගේ භූමිකා අමතක කරලා විවාහක සැමියන් බිරින්දෑවරුන් අලුත් පෙම්වතියන් පෙම්වතුන් සමඟ නිදහස් ජීවිත හොයනවා.

පවුලක වගකීම්වලින් මිදී පෞද්ගලික අරමුණු හඹා යනවා. තමන්ගෙන් පවුල වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ගැන වගක් නැහැ.

මෙවැනි පසුබිමක් තුළ ඇත්තේ එලොවත් මෙලොවත් පිරිහීම පමණයි. සැබැවින්ම පවුල් ජීවිතයේදී මාපියෝ තම දරුවන් වෙනුවෙන් මහත් වගකීමක් හිස දැරිය යුතුයි. ඒ යුතුකම් දරුවන්ට හොඳ නරක කියාදීම, අධ්‍යාපනය ලබාදීම, සුදුසු කල්හි විවාහකරදීම හා සුදුසු කල්හි දායාද දේපොළ පවරාදීම යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වා තිබෙනවා.

සැබැවින්ම බෞද්ධ සංස්කෘතියට අනුව ගෙවාලිය යුතු සැඳෑසමය සැනසුම්දායි වූවක් වනවා. එය අත්හැරීම මිසෙක බදා ගැනීම් නැති බොහොම නිදහස් කාලයක්. තමන්ගේ දූ දරුවන්ට සියලු දේපොළ වත්කම් පවරා දූ දරුවන්ගෙන් සැප ලබමින් ජීවත්වීම මෙහිදී සිදුවෙනවා.

දරුවන්ගේ දරුවන් සමඟ මෛත්‍රී සහගතව ජීවත් වන මේ කාලයත් අර්ථදායි ලෙස ගත කළ යුතුයි.

ආගම දහම වෙනුවෙන් නිදහස් මනස වැඩි වැඩියෙන් නැඹුරු කිරීමේ හැකියාව තිබෙනවා. එහිදි ගෞරවනීය වැඩිහිටියකු ලෙස සමාජයේ සම්මානයට පාත්‍රවීමටත් ඔබට හැකියි.

 

රුහුණු මාගම්පත්තුවේ අධිකරණ

සංඝනායක කතරගම අභිනවාරාමයේ විහාරාධිපති

කපුගම සරණතිස්ස නාහිමි

2019/03/20 තරුණි පුවත්පත බලන්න.