ප්‍රීතිමත් මනසකින් දිවි ගෙවන්න අත්වැලක්

අප්‍රේල් 24, 2019

තථාගත සම්බුදු දහම ලොව පහළ වූ පරම නිර්මල සත්‍යයයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට සමාන කළ හැකි අන් කිසිදු ඉගැන්වීමක් මේ මිහිපිට නැහැ. සියලු දීම් අතරින් සදහම් රසය අග්‍රයි. සියලු ඇලීම් අතරින් සද්ධර්මයට ඇලීම අග්‍රයි.

ඒ උතුම් සද්ධර්මය වෙත යම් ශ්‍රාවකයෙක් අවබෝධයෙන් යුතුව පැමිණිලා තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වන්නේ නම් ඒ හැම දෙනෙක්ම මෙලොව උතුම් ලාභය ලබාගත් භාග්‍ය සම්පන්න මනුෂ්‍යයන් බවට පත් වෙනවා.

ස්වකීය ජීවිතය අවබෝධ කරගෙන උතුම් මාර්ග ඵල අවබෝධය ඇති කරගත හැකි වෙනවා. ඒ සඳහා මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. ඒ උතුම් සම්බුදු ධර්මය ශ්‍රාවකයෙක් හැටියට ඔබ මනාකොට දැනගත යුතුයි.

පින්වතුනි, මේ සිත හරිම පුදුම සහගතයි. සිත විස්මය ජනකයි. එක මොහොතක ආසා රහිතව පවතී.

ද්වේශයෙන් පීඩා විඳින මේ සිත තවත් මොහොතක කරුණාවෙන් පිරී යයි. එක එක වෙලාවට එක එක ආකාරයේ ස්වරූපයන්ගෙන් පෙනී සිටින මේ සිත පාලනය කර ගැනීමට නොහැකිව අප කොයිතරම් නම් අසහනයට හා කනස්සල්ලට පත්වී තිබෙනවාද? අපි මේ ගතකරන ජීවිතයේ කායික පීඩාවලට වඩා වැඩියෙන් ලබා තිබෙන්නේ මානසික පීඩාවන්. පින්වත් දරුවනේ කායික පීඩාවකට වඩා ජීවිතයට මානසික පීඩා බලවත්ව දැනෙන බව දැනටමත් ඔබ තේරුම් අරගෙන ඇති.

නිරෝගී මනසක්, ප්‍රියංකර මනසක්, ප්‍රීතියෙන් ඉපිලගිය මනසක් ජීවිතය තුළ ගොඩනගා ගැනීමට ලෝකයේ කවුද අකැමැති. ඔව්, ඇත්තෙන්ම ඔබ අකැමැති නෑ. එවැනි නිරෝගී මනසකින් ප්‍රීතිමත් මනසකින් ජීවත්වීමේ ක්‍රමවේදය ඔබ අවබෝධ කරගත යුතුයි.

ඒ සඳහා කරණීය මෙත්ත සූත්‍රය පින්වත් ඔබට මහඟු අත්වැලක් සපයාවි.

මෙම සූත්‍ර දේශනාව හරහා ගිහි ජීවිතයේ දියුණුව මෙන්ම නිවන් මඟ ද ලබාගත හැකියි. කරණීය මෙත්ත සූත්‍රය ආරම්භයේදී උජූච සූජූච යන වචනය කියැවේ. උජු යනු සෘජු, කෙළින් සිටීමයි. එනම් වැනෙන්නේ නැති ස්වභාවයයි. එවැනි පුද්ගලයාට දියුණුව ළඟාකර ගත හැකියි.

සූජුච යනු වඩාත් නොවැනී සිටීමයි. මෙයට මෛත්‍රීය ද එකුතකර ගත යුතුයි. මෛත්‍රීයෙන් වෛරය, සැකය, බිය නැති වී යයි.

කෙනකු කරණීය මෙත්ත සූත්‍රය හරහා ඉහළ තලයක මෛත්‍රී බලයක් ඇතිකර ගැනීමට කටයුතු කිරීමට පෙර තමන්ට අසල්වාසීන්ට, තමන්ට හතුරුකම් කළ අයට ‘සුවපත් වේවා’ යැයි මෙනෙහි කරමින් මෛත්‍රීය වැඩිය යුතුය. එවන් පුද්ගලයකුගේ ශරීරය පුරා පැතිර ඇති ද්වේෂයේ කළු වළාව නැති වී යයි.

තවදුරටත් අනිත්‍ය අවබෝධ කරගනිමින් මම යැයි කෙනකු නැති බව තේරුම් ගත යුතුයි. මාන්නය අඩුවන විට ධර්මය අවබෝධ කර ගැනීමට පහසුවෙයි.

පින්වත් දරුවනි ඔබේ ශරීරය පුරා පැතිරී ඇති ඇටසැකිල්ල ඔබේ පැවැත්මට දෙන දායකත්වය ගැන සිහි ගන්වා ගන්න. එම සැකිල්ල නොමැතිව කුමන හෝ කටයුත්තක් අපට කිරීමට නොහැකි වෙයි.

එයට පින්දෙන්න. ශරීරයේ ඇති ඉඳුරන් අපට සංවේදී වීමට සහ හඳුනා ගැනීමට කෙතරම් උපකාරී වන්නේද? එබැවින් අපි අපේ කයට පින්දිය යුතුයි.

කයට පින්දෙන විට කය පුරා පැතිරි ඇති සියලු වෛරී සිත් පහව යයි.

කය ක්‍රමයෙන් සුවපත් වේ. මෙය කාලයක් කරගෙන යාමේදී කයෙහි තිබුණ රෝගී තත්ත්වයන් බොහෝ සෙයින් අඩුවේ. කිසියම් තැනක දැනෙන සුළු රෝගි බවක් තිබුණහොත් එම කොටසට කතා කරන්න. මෛත්‍රියෙන්, කෘතවේදීව එම කොටස කරන කටයුත්ත අගය කරන්න. පින් දෙන්න. වේදනාවෙන් මිදෙන්නට එම කොටසින් ඉල්ලා සිටින්න. මෛත්‍රීය ඉහළ මටටමක සිදුවන විට මෙම සුවවීම අත්විඳිය හැකිය.

තමන් ගන්නා වෛද්‍ය ප්‍රතිකාරවලට සමාන්තරව මේවා කළ හැකියි. මෛත්‍රීයත්, පිනත් එකම කාසියේ දෙපැත්ත වෙයි. මෛත්‍රී කරන විට පින් අවකාශයක් පැතිර යයි.

පින්වතුනි, ඔබ නොසිතුවාට බොහෝ විට කය තුළ පෙර කාලයක සිදුවූ අප්‍රසන්න සිදුවීමක් දුක ලෙස පැවතිය හැකියි. එය ඇති කළ අයද තමන් තුළ චිත්ත පීඩාව ඇති කරමින් පැවතිය හැකිය.

එම සිද්ධිය සහ පුද්ගලයන් ඇතිකර තිබෙන තුවාලය සුව කරගත යුතුය. ඒ සඳහා සිහියෙන් සිටිමින් එම සිදුවීමට සහ පුද්ගලයන්ට මෛත්‍රීය කරන්න. තුවාලය ඔබට දැනෙන ලෙසම සුවපත් වනු ඇත. උජූච, සූජූච ගැන අවබෝධයෙන් කය පුරා සිත පුරා ඇති කෙලෙස් නැති වන විට තමන් තුළ තිබෙන අනන්ත ආලෝකය ක්‍රමයෙන් ඉස්මතුවීමට පටන් ගනී.

කරණීය මෙත්ත සූත්‍රයේ එන සුජූච නම් කීකරු බවයි. මෘදු නම් තද ගතියෙන් තොරවීමයි. එදිනෙදා ජීවිතයේ දී ආශ්චර්යවත් සාර්ථකත්වයකට එළැඹීමට නම් පින්වත් ඔබ මේවා ගැන සැලකිලිමත් විය යුතුය.

අනතිමානී යනු නිහතමානී වීම නොවේ. සිත නිහතමානී වූ විට දී අන් අයට වඩා නිහතමානීයි කියමින් මාන්නය ඇතිකර ගනී නම් එය පලක් නොවේ. ඒ බවද ඔබ වටහා ගන්න. සන්තුස්සකෝච යනු තෘප්තිමත් වීමයි. ලැබී ඇති දෙය කෙරෙහි සෑහීමයි. සුභරෝච නම් සැහැල්ලු බවය. අප්පකිච්චෝ ච නම් කිරීමට දෙයක් නැත. ලබා ගැනීමට දෙයක් නැති බවය

සල්ලහුකවුත්තී යනු මා කිසිවක් නොකර මා තුළින් ක්‍රියා සිත් හරහා කටයුතු කිරිමයි.

සිත පිරිසුදු වන විට සැප විපාක තමන් පසුපස එන සෙවණැල්ල මෙන් අප්‍රමාදීව එයි. සිත අපිරිසුදු වන විට දුක් විපාකය ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් පැමිණෙයි.

සන්තින්ද්‍රියෝච යනු ශාන්ත ඉන්ද්‍රීයයන් හෙවත් කෙලෙස් රහිත ඉඳුරන්ගෙන් සිත දුරස්වීමයි. එවිට ඉතාම නිවැරැදි ප්‍රතිචාර දැක්වීමට හැකිවේ.

එම ප්‍රතිචාරය යනු නුවණ, ප්‍රඥාව සහිතව කරන ක්‍රියාකාරකමයි. එම ශාන්ත ඉන්ද්‍රීය තුළ නුවණ ප්‍රඥාව ඇත. නිපකෝ යනු නුවණ සහ ප්‍රඥාව තිබීමයි.

සියල්ලටම එකම ලෙස මෛත්‍රීයෙන්, ආදරයෙන්, සෙනෙහසින් යුතුව දැක කටයුතු කිරීම වගේම රළු නොවන බව අප්පගබ්බෝ නම් වේ.

ජීවි, අජීවි, ගස්, සත්ත්ව, දේව ආදී විවිධ කුලවලට වෙන්කර නොදකින බව කුලේසු අනනුගිද්දෝ වේ.

නච ඛුද්ධං සමාචරේ යනු නැණවත් අය දෝෂාරෝපණය කරන සුළු වරදක හෝ නොයෙදෙන බවයි. ඔබ තුළ සුළු වරදක් හෝ සිදු නොවන්නට නම් සිතෙන් ඔබ්බට, නිහඬතාවයට ධ්‍යානයටම යා යුතුය. එතැනට පත්වීමට සුඛිනෝවා ඛේමිනෝ හෝන්තු සබ්බේ සන්තා භවන්තු සුඛිතත්තා යැයි මෙත්‍රීය කළ යුතුයි.

යේ කේචි පාණභූතත්ථි තසා වා ථාවරා වා අනවසේසා, යම්කිසි ප්‍රාණී භූත ඇත්නම් ඒවා කෙරහි ද බිය වූ කෙලෙස් සහිත වූ ජිවීන් මෙන්ම නික්ලේෂී ශක්තිමත් අයද උස් පහත් භේදයකින් තොරව දැකිය යුතුය.

පින්වතුනි භුතාවා සම්භවෙසිවා යනු විශ්වයේ සිටින සියලු ජිවීන්ට විශේෂයක් නොකර මෛත්‍රීය වඩන්නට කියා දීමයි.

එලෙසම එයින් කියැවෙන්නේ සිතයි. නිහඬතාවය නමැති සිතෙන් එය බලා සිටීම නිසා ප්‍රඥාව ඇති වී අවබෝධය වඩ වඩාත් ඇතිකර ගතයුතුය.

පින්වත් දරුවනි, මෙලෙසින් අවබෝධයෙන් යුක්තව කරණීය මෙත්ත සූත්‍රය නිතර සජ්ඣායනා කරමින් හෝ නිහඬව එම කොටස් මතුරමින් තමන්ගේ කෙලෙස් පරාජය කිරීම කළ යුතුය.

එවිට ලෝකෝත්තර සිත් නැගී සිටිමින් නිවන මෙන්ම සාර්ථකත්වය සහ දියුණුව ලබා දෙනු ඇත. ඒ තමන්ගේ මෝහය මියයමින් බුද්ධිය තමන් තුළින් නැගී සිටින බැවිනි.

අනුශාසනාව

සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන

සංඝනායක, මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය

රදාවඩුන්නේ ශාන්ත අමරානන්ද ස්වාමීන්වහන්සේ

2019/04/24 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.