යොවුන් සිතට භාවනාව

මැයි 1, 2019

අපේ ජීවිතය බොහෝ සංකීර්ණය. මේ සංකීර්ණ වූ සමාජය තුළ අපි වේගවත් තරගයක දිව යමු. මේ අධිවේගී ගමනේ නැවැතුම කොතැනද? එහි අවසාන ප්‍රතිඵලය කුමක් ද? කිසිවකුටත් අවබෝධයක් නොවෙයි. මේ දිවයන දිවි මඟේ ඇතිවන ගැටලු අපමණය. එවැනි ගැටලුවලට මුහුණ දුන්විට විශේෂයෙන්ම යෞවන, තරුණ පිරිස අසරණව අතරමං වී සිටිති.

 

මේ සංකීර්ණ දිවියට දහම් මඟ තුළින් ලැබෙන පිළිසරණ ආලෝකය අනන්තය.

උදාවෙන වෙසක් මාසයේ අපට මේ දිවිමඟට අධ්‍යාත්මික සුවය ළඟාකර ගැනීමට හොඳම කාලයයි.

බුදු දහමේ භාවනාව තුළින් ලබාදෙන අධ්‍යාත්මික ශික්ෂණය අපගේ ජීවිතය සාර්ථක කරගන්නට විශාල අත්වැලක් සපයයි.

 

එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගැනීමට ඔබ භාවනාව යොදා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ අධ්‍යයනයක් හා පුහුණුවක් ලැබීය යුතුය. එය ඉතාම සංකීර්ණ කටයුත්තක් කරගැනීම වෙනුවට තමා කරන කියන කටයුතු නිවැරැදිව හා සිහිනුවණින් කිරීම හා පුහුණුව ද භාවනාවකි.

මේ සඳහා පුංචි මඟ පෙන්වීමක් ලබාදීම සඳහා අප ඔබට භාවනාව පිළිබඳ සරල විග්‍රහයක් කරන ලිපි කිහිපයක් තිළිණ කරමු. මෙම ලිපි මාලාව බු.ව.2547 දී දහම් පඬුරක් ලෙස සිළුමිණ පුවත්පතේ පළවූ භාවනාව පිළිබඳ ලිපි මාලාවෙන් උපුටාගත් කොටසකි.

දෛනික දිවියේදී භාවනාව පුහුණුවන අයුරු මෙයින් ඉතා සරල අයුරින් විග්‍රහ කරයි.

මල් පිපිණු මාවතක පිය නගන්නට යොවුන් සිත සිහින මවයි. යොවුන් සොඳුරු ලොවක හුදකලා වී නිමක් නැති සතුටක් ලබන්නට පෙරුම් පුරයි. යොවුන් නෙත් යුග පියවී තිබෙන්නේ මහා හිස් බවක් වසාගෙනය. ඒ නුවන් යුග බුද්ධියට ඉඩ දෙන්නේ කවදාද?

යොවුන් ජීවිතය වියැකී යන්නේ සුවඳක් හමා වියැකී යන පරිද්දෙනි.

සිහින අසපුවක කිරුළු පලඳින්නට මේ යෞවන යෞවනියන් පිය නගන්නේ කටු පඳුරු ගල් බොරුළු මතිනි. කලාතුරකින් ඔවුන්ගේ පා මුදු මොළොක් තණපිටි, නිම් තීර දිගේ ඇදිය හැකියි. එසේ වුවත් සැප සොයා යන ඔවුන්ට බොහෝ විට හිමිවන්නේ දුක කඳුළයි. මකුළුදැලක පැටළුණු සමනලයන් සේ බොහෝ දෙනා අවසානයේ අසරණ වෙති. ඔබේ යොවුන් දිවියේ වීරයා විය යුත්තේ යොවුන් සිත මෙහෙයවන අභිමානවත් පුරුෂයායි. ඔබ මහන්සි ගත යුත්තේ ඒ පුරුෂයා සොයා යාමටයි. ඒ වීරයා නම් යොවුන් සිතක නැගෙන නිර්භීත භාවයේත්, සාධාරණත්වයේත්, අකලංක ජීවිතයේත් ප්‍රතිමූර්තිය වන් සිද්ධාර්ථ කුමාරයායි.

 

සිද්ධාර්ථ කුමාරයා සඳලුතලයෙන් බිමට බැස්සේ ජීවිතයෙන් පැරදී නොවේ. ජීවිතය ජය ගැනීමටයි.

අසහාය අදිටනකින් හෙබි සිදුහත් කුමරු විමුක්තිය සොයමින් එදා රාත්‍රියේදී තබන ලද සෑම පියවරකම සටහන් වූයේ විමුක්තියේ දෝංකාරයයි. රාජකීය සම්භාෂණ මැද මාළිගාවන්හි දිවි ගෙවූ එතුමෝ සතුටු සිතින් යුතුව මහ වනයේ තනිවූහ. ආත්ම විශ්වාසයත්, කැපවීමත්, දෝතටගත් බුද්ධියේ අරුත සොයන මේ නුවණැති කුමාරයාණෝ අලුත්ම විද්‍යාගාරයක් තනාගත්හ.

 

එකම සිතින් නිර්මාණය වූ ඒ විද්‍යාගාරයේ සෑම උපකරණයක්ම ප්‍රඥාවෙන් නිමැවී තිබුණි. එතුමෝ පැය ගණන් දෙනෙත් පියාගෙන භාවනාවේ යෙදී සිටිමින් විද්‍යාගාරය තුළ අලුත්ම අලුත් දේ සොයා ගත්හ.

ඒ සොයාගැනීම් එක්තරා ආලෝකයකි. මනසක් තුළ තිබෙන අවිඳු අඳුර දුරුකොට ඒ ආලෝකය උදාකරගත් පරිදි ඒ තැනැත්තා අමරණීය වනු ඇත. කාම බන්ධන ඉක්මවා සියලු මායා මෝහවලින් නිදහස් වී නොමැරෙන ආලෝකයක් වෙත පිවිසෙන්නට සිද්ධාර්ථ ගෞතමයාණන් දැරූ උත්සාහය යොවුන් ජීවිතවලට ලැබුණු සනාතන ගෞරවයකි.

 

“පින්වත් මහණෙනි, සම්මා සම්බුද්ධ යනු ලොව පහළ වූ ඉතාමත් ආශ්චර්යවත් මනුෂ්‍යයාය. පින්වත් මහණෙනි සම්මා සම්බුද්ධත්වයට පත්වූ උතුමෙක් පහළවීම යනු අඥානකම නමැති අන්ධකාරය දුරුකරන ප්‍රඥාවේ පහළවීමයි. කායාවාචා, දූෂණ පිරීගිය වැරැහැලි ඉරාදමන ශක්තිය උදාවයි. දුක් දොම්නස් දුරුකරන සෙත ශාන්තියේ උදාවයි. සියලු මානසික වහල් බැමිවලින් නිදහස් වුණු සනාතන විමුක්තියේ උදාවයි. සැනසිලි මඟ හඳුනාගත් සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයන්ගේ පහළවීමයි. ධර්මය හඳුනාගෙන විමුක්තිය උදෙසා කැපවුණු කෙළෙස් තුනීකරගත් සත්‍යගාමී ආර්ය ශ්‍රාවකයන් ගේ පහළවීමයි. රාගයත්, ද්වේශයත් සදහටම සිතින් ඉවත්කරගත් ආර්ය ශ්‍රාවකයන්ගේ පහළවීමයි. සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ සදාකාලික සැපය වන අමා නිවනට පත්වූ රහතන් වහන්සේලාගේ පහළවීමයි. මෙසේ පින්වත් මහණෙනි, සම්බා සම්බුදු කෙනකුගේ පහළවීම ලොවට මහත් සෙත ශාන්තිය උදාකරයි.”

(අංගුත්තර නිකාය)

 

යොවුන් ඔබේ ජීවිතය පටන්ගත්තේ කිරිකැටි දරුවකුගෙනි. නමුත් එය පවා ඔබට ලැබුණේ ඉතා කලාතුරකිනි. ගොවියකු සීසෑමට ගන්නා වියගසක් මුහුදට වැටුණවිට දියරැලි මත පාවේ. සියවසරකට වරක් දියෙන් උඩට එන කැස්බෑවෙකු එය වියසිදුරෙන් අහස බැලීම මෙන් සමහරවිට ඊටත් වඩා දුලබ සිදුවීමකි. ඔබ තුළ ඔය සිදුවී තිබෙන්නේ එබඳු දුලබ වූ මිනිස් දිවියේ නිසි ඵල ලබාගත හැක්කේ බුදුසසුනින් ආලෝකය ලබාගැනීමෙනි. ඒ සඳහා අපට ඉතාම නිර්මල වූත් නිකෙළෙස් වූත් ලොව්තුරා නායකත්වයක් තිබේ. ඒ සම්බුදු සිතේ ඇති විරාගී සෙනෙහස කොතරම් මිහිරිද?

 

මේ ලෝකය ඉදිරියේ දෑස් අඳවී යන බොහෝ යොවුන් ජීවිත මංමුලා වන්නේ කිසිවක් නොදන්නා සිඟිත්තන් පරිද්දෙනි. ජීවිතය ගෙවීමේදී නානා ගැටලුවලට මුහුණදීමට සිදුවේ. ඒ ගැටලු ඉදිරියේ ජීවිතය කඩා නොවැටෙන්නට නම්, ජීවිතය නඟාසිටුවිය හැකි උතුම් ධර්මයක් අවශ්‍ය වේ.

 

අප කවුරුත් සිතිය යුතු වඩාත් ගැඹුරු ප්‍රශ්නයක් තිබේ. අද උපන් සිඟිත්තාටත්, මිනිසුන් අතර යම් රැකවරණයක් ඇත. මරණ මංචකය දක්වාම රැකවරණය ලබාගත හැකිය. එහෙත් මියගිය පැරණි පුද්ගලයා අනාරක්ෂිත වේ.

ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් ලෝකයේ හෝ නිරයේ හෝ උපත ලබන්නට ඉඩකඩ ඉතා වැඩිය. එතරම් අනතුරක් මේ ජීවිතය තුළ තිබියදී අපට උදාවූ යොවුන් දිවිය අප හැසිරවිය යුත්තේ වඩාත් බුද්ධිමත් ලෙසය. ධන ධාන්‍යවලින්, යසඉසුරින් සපිරි ජීවිතය අප උදාකරගන්නට වෙහෙසෙන්නේ තනිකර මුදල් මතිනි. ඒ ධන ධාන්‍ය යසඉසුරු අහිමිවන විට, ජීවිතය පවා අහිමිකරගන්නේ මුදල් හා ජීවිතය සමකොට සිතීම නිසාය.

පින්වත් මහණෙනි, ධන ධාන්‍යවලින් පිරිහීමට පත් කෙනකු දුප්පත් වේ නම් ඒ සුළු දෙයකි. නමුත් යමෙක් ප්‍රඥාවෙන් පිරිහී අවබෝධ ඥානයෙන් දිළිඳු වේනම් ඒ වනාහි අවාසනාවන්තම දිළිඳුකමකි.”

(අංගුත්තර නිකාය)

 

එක් දිනක් සුන්දර කුමාරවරු තිස්දෙනෙක් ස්වකීය යෙහෙළියන් සමඟ උයන් කෙළියට ගියහ. එක් කුමාරයකු යෙහෙළියක නොමැති අඩුපාඩුව පිරිමසා ගත්තේ ණයට ගත් අභිසරු ලියකගෙනි. සතුටින් උද්දාමයට පත්වූ ඔවුන් උද්‍යාන ක්‍රීඩාවේ මිහිර විඳගත් ඒ යොවුන් කැළ නදියේ දිය ක්‍රීඩාවේ යෙදෙද්දී ඔවුන්ගේ ආභරණ සොරාගත් ඒ අභිසරු ලිය පැනගියාය. කලබල වූ යෞවනයෝ තම යෙහෙළියන් පිටත්කොට යවා, අභිසරු ලිය සොයමින් උයන්බිම දෙවනත් කළහ. එහිදී ඔවුන්ට දකින්නට ලැබුණේ සොඳුරු දසුනකි. රන්වන් දේහයකින් බබලවන යෞවනයෙන් විකසිත වු සුන්දර ශ්‍රමණයකු රුක් සෙවනක දැහැන් වඩන ආකාරයයි. ඒ කුමාරවරු ඒ ශ්‍රමණයන් ළඟට ගොස් අභිසරු ලිය ගැන අසා සිටියහ. ඒ ශ්‍රමණයෝ බබළන නෙත් යුග විවරකොට තරුණයන් දෙස බලා වදාළේ ඒ අභිසරු ලිය සෙවීමට වඩා තමා යනු කවරෙක්දැයි සෙවීම අගනා දෙයක් බවයි. එය ඇසූ යෞවනයෝ එකිනෙකාගේ මුහුණ බලාගත්හ. තමාගැන සොයා ගන්නේ කෙසේදැයි ඔවුන් ශ්‍රමණයාගෙන් විමසා සිටියහ. එවිට තමාගෙන් නිදහස් වී තමා නිවනට පිවිසෙන ආකාරය ඒ ශ්‍රමණයන් වහන්සේගේ මුවින් පිටවිය. ඒ තරුණ හදවත් ඒ දහමින් සිසිලස ලදහ. හඬන වැළපෙන ලොවින් අත්මිදී නිසලව සැනසෙන ලොවට පිවිසුණහ. යෞවනයේ සැබෑම චමත්කාරය එයයි. තමා මෙතෙක් කතාබස් කළේ තුන්ලොවට ඉහළින් බුද්ධියේ කිරුළපලන් සම්බුදු රජාණන් වහන්සේ සමඟ බව ඔවුන් දැනගත්තේ එවිටය.

 

නිදහස් නිවහල් චින්තනයක කාහල නාදය ගිගුම් දුන් බුදුසමිඳුන් නැගූ සදහම් හඬ ඔස්සේය. සමස්ත භාරතය පුරාත්, සමස්ත ලෝකය තුළත් බුද්ධිමය විප්ලවය පැනනැගුණේ ඒ තුළින්ය. ඒ පරම සුන්දර වූ අධ්‍යාත්ම විප්ලවයකි. සරාගී සිතක් විරාගී කළ සදෝසි සිතක් විකදෝසී කළ සමෝහී සිතක් විනමෝහී කළ රහතන් වහන්සේ දොරක් දොරක් පාසා පිඬුසිඟා යන්නට වූයේ ඇහැල මල් වරුසාවක් පරිද්දෙනි. මේ සොඳුරු යෞවනයේ අප ඉඩදිය යුත්තේ හැඟීම්වලට නොවේ. බුද්ධියටයි. හැඟීම්වලට වහල් වූ යෞවන සිතක් විනාශ වන්නේ ඉස්ම උරා ඉවතලන උක් දණ්ඩක් පරිද්දෙනි.

 

හැඟීම්වලට වහල් වූ යෞවන ජීවිත ඉවතට විසිවන්නේ තමාට ලැබුණු වටිනා තෑග්ගක් විවෘත නොකරම විසිකරන්නා පරිද්දෙනි. ඒ නිසා යෞවනයේ සවිබලය හඳුනාගත යුතුය. යොවුන් ජීවිතය යනු ධර්මයේ හැසිරෙන්නට වඩාත් සුදුසු කාලයයි. මානසික වහල් භාවයෙන් අත්මිදී නිවහල් චින්තනයක් උදාකරගත හැකි හොඳම අවධියයි. බුදුසසුන තුළ අභිමානවත්ව නැගී සිටීමේ හොඳම මොහොතයි.

 

බූවල්ලකු ස්වකීය අඬු විහිදුවාගෙන ගොදුරක් ඩැහැගන්නා සේ ලාංකික යෞවන දිවිය ගොදුරු කරගන්නට මිත්‍යාදෘෂ්ඨික බලවේග කුරුමානම් අල්ලමින් සිටී.

මෙයට ග්‍රහණය වන්නේ තුන්සරණය අහිමිකරගත් ළඳ බොලඳ මනසින් යුතු නිවට යෞවනයාය. නමුත් මනා කොට තිසරණයේ යොවුන් ශ්‍රාවකයන්ටත් යොවුන් ශ්‍රාවිකාවන්ටත් සියලු මිසදුටු මත ඉදිරියේ ඉන්ද්‍රඛීලයක් සේ සිටිය හැකිය. ඒ සඳහා යෞවනයාට අත්වැල සපයන්නේ බුද්ධානස්සති භාවනාය, අනාපානාසති භාවනාව හා අනිත්‍ය භාවනාවයි.

 

බුදුගුණ සිහිකොට සැබෑ සිතින් දියුණුකරගත යුතුය. අනාපානාසති භාවනාව තුළින් බොළඳ විතර්ක සංසිඳුවා ගත යුතුය. අනිත්‍ය භාවනාව වඩා අනුකම්පිතව මුහුණදීමට පෞරුෂය ඇතිකරගත යුතුය. ඕනෑම ගැටලුවකදී පළමුව දුබල වන්නේ සිතයි. නමුත් භාවනාව තුළින් වඩන ලද සිත ප්‍රබලව නැගී සිටියි. මෙම අමා දහම් ගගුල ඔබේ යොවුන් සිතට පුන්සඳක් වේවා !

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.