සාර්ථක ජීවිතයකට භාවනාව

මැයි 8, 2019

උදාවන වෙසක් සඳ අඳුරේ අතරමං වී සිටින සත්ත්වයන්ට ආලෝකය සපයයි. අවිද්‍යා අඳුරේ දුකෙහි අතරමං වී සිටින සත්ත්වයන්ට ඊටත් වඩා ආලෝකයක් සපයන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේය. සම්බුදු නුවණක ආසිරි ලබන දෙවි - මිනිසුන් පියවර තබන්නේ ලොව්තුරා සැපත අත්විඳින ලෝකයකටය. එහෙත් නුවණ අඳ ජනයා ලැගුම් ගැනීමට කැමැති වන්නේ දුකෙහිමය.

සාර්ථක ජිවිතයකට ඇවැසි දේ වශයෙන් ලෝක සත්ත්වයෝ විවිධ දේ සම්මත කරගෙන සිටිති. අධ්‍යාපනයත්, භාෂා ඥානයත්, වෘත්තීය දැනුමත්, මිල-මුදලුත්, ඉඩ-කඩම්, දේපළත්, නෑ පිරිවරත්, ගෞරව නම්බුනාමත් ඒවා අතර ප්‍රධානය. සරු දිවියේ දිනුම් කණුව කරා ළඟාවන්නට නිරතුරුවම නොනවතින අරගලයක යෙදෙන්නේ සමාජ සම්මත වටිනාකම් ඔස්සේය. එහෙත් බොහෝ දෙනෙක් මහත් තරගයකට එක්ව ඔවුනොවුන්ට ඉරිසියා කරමින්, දුබලයා මඩිමින්, බලවතාට ආවඩමින් සොයාගෙන යන ඒ සරු දිවිය ඔවුන්ට අත්විඳිය හැකිද? සාමාන්‍ය ලෝකයා සරු දිවිය ලෙස සම්මත කරගත් දේ තුළ සීමාවක් තිබේද? ඒ නිසාම සරු දිවිය හඹාගොස් හතිවැටී ඇදවැටෙන ජීවිත කොතරම් නම් තිබේද?

භාවනාව ප්‍රගුණ කිරීම

ඔබේ දෛනික ජීවිතය තුළ ඔබ සරණගිය ශාස්තෘන් වහන්සේ සිහිකිරීම අනිවාර්ය භාවනාවක් කරගන්න. වෙහෙසවන දිවිය තුළ ලැබෙන විරාමයේ ගෙවීයන කාලයෙන් ඔබට ඵලනෙලාගත හැක්කේ එවිටය. කෙලෙසුන්ගෙන් දුක්විඳින ලෝකය දෙස බලන විට රෝග පීඩාවලින්, ජරා මරණයෙන් දුක්විඳින ජීවිත දෙස බලන විට, නිතැතින්ම සිහියට නැගෙන්නේ බුදුසමිඳුන්ය.

“අනේ අපගේ බුදුසමිඳුන් කෙතරම් නම් නිකෙලෙස් සිතකින් යුතුවූ සේක්ද, රාග, ද්වේශ, මෝහ රහිත වූ සිතින් යුතුවූ උන්වහන්සේ කොයිතරම් සතුටින් වැඩ සිටින්නට ඇතිදැයි කාමයෙන් මුසපත්ව එකිනෙකා කෙරෙහි වෛරයෙන් බලන ලෝකයෙන් නිදහස් වූ උන්වහනසේගේ හදමඩල කෙතරම් සාන්තද? කෙතරම් පිවිතුරුද? ලාභ කීර්ති ප්‍රශංසා ආදියත් නින්දා අපහාස, අලාභ අපකීර්ති ආදියත් අභියස නොසැලී වැඩ සිටින්නට හැකිවූයේ ඒ සම්බුදු හදවත නිකෙලෙස් වූ නිසාම නොවේද? අප ඇසින් රූපයක් දකින විට ඒ රූපයෙන් අපේ හද කැළඹේ. නොමනා සිතුවිලි පහළ වෙයි. සුළඟකට හසුවූ පරඬැලාවක් මෙන් ඒ අරමුණ විසින් සිත ඩැහැගනු ලැබේ. නමුත් නෙළුම්පතක නොරැඳෙන ඒ නිකෙලෙස් දිවිය කොයිතරම් චමත්කාරද? කොයිතරම් අසිරිමත් ද?

ශීලානුසති භාවනාව

මේ අයුරින් බුදුසමිඳුන්ගේ සම්මා සම්බුදු ගුණයත්, විජ්ජාචරණ සම්පන්න ගුණයත්, සුගත ගුණයත්, ලෝකවිදූ ගුණයත්, අනුත්තර පුරිසධම්ම සාරති ගුණයත්, භගවා ගුණයත් සිහිකරන්න. ඔබ අතට ලැබෙන ලොකු නෙළුම්මල් මිටියකින් මලින් මල අතට ගෙන පෙති දිගහරිමින් මල් පුබුදුවන විට කොතරම් ලස්සනද? ජීවිතය යනු ගෙවී යන දෙයකි. භෞතික සම්පත් ගෙවී යද්දී දිරා වැටෙද්දී, බොහෝවිට එය අතීතයෙන් මැකී යයි. නමුත් ජීවිතයක් ගෙවී යද්දී සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයකි. එනම් ගෙවුණු ජීවිතයත් සමඟම තම හදවත තුළ අතීතය ඉතුරු වෙයි. මේ යතාර්ථය නොදන්නා බොහෝ දෙනෙක් ඉන්ද්‍රීය දමනයකින් තොරව පාපමිත්‍ර සේවනයේ යුක්තව හිතුවක්කාර ලෙස ජීවත් වෙති. අන්තිමේදී අතීතය සිහිපත් වන විට ඔහු ඉදිරියට තම වරද මැවී පෙනෙන්නේ තමාව යටකරගෙන යන බියකරු සෙවණැල්ලක් ලෙසිනි. මෙයින් අත්මිදෙන්නට නම් භාවනාවක් වශයෙන් තමාගේ ශීලය ගැන සිහිපත් කළයුතුය. ශීලානුසති භාවනාව යනු එයයි. මේ සියලු භාවනාවලින් සිදුවන්නේ වීරියත්, සිහිපත්, නුවණත් දියුණුවීමයි. ඒ සඳහා ඔහු බුදුසමිදුන් වදාළ ශික්ෂාපද සමාදන් වෙයි. ඒවා මනා ලෙස සුරැකීමෙන් තමා සුරකින සිල්පද ගැන නිතරම සිතමින් සතුටු වෙයි. සිල් බිඳ ගැනීමට ලැජ්ජාවෙයි. සිල් බිඳගැනීමෙන් ලැබෙන විපාකවලට බියවෙයි. මෙසේ හිරිඔතප්වලින් යුතු ඔහු මේ අයුරින්ම ශීලය සිහිකරයි.

සිල්පද රැකීම

“ගෙවී ගිය අද දවසේ මා සතුන් මැරීමෙන් වැලකුණා. මා ඉතා සිහියෙන්, නුවණින්, වීරියෙන් සිටි නිසා, මට පළමු සිල්පදය රැකගන්නට වාසනාව උදාවුණා. සැබැවින්ම මෙය මට කොතරම් ලාභයක්දැයි සිත සිතා සතුටු වෙයි.

අන් සතු කිසිම දෙයක් අද මා සොරකම් කළේ නැහැ. එසේනම් මා හට දෙවන සිල්පදයක් රැකීමේ භාග්‍ය උදාවුණා. එය සිතමින් සතුටු වෙයි.

මා අද දවස පුරාම චරිතවත් ජීවිතයක් ගත කළා. අනාචාරයේ හැසිරීම පිණිස පර ස්ත්‍රීන් කරා හෝ පර පුරුෂයන් කරා හෝ මා ගියේ නැහැ. කාමයෙන් උමතු වූ මේ ලෝකය තුළ මාහට සංසිඳුණු සිතකින් කල්ගෙවන්නට ලැබුණු නිසා තෙවන සිල්පදය රැකීමේ භාග්‍ය මට උදාවුණා. මෙය මට කෙතරම් භාග්‍යයක් දැයි සිතා සතුටු වෙයි.

මා අද දවසේ කිසිවකුට හෝ බොරු බසක් නොකී නිසා වංචාවක් රැවටීමක් නොකළ නිසා හතරවන සිල්පදය රැකීමේ භාග්‍ය මට උදාවුණා. මෙය මට කෙතරම් ලාභයක්ද?

යහළුවන් නිසාවත් සමාජ තත්ත්වය පිණිසවත් සිත් වේදනාවක් නිසාවත් සතුට වැඩිකර ගැනීමක් මා අද සිහිමුලාවට පත්වන, පවට යොමුවන, ලැජ්ජාභය ඇතිවන මත්පැන් මත්ද්‍රව්‍ය කිසිවක් මගේ ජීවිතයට එකතුකර නොගත්තෙමි. මෙවැනි සිහිනුවණක් මා තුළ පවතින්නේ ඒ නිසාම නොවේද? පස්වන සිල්පදයත් මට රැකගැනීමට ලැබුණා. මා කොයිතරම් වාසනාවන්තද?

ඒ ආකාරයෙන් තමන්ගේ සීලය ගැන සිහිකරමින් භාවනාවේ යෙදෙමින් ලබන පිවිතුරු සතුට වැනි සතුටක් කෝටි ගණනක මුදල් වැයකිරීමෙන් ද නොලැබිය හැකිය. එමෙන්ම ජීවිතයක් සාර්ථක කරගත හැක්කේ මසුරුකමින් පීඩා නොවිඳින භාග්‍යවත් කෙනෙකුටය. මසුරුකම යනු තමා සතු දෙයක් තවත් කෙනෙකු බුක්තිවිඳිනු දකින්නට ඇති අකමැත්තයි. කෙනෙකුගේ ගුණ ධර්ම පිරිහී යාමට මසුරුකම නමැති අකුසලය විසින් කරනු ලබන හානිය සුළුපටු නොවේ. එම නිසා තමා සතු දෙයින් කොටසක් අනුන්ගේ යහපත උදෙසා පරිත්‍යාග කිරීමට නම් මසුරුකම දුරුවිය යුතුය. මසුරු මලකඩ ගැලවෙන්නේ පරිත්‍යාගයෙනි. තමා තුළ ඇති ත්‍යාග ගුණය ගැන සිතමින් සතුටු වේ නම් ඒ මොහොතේ ඔහු වඩන්නේ චාගානුපස්සනා භාවනාවයි.

අනිත්‍යය

බොහෝ ජීවිත ඇදවැටෙන්නේ අවබෝධයකින් තොරව ජීවත්වීම නිසාය. අර්බුදකාරී අවස්ථාවලදී විවිධාකාර කරදරවල පැටලෙන්නේ ජීවිතාවබෝධයෙන් තොර පුද්ගලයන්ය. සිතේ ඇතිවන ආවේගයන්ට වසඟවීම නිසා තමා කරන්නේ කුමක්දැයි කියාවත් තේරුම් ගැනීමට නොහැකි අවස්ථාවක් උදාවෙයි. බොහෝ අදූරදර්ශී පියවර ගන්නේ එබඳු මනසකිනි. අන්තිමේදී ඔහු කරන්නේ ඒ ගැන සිතමින් පසුතැවීම පමණි. ඕනෑම අවදානම් මොහොතකදි කලබල නොවීමට නම් ජීවිතයේ යථාර්ථය අත්දකින භාවනාවක් කළ යුතුය. ජීවිතයක යථාර්ථය යනු අනිත්‍යයි. අනිත්‍ය වෙනස්වන ස්වභාවය ඒ නැසී වැනසී ගිය විට අඬා වැලපෙන්නේ ඒ වෙනස්වීම ගැන නොසිතූ නිසාය. වෙනස්වන ලොව තුළ කෙනෙකු මුහුණ දෙන්නේ අටලෝ දහමට පමණි. අටලෝ දහම අභියස අකම්පිතව සිටීමට නම් වෙනස්වන ලොව හඳුනාගත යුතුය. ඔබ තුළ ඒ ශක්තිය ඇතිවන්නේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අවබෝධ කරගැනීමෙනි. අනිත්‍ය භාවනාවේ ජීවිතය වහා සංසිඳෙයි. දුක් තැවුන් තුනීවෙයි. උපේක්ෂා වැටෙයි. ඉවසීම ඇතිවෙයි. අනිත්‍ය භාවනාව වැඩිය යුත්තේ මේ ආකාරයෙනි.

පළමුව තමා දෙසට සිහිය යොමුකරගන්න. ඉන්පසු තමන්ගේ ඇස් කන් ආදී ඉඳුරන් වෙත වෙන වෙනම සිහිය යොමුකරමින් මෙසේ සිතන්න. “මේ ඇස අනිත්‍යයි. අනිත්‍යයි. අනිත්‍යයි. මේ ඇස වෙනස් වෙනවා. වෙනස් වෙනවා. මේ ඇස මම නොවෙයි. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි. ඇසට පෙනෙන රූප අනිත්‍යයි. අනිත්‍යයි. රූප වෙනස් වෙනවා. රූප වෙනස් වෙනවා. මගේ නොවෙයි. මගේ ආත්මය නොවෙයි.”

විදර්ශනා භාවනාව

මේ ආකාරයෙන් ඇස ගැන, රූප ගැන, කන හා ශබ්ද ගැන, නාසය හා ගඳ සුවඳ ගැන, දිව හා රස ගැන, කය හා පහස ගැන, සිත හා සිතෙහි ඇතිවන අරමුණු ගැන අනිත්‍ය වශයෙන් නුවණින්ම විමසිය යුතුය. එවිට ඔහු වඩන්නේ විදර්ශනා භාවනාවයි. විදර්ශනා භාවනාව ආරම්භයේ කෙරෙන ඉතා සරල වූත් මූලික වූත් දෙයක් වන මෙය හොඳින් ප්‍රගුණ කළ කෙනෙකුට පටිච්චසමුප්පාදය, පංචඋපාදානස්කන්ධය ආදී ගැඹුරු දේ ගැනත් භාවනා කිරීමේ හැකියාව ඇතිකරගත හැකිය. මේ භාවනාව තුළින් දියුණුවන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව තුළින් ඔබට මුණගැසෙන ගැටලු විසඳා ගැනීමටත් සංසුන් ජීවිතයක් පුරුදුකර ගැනීමටත්, ඕනෑම අර්බූදයක් අභියස අභිමානවත්ව සිටීමටත් අවශ්‍ය වූ පෞරුෂයක් ගොඩනැගේ.

ධර්ම දේශනාව බලංගොඩ කස්සප හිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.