ලොව ඇති හොඳම ඔසුව ධර්මයයි

එන්න, ධර්මය දකින්න
මැයි 29, 2019

 

බුදු දහම සදාතනිකය. අකාලිකය. ලොකු කුඩා, ගිහි පැවිදි, දුප්පත් පොහොසත්, උගත් නූගත් භේදයක් නැත. සර්ව සාධාරණය. සර්ව කාලීනය. එදා මෙදා තුර මිනිස් සිත් සතන් සැනසීම උදෙසා, බුදු බණ සැලසූ සෙත අපමණය.

පින්වත්නි, මිනිසත් බවක් ලැබීම මේ ලෝකයේ ඉතාමත් කලාතුරකින් දුර්ලභව සිදුවන සිදුවීමක්. බුදුරජාණන්වහන්සේ වදාළ පරිදි කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ දෙයක්. කෙනෙක් මිනිස් ලෝකයේ කලාතුරකින් ඉපදෙනවා නම් වැඩි වශයෙන් උපදින තවත් ලෝක තිබිය යුතුයි. ඒ ලෝක වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, නිරය සහ අපාය කියන ලෝක සතරයි.

සතර අපාය

මේ සතර අපාය කරා තමයි කෙනෙක් නිරන්තරයෙන්ම උපතක් සොයා යන්නේ. යම් පුද්ගලයෙක් මේ ලෝකවලින් එකක හෝ ඉපදුණොත් ඔහු ආත්මභාව බොහෝ ගණනක් ඒ ලෝකවලම ඉපදෙන බවත් බුද්ධ දේශනයේ සඳහන් වේ.

මිනිසත්භවය දුර්ලභයි

ඒ අතර අපි කලාතුරකින් දිව්‍ය ලෝක වගේම මේ මිනිස් ලෝකය ආදියෙන් උපත ලබනවා. එහෙම උපත ලබලා කාමයට බැඳිලා ඒ ලෝකවල තෘෂ්ණාවෙන්, වෛරයෙන්, තරහ සිතින් ජීවත් වී නැවතත් සතර අපායේ ඉපදීමක් කරා යනු ලබනවා. මේ අයුරින් සංසාරේ ඉපිද ඉපිද යන අතරේ මිනිසත් බවක් ලැබීම ඉතාමත් කලාතුරකින් ලැබෙන අවස්ථාවක්.

පින්වතුනි කලාතුරකින් ලැබුණ මේ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයොජනය ගැනීමට හැකියාව තිබෙද්දී බොහෝ දෙනෙක් මේ ජීවිතයෙන් ප්‍රයෝජනය නොගන්නේ එහි වටිනාකම නොදන්නා නිසයි.

කෙනෙක් දාන, සීල, භාවනාවල නොයෙදී දස අකුසල් කරලා පන්සිල් පද කඩකරලා මේ කය අතහැරලා මිය යන්නේ හිස් අතින්. ඔහු / ඇය මේ ලොව හරිහම්බ කළ සියල්ලම මෙහිම තබා හිස් අතින්ම යනවා. දේපොළ, දරුවන්, ගෙවල් දොරවල්, මිල මුදල් මේ කිසිවක් රැගෙන යන්නෙ නැහැ.

ලැබුණ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න

මේ ලැබුණ ජිවිතයෙන් යම් ප්‍රයෝජනයක් ගතයුතුයි. එලෙස සිතා දරුවන් පාසල් යවනවා. විභාග පාස් කරවනවා. උසස් අධ්‍යාපනයට යොමු කරනවා. ඒ අතර ඔවුන් නොයෙක් නොයෙක් හැකියාවන් දක්ෂතා අතරින් ජයග්‍රහණ උදාකර ගන්නවා. මේ සියල්ලෙන් ප්‍රයෝජන ලැබීමට හිතාගෙන රැකියාවක් කරනවා. විවාහ වෙනවා. ඊළඟට දරුවො හදනවා. යාන වාහන ගන්නවා. ඉන්පසුව ඇස, කන, නාසය, දිව, කය, මනස පිනවන්න නොයෙක් නොයෙක් දේ සිද්ධ කරනවා. පින්වත් ඔබ මේ සියල්ලම සිදුකරන්නේ ලැබුණ ජීවිතයෙන් උපරිම ඵල නෙලාගන්නයි. සැබෑවටම ඔබ එලෙස සිතනවා. නමුත් මේ ආකාරයෙන් ගෙවන ජීවිතය හරිම නිස්සාරයි. ලෞකික ජීවිතය ගෙවලා හිස් අතින් මිය යාමක් පමණයි සිදුවන්නේ. ඉන්පසුව අමනුෂ්‍ය ලෝකවල උපත ලබන, උපත ලැබූ අවස්ථාත් අපට අහන්න, දකින්න ලැබුණ අවස්ථා අනන්තයි. එලෙස සිදුවන්නේ මේ ලැබුණු මිනිසත් භාවයෙන් නිසි ප්‍රයෝජන නොලත් බැවිනි.

 

පරලොව ජීවිතය ගැන හිතන්න

අප ලොව්තුරා අමා මෑණී බුදුපියාණන් වහන්සේ

පෙන්වා දෙනු ලැබුවා මේ දුර්ලභව ලැබුණ මිනිසත් භවයෙන් ප්‍රයෝජන ගත හැකි බව. එනම් ලෞකික සැප සම්පත් ගැන පමණක් නොසිතා කටයුතු කළ යුතු බවයි. පුද්ගලයෙක් මේ ජීවිතයත් පරලොව ජීවිතයත් සුවපත් කර ගැනීමේ වැඩ පිළිවෙළක යෙදිය යුතුයි. ඒ වගේම සංසාර දුකින් නිදහස් වීමට අධිෂ්ඨාන කරගෙන කටයුතු කළ යුතුය. එවන් වූ පුද්ගලයාට මේ මිනිස් ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගත හැකියි.

මේ මුළු ලෝකයෙහිම ලැබූ මිනිසත් භාවයෙන් විපුල ප්‍රයෝජනය ගත් එක් මනුස්ස රත්නයකි. ඒ තමයි අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි නොසෙල්වෙන මනසකින් සිත පහදා ගැනීම තමයි අප මුලින්ම කළ යුතු වන්නේ. එය මෙලොව පරලොව යහපත පිණිස උපකාරි වෙනවා.

දෙවැනුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ගැන සිත පහදවා ගත යුතුයි.

තුන්වැනි කාරණය ආර්යමහා සංඝරත්නය කෙරෙහි සිත පහදවා ගැනීමයි. ලැබුණු මිනිස් ජීවිතය තුළින් නිසි ප්‍රයෝජනය ගැනීම උදෙසා පින්වත් ඔබ මේ පිළිවෙත් අනුගමනය කළ යුතුයි.

ධර්මය දකින්න

උතුම් වූ ධර්මය අවබෝධ කරනොගෙන අවුරුදු සියයක් ජීවත්වන තැනැත්තාට වඩා ඒ ධර්මය අවබෝධ කරගෙන එක් දිනක් ජීවත්වීම ඉතා අගනේය. අප ශාන්තිනායක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි. මනාකොට දේශනා කරලයි තියෙන්නේ. තම තමන්ම ඇසිය යුතු, දැක ගතයුතු ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයකි. සන්දිට්ඨිකො කියන්නෙ එයයි. ඒ වගේම අකාලිකයි. ධර්මය දැන ගැනීමෙන් කල් නොයවාම ආනිශංස ලබා ගත හැකියි. කාලයක් බලාගෙන සිටීම අවශ්‍ය නොවේ. ඒහිපස්සික ගුණය ධර්මයේ ඇති තවත් වැදගත් ලක්ෂණයකි. හාර අවුස්සා ප්‍රත්‍යක්ෂ කරගත හැකි බව ඉන් කියැවේ. ඕපනයිකෝ යනු තම තමන් විසින්ම අවබොධ කරගත යුතු දෙයක් බවයි. පච්චන්තං වේදිතබ්බෝ විඤ්ඤුහි යනු ප්‍රඥාවන්තයන් විසින් දැනගත යුතුමය යන්නයි. ඒ ගුණ සමුදාය නිසාම ධම්මොසධ සමං නත්ථි යනුවෙන් ලොව ඇති හොඳම ඔසුව ධර්මය බව දේශනාවල සඳහන් වේ. පින්වතුනි ඒ තරමටම ශ්‍රේෂ්ඨ බවක්, වටිනාකමක්, අගයක් ඇති දහම ඔබ වැළඳගෙන ඇත්තේ කොයි ආකාරයකින්ද යනුවෙන් සිතා බලන්න.

පින් රැස් කළ යුතු අන්දම

පින්වතුනි ඔබ ඔබේ ජීවිතය යහපත්ව පවත්වාගෙන යාමට නම් පින් කිරීම අවශ්‍යයි. පින්කරන්නෙ කොහොමද? පින්කරන්න පෙළඹෙන්නෙ කුමක් නිසාද? ශ්‍රද්ධාව නිසා නේද පින්වතුනි.

බුදු දහමේ ඉගැන්වෙන්නෙ භක්තියයි. දෙක එකට අරගෙන බැලුවොත් මේ දෙකේ වෙනස අපට හොඳින් දැනගන්න පුළුවන්. සියලු දේවවාදී ආගම්වල ඉන්නෙ ශ්‍රද්ධාවන්තයෝ නොවෙයි. බැතිමතුන්. කතෝලික බැතිමතුන්, හින්දු බැතිමතුන්, මුස්ලිම් බැතිමතුන් ආදී වශයෙන් ඒ අය භක්තිවන්තයි.

එහෙත් බෞද්ධ බැතිමතුන් කියලා අපි කියන්නෙ නැහැ. බොදු සැදැහැවතුන් නැතිනම් ශ්‍රද්ධාවන්තයන් කියලයි අපි කියන්නෙ. බුදු දහමේ ඉන්නෙ බැතිමතුන් නෙමෙයි. සැදැහැවතුන්. ඇයි අපි එලෙස කියන්නෙ? සැදැහැවතුන් කියන වචනය එන්නෙ ‘සද්ධාති’ කියන පාලි වචනයෙන්. සද්ධාති කියන වචනයේ තේරුම තමයි ‘පිළිගත්’ කියන එක. අපි යමක් පිළිගන්නවා නම් ඊට සාධක අවශ්‍යයි. භක්තිය කියන්නෙ සාධක මත පිළිගැනීම නොවෙයි. විශ්වාසය මත පිළිගැනීමයි. දෙවියන් වහන්සේ, මහා බ්‍රහ්මයා, ඊශ්වර ආදීන් පිළිබඳ විශ්වාසයයි. ඒ ඒ ආගම්වල තිබෙනුයේ ඔවුන්ගේ පිළිගැනීම විශ්වාසය මත සිදුවන්නකි. යම් දිනක එම විශ්වාස පළුදුවීද ඒ සමඟ ම භක්තිය අස්ථාවර වෙනවා. බුදු දහමේ තිබෙනුයේ භක්තිය නොවෙයි. ‘මම දකිමි’ යන අරුතයි. ‘අහං පස්සාමි’ ඒ නිසාම ‘අහං සද්ධාමි’ මම පිළිගනිමි. දැකීමෙන් පිළිගැනීම භාර ගැනීම බුදු දහමේ එන ශ්‍රද්ධාවයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ‘මගේ ධර්මය විවෘත වූ තරමට බබළන්නේය’ යනුවෙනි. හරියට මැණිකක් මෙනි. මැණිකක ලස්සන ඇත්තේ ඔප මට්ටම් කළ පසුවයි. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුවේ ‘ඒහි පස්සික, එන්න බලන්න. බලලා තේරුම් ගන්න’ කියලා.

අනුශාසනාව රාජ්‍ය මාධ්‍ය බෞද්ධ උපදේශක, ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති

පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.