භවදුක සිඳලීමට විශ්වයට සවන් දෙන්න

ජුනි 5, 2019

මේ විශ්වයේ ධර්මතාව අවබෝධ කර ගැනීම මඟින් ජීවත්වීම හරිම පහසු වේ. එසේම ඔබ තුළ පවත්නා අත්දැකීම් ශක්තියක් ලෙස දකිමින් එය නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට යොදා ගැනීමත් අගනේය.

එබැවින් විශ්වයේ ධර්මතාව හෙවත් ධර්මය දැකිය හැකි ඇස දහම් ඇසයි. ඔබ ඔබේ බුද්ධි මට්ටමින් මේ කරුණු කාරණාත් අවබෝධ කර ගන්නේ නම් දෙලොවම සැනසෙනු ඇත.

වැරදි සෙවීම

“අනුන්ගේ වරද දැකීම ලෙහෙසියි. තමන්ගේ වරද දැකීම අපහසුය. අනුන්ගේ වරද සොයන්නා ඒ වරද දහයියා මෙන් පොළ පොළා පෙන්වයි. හෙතෙම තම සිරුර සඟවන කපටි ලිහිණි වැද්දකු මෙන් තමාගේ වරද සඟවා ගනී.”

එදවස භද්දිය නුවර ජාතියා නම් වනයේදී මෙණ්ඩක සිටාණන් අරභයා බුදු රජාණන් වහන්සේ එලෙස දේශනා කළ සේක. සිටාණන් තමාගේ ජීවිතය පසෙක ලා අන් අයගේ ජීවිත පිළිබඳ සෙවීමට ඉමහත් ඇල්මක්, ඇබ්බැහිකමක් දැක්වූ අයෙකි. එහි ඇති නිසරු බව බුදුරජාණන් වහන්සේ මෙලෙසින් මැනවින් පෙන්වා දුන් සේක.

පින්වතුනි, අද සමාජයේ ද බොහෝ අය අනුන්ගේ දොස්ම සොයති. දකිති. සිනාසෙති. නිර්දය ලෙස ද විවේචනය කරති. මෙබඳු අය අප දකින්නේ කිසියම් මානසික ඌණතාවයක් ඇති අය ලෙසයි.

තමන්ගේ දොස් නොසොයා අනුන්ගේ දොස් සොයන්නා තුළ කිසියම් අඩුපාඩුවක් තිබිය යුතුය. ඒ අඩුව මකාලන්නට දරන වෑයමකි අනුන්ගේ දොස් දැකීම, අනුන්ගේ දොස් දැක විශාල වින්දනයක් සතුටක් ලබන අය ද අප සමාජයේ අනන්තවත් දක්නට ලැබේ. එහෙත් එබඳු පුද්ගලයාට මුළු සමාජයම සමච්චල් කරන බව ගරහන බව අඩුපාඩු සොයන අනුන්ගේ දොස් දකින පුද්ගලයා නොදනී.

මෙබඳු පුද්ගලයා තුළ නිරතුරුවම උත්පාදනය වන්නේ, ජනිත වන්නේ කුහුලකි. සැකයකි. වපර ඇසින් බලන මොහු සමාජ අවඥාවට පත් වන්නේ ද නිරායාසයෙනි.

අප ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දහම් දෙසුවේ අනුන් ගැන සොයනවාට වඩා තමන් ගැන සොයන ලෙසටය. අනුන් ගැන සෙවීමෙන් අධ්‍යාත්මික ගුණ ධර්ම ඇති කරගත නොහැකිය. අධ්‍යාත්මික ගුණ ධර්ම තමන් විසින්ම ඇතිකර ගත යුත්තකි.

තමන් වෙනුවෙන් අනුන්ට නිවන් දැකිය නොහැකිය.

‘අත්තාහි අත්තනෝ නාථෝ’ තමාට පිහිට තමාමය. එබැවින් අනුන් ගැන සෙවීමට වඩා තමන් ගැන සොයා යෑම තමන් ගැන සිතීම, තමන්ටත් එකසේ වැඩදායකය

පින්වතුනි, පිරිපුන් බහුශ්‍රැත අය අනුන්ගේ වැරැදි, දොස් කෙසේවත් නොසොයති. නොපිරිපුන් අසම්පූර්ණ හිස් අය සමාජ යථාර්ථය පසක් කොට නොගත් අයයි. අන් අයගේ කුදු මහත් දොස් සෙවීමට නැඹුරු වන්නේ, අදොස් සෙවීමට නැඹුරු වන්නේ පරිපූර්ණ නොවූ අයයි.හැම අතින්ම පිරිපුන් අය සෙවීම කළුනික සෙවීමටත් වඩා ඉතා දුෂ්කරකාරියකි. අනුන්ගේ එක දොසක් දැක ගර්හාවට ලක් කරන පුද්ගලයා තුළ දොස් රාශියක් සමුදායක් අති බව ඒ පුද්ගලයා නොදකිතත් බොහෝ අයට එය පෙනේ. මේ තත්ත්වය ස්වරූපය අවබෝධ කර ගැනීම නුවණැත්තාගේ කාර්යය විය යුතුය.

අනුන්ගේ දොස් දැක විවේචනය කරමින් සංසාර ගමන දිගු කර ගන්නවාද, එසේ නැතහොත් තමන් ගැනම සිතා තමන්ගේ දුර්වලතා අකා මකා ඒවා දුරලා සසර කෙටිකර ගන්නවාද යන්න ගැන කල්පනාවට විමංසනයට ලක්කිරීම සුදුසුය.

වැරැද්ද නිවැරැද්ද දකින්න

පින්වත් දරුවනි, අනුන්ගේ වැරැදි සෙවීම වගේම රාගයට ඇලිලා කටයුතු කරන්නාගේ ජීවිතය ද දැලක පැටළුණ මකුළුවකු වැනිය. ජීවිතයේ හරි වැරැද්ද දකින්න නොහැකියි. එහෙත් නුවණැති අය කාමයන් කෙරේ බලාපොරොත්තු නැතිව, කෙලෙස් බැමි සිඳ බිඳ දාලා දුකින් මිදී නිවන වෙත යයි. මෙය බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ අග බිසව ඛේමාව අරභයා පැහැදිලිකර දේශනා කළ වූවකි.

බුදුරජාණන් වහන්සේට පළමු ආරාම පූජාව කළ බිම්බිසාර මහ රජතුමාගේ අග බිසව ඛේමා ඉතා රූප සම්පන්නයි.

ඒ වගේම රූ මදයෙන් මත්වුණ කාන්තාවක්. රජතුමා නිතර බුදුරදුන් හමුවුවත් බිසව වේළුවනාරාමය තිබෙන ඉසව්වටවත් නොගිය. ඒ බුදුරදුන් රූපයේ දොස් පෙන්වනවා යැයි ඇතිකරගත් වැරැදි මතයක් හේතුවෙනි.

මේ ගැන දුකින් පසුවූ රජතුමා වේළුවනයේ සුන්දරත්වය කවිකාරයෙක් ලවා ගයනාකර ඛේමා ඒ වෙත යැවිමට උත්සාහයක නියැළුණි. ඒවා ඇසූ ඛේමා වේළුවනයේ සිරි නරඹන්නට විය.

ශාන්ත සුන්දර නිසංසල පරිසරයක වැඩ සිටි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඛේමා බිසව වේළුවනයට ආ බව දැන ඉතා රූමත් තරුණියන් ක්‍රම ක්‍රමයෙන් වියැකී යන අන්දම දකින්නට සැලසීය.

දුකෙන් මිදීමේ මඟ

යමෙක් රාගයෙන් රත් වූවේ නම් තණ්හාව නම් වූ මහ සැඩ පහරට හසුවෙනවා. මකුළුවා තමාගේ දැලේම එතුණා වගේ. මේ පිළිබඳ ආදිනව දන්නා පඬිවරු කම් සැපයට ආශා කරන්නේ නැත.

කාම බැම්ම රාග බැම්ම සදහටම ලිහලා දුකින් මිදෙනවා කරුණු පැහැදිලි වූ ඛේමාවට තමා මෙතෙක් කල් මවා ගෙන තිබුණු හිස් ලෝකය ගැන තේරුම් ගියා

රාග ගින්න විනාශකාරියි

පින්වතුනි අප මේ සසර ඇදලා බැඳලා දාන්නේ රාගය.

බුදුරජාණන් වහන්සේ වදාළා ඇත්තේ ‘නත්ථි රාග සමො අග්නි’ යනුවෙනි. එනම් රාගය හා සමාන ගින්නක් නැතැයි ලෙසිනි. යමක් දෙස රාගී වූ ඇසකින් බලනවාට වඩා රත් වූ යහුලකින් ඇන ගැනීම මැනැවි යැයි උන්වහන්සේ තවදුරටත් වදාළා තිබේ.

රත්වූ යහුල ඇසේ ඇන ගැනීමෙන් පීඩා විඳින්නේ මේ භවයේ පමණයි. නමුත් රාග නෙතින් රූපයක් දෙස බැලීම සංසාරය පුරාවට විනාශය ගෙන දෙනවා. හරියට පළගැටියා පහන් දැල්ල දැකලා ඊට පැන විනාශ වෙනවා වගේ.

පින්වතුනි මෙලොව ජීවිතයේ දී ඉතාමත් පහසුවෙන් නිවැරැදි දිවි පෙවෙතක් ගත කිරීමට නම් කාම වස්තූන් පිළිබඳ අනිසි ලෙස පවත්නා ආසාව නැතිකර ගත යුතුයි.

එහි ඇති ආදීනව කෙරෙහි නුවණින් මෙනෙහි කිරීමෙන් රාගයෙන් දුරු වීමට පුළුවන්.

නැතිනම් රාග ගින්නට හසුවේවි. රාගයෙන් රත් වූ සිතට යමක සත්‍ය අසත්‍යතාවය නොවැටහෙයි. ප්‍රිය අරමුණු දකින්නට, අසන්නට, විඳින්නට, පහස ලබන්නට, සිතන්නට කැමැති වෙයි. එහෙත් එය නොලද විට තැවේ. ජීවිතය පවා විනාශකර ගනී.

දුක නැතිවීම නිවනයි

අද ලෝකය හොඳින් හෝ නරකින් තම අරමුණු ඉටුකර ගන්නට උත්සහ දරන්නකි. මේ නිසාම අසහනකාරි බව වැඩියි. එබැවින් කායිකවත්, මානසිකවත් රෝගී වන ප්‍රවනතාව අති විශාලයි.

උතුම් මිනිසත් බවේ අගය වටහාගත් තෙරුවන් අවබෝධය වූවන් සංසාර දුකින් අත් මිදේ. පින්වත් ඔබ සිතට ගත යුත්තේ හිස් වූ අසාර දෙයින් ඈත් වී තෘෂ්ණාවෙන් තොර ජීවිතයක් ගත කිරීමටයි.

තෘෂ්ණාව නැති කළ පසු උපාදානය නැති වී භව දුක නැති වේ.

භවය නැති වීමෙන් ජාති, ජරා, මරණ, සෝක ඇති නැති වේ.

මේ දුක නැතිවීම පිළිබඳ සත්‍යයයි. දුක නැති වීම නිවනයි. ඒ උතුම් නිවන සාක්ෂාත් කර ගන්නට මේ උපන් බවය ආශිර්වාදයක් කර ගන්නට පින්වත් ඔබ නිරතුරුවම උත්සහ ගත යුතුයි.

අනුශාසනාව රාජ්‍ය මාධ්‍ය බෞද්ධ උපදේශක, ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති

පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.