ආධ්‍යාත්මයෙන් කරන ප්‍රාර්ථනය යහපත්ය

ජුනි 12, 2019

මිනිසත් භවය ලැබීම ඉතාම දුෂ්කරය. එය ලබා දිගුකලක් ජීවත්වීම එයටත් වඩා අති දුෂ්කරය. එම නිසා එක් මිනිසත් ආත්මයක ආයු ප්‍රමාණය වින්දනය කොට නිදුක් නිරෝගීව ජීවත්වීමටත්, සමාජමය වශයෙන් උසස් තලයක සිටීමටත්, භවාන්තරයේදී දීර්ඝායුෂව ඉපදීමටත්, ලැබුවා වූ මේ ආත්මයේදී ප්‍රයෝජන ගැනීමට පින්වත් ඔබ අදිටන් කරගත යුතුය.

 

අභිවාදන සීලිස්ස
නිච්චං වද්ධා පචායනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති
ආයු වණ්ණෝ සුඛං බලං

 

පින්වත්නි, ඔබ මේ ගාථා රත්නය කොතෙකුත් නම් අසා තිබෙනවාද? එහෙත් මෙහි සැබෑ අරුත ගැන වැටහීමක් නොවන්නට ඇති. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීඝායු කුමාරයා අරභයා මේ ගාථා ධර්මය දේශනා කළ සේක.

මේ කුමාරයාගේ පියා ප්‍රථමයෙන් බාහිර ශාසනයක පැවිදිව තවත් යහළු බමුණු තවුසකු සමඟ හතළිස් අට වසරක් තවුස්දම් පුරා තම කුලපරපුර ආරක්ෂා කර ගැනීමේ ආශාවෙන් උපැවිදි වූ බමුණෙකි. කලකට පසුව විවාහ වී බිරිය සමඟ ගිහිසැප විඳිමින් සිටියදී පුත්‍රයකුද ලැබිණි.

දිනක් තම යහළු බමුණු තවුසාණන් බැහැ දැක වැඳ පුදා ආශීිර්වාද ලැබීමේ අදහසින් පුතු ද රැගෙන තවුස් අසපුවට ගියහ. පළමුව පුතා බිරියට දී බමුණා වඳින විට තවුසාණෝ ‘දීඝායු හොථ’ දිගාසිරි ලැබේවායි පැතූහ.

යළි බිරිය වඳින විට ද එසේම දිගාසිරි පැතූහ. එහෙත් පුතා වන්දවන විට නිශ්ශබ්ද වූහ.

‘ස්වාමීනි’ ඔබතුමා මාත් බිරියත් වඳිනවිට ආශීිර්වාද කළ නමුත් පුතා වන්දවන විට කුමක් නිසා නිශ්ශබ්ද වූයේද? පුතාට අන්තරායක්වත්දැයි බමුණා තවුසාගෙන් ඇසීය.

යහළු බමුණ ඔබගේ පුතාට ජීවත්වීමේ වාසනාව ඇත්තේ තව දින හතකි. එබැවින් මා නිශ්ශබ්ද විය. එසේ නම්, අපේ මේ දරුවා බේරා ගැනීමට උපායක් නැතිදැයි ඉතා කරුණාවෙන් තවුසා ප්‍රශ්න කළේය.

ගෞතමයන් වහන්සේ හමුවට යන ලෙස හෙතෙම උපදෙස් ලබා දුනි.

සැණෙකින් තවුසාණන්ගෙන් සමුගත් මෙම අඹුසැමි යුවළ තම ආදර පුතා රැගෙන බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ. එහිදීද පෙර දේම සිදුවිය.

අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ බමුණා ඔබගේ නිවෙස පිරිසුදු කරන්න. මණ්ඩපයක් තනා ආසන අටක් හෝ දාසයක් හෝ තබා යළි පැමිණ මගේ ශ්‍රාවකයන්ට ආරාධනා කොට නිවෙසට වැඩමවා දරුවා ළඟ තබා හත්දිනක් පිරිත් දේශනා කරවන ලෙසිනි.

බමුණා බුදුරජුන්ගේ උපදෙස් පරිදි සියල්ල මනාකොට සිදු කළහ. දරුවා බිල්ලට ගැනීමේ අදහසින් පැමිණි යක්ෂයා ආපසු හැරී ගියේය.

හත් දිනකින් මරණයට පත්වීමට සිටි දරුවා බුදුගුණමහිමයෙන් එක් සිය විසි වසරකට දිගාසිරි ලැබ ආයුවඩ්ඪක දීඝායු කුමාරයා යයි ප්‍රකට විය.

පින්වතුනි, මෙම කතා පුවතින් පෙනී යන්නේ ගුණ නුවණින් වැඩි, වයසින් වැඩි ශ්‍රමණ, බ්‍රාහ්මණ, ගුරුවරු, මාපිය, සහෝදර සහෝදරියන් ඉදිරියේ පාපිස්නක් සේ සුවචව නිහතමානීව, වඳින පුදන, ගරුකරන අයට ආයුෂය, වර්ණය, සැපය, බලය වර්ධනය වී දින දින පිරෙන පුන්සඳක් සේ බාධක දුරු වී දියුණුව ඇති වන බවය.

තමා අනුනට වැන්දොත් පිදුවොත් එහි ප්‍රතිවිපාක වශයෙන් අනුන්ගෙන් තමාට ද වැඳුම් පිදුම් ලැබීම නියතය. එසේම මෙලොව දිගුකල් නිදුක් නිරෝගීව ජීවත්වීමේ වාසනා මහිමය උදාවේ.

කෙනකුගේ අවංක ආශිර්වාදය තරම් උසස් දෙයක් මිහිමත තවත් නොමැත. මේ නිසාම සසර ඉතා දිගුකලක් පාරමී පුරා ලොව්තුරා බුදුබව පතන බෝසත්වරුන් තමන්ගේ අදිටන පටන්ගන්නේ තවත් ලොව්තුරා බුදුකෙනකුගේ නියත ප්‍රාර්ථනාවෙන් බව අප අසා තිබේ. එහෙත් බුදුවරුන් ලොව සෑම කාලයේම නැති නිසා ලෞකික වශයෙන් හෝ ලෝකෝත්තර වශයෙන් හෝ තම තමන්ට යම් අවශ්‍යතාවයක් වේ නම් තම උත්සාහය මෙන්ම ගුණනුවණින් පිරිපුන් අවංක අයගේ ආශිර්වාදය ද අවශ්‍යම වේ.

පින්වතුනි දූ දරුවන්ට මවුපියන්ගෙන්, ශිෂ්‍යයන්ට ගුරුවරුන්ගෙන්, සේවකයන්ට ස්වාමියාගෙන් ලැබෙන ප්‍රාර්ථනය කාර්ය සඵලත්වයට අවශ්‍යම වේ. පැතුම් දෙන අය මෙන්ම ලබන අය ද ආධ්‍යාත්මයෙන් සම්බන්ධ විය යුතුමය. එසේ නොවේනම් ප්‍රාර්ථනා වචනයේ අක්ෂර සමඟ පිටවන වායුව අවට පරිසරයට එක්වන අපවිත්‍ර එමෙන්ම හිස් වාතාශ්‍රයක්ම පමණක් වේ.

එසේම ප්‍රාණඝාතය නොකොට, කිසිවකුටවත් වෛර නොකොට මානයෙන් තොරව, ක්‍රෝධ නොකර, හිංසා පීඩාවලින් තොරව දන්දීමාදී පින්කම් සිදුකර ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් ක්‍රියා කිරීමේ අංග සම්පූර්ණ ජීවිතයකට හිමිකම් කිව හැකියි.

මෙලොව පමණක් නොවෙයි පරලොව ජීවිතය හැඩගස්වා ගැනීමට වගේම යහපත් පරලොවක් උදෙසා යහපත් කර්ම හේතු වෙනවා. යහපත් සිතිවිලි උපකාරි වෙනවා. ඒ නිසා අයහපත් කර්ම වෙනස් කිරීමට යහපත් සිතිවිලි වගේම යහපත් ක්‍රියා හේතු වෙනවා.

පින්වතුනි බලන්න, අද මුළු ලෝකයම වගේ අමුතුම මගකට වැටිලා. මිනිසා, මිනිසා ගැන සිතන්නේ නැත. ආත්මාර්ථය මුදුන්පත් කරගෙන හිංසාව, පීඩාව, රුදු බව ලෝකය පුරා පැතිරිලා මිනිස් හදවත ඇදවැටිලා. මේ නිසා දුර්වල මනුෂ්‍ය සංහතියක් තමයි බිහිවෙලා තිබෙනුයේ.

මේ බව බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත් නිසයි මිනිස් ජීවිතයේ වටිනාකම පැහැදිලි කළේ. මිනිස් ආත්මභාවය යහපතට සිත මෙහෙයවීමේ ඉතා හොඳම තෝතැන්න බවත් අප එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලැබිය යුතු බවත් බුද්ධ දේශනාවල සඳහන්. එබැවින් පින්වතුනි, ඔබ ඔබේ මනස සෘජු කරගෙන නිවැරැදි බවට යොමු කරගෙන, මෛත්‍රී ආදී භාවනා වැඩීමෙන් යහපතක්ම උදාකර ගත හැකියි.

ජීවිතයේ යථා ස්වභාවය, සත්‍යය අවබෝධකර නිවන සාක්ෂාත් කරගත හැකියි. යහපත වෙතම සිත යොමුකර ගැනීමෙන් ඔබට ඒ ශක්තිය ලැබේ.

 

අනුශාසනාව රාජ්‍ය මාධ්‍ය බෞද්ධ උපදේශක, ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති

පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ