මවුපියන් සහ දරුවන් අතර මෙතරම් ගැටුම් ඇයි?

ජුනි 19, 2019

”සෙත්මිණ” වැඩිහිටි නිවාසයට ගොඩවුණේ එහි වෙසෙන පියවරුන් වෙනුවෙන් පින්කමක් කිරීමේ අදහසිනි. ඒ සඳහා තවත් කාලය ඉතිරි වී තිබු බැවින් වටපිට බැලූ මගේ නෙතු නතර වූයේ පියකු අසලය.

සේපාලිකා ගස යට හිඳගෙන ඈත බලා සිටින ඒ පියා වෙත මම සෙමින් ළං වුණෙමි. භීතිය, දුක, සංතාපය, ශෝකය කැටි වූ ඒ දෑස මා ළඟට එනතුරු ම නොදුටුවාය.

ඔහු සිටි කුඩා බංකුවට මම බර වූයෙමි. මා දෙස බැලූ ඔහුගේ දෑසේ පිරී තිබුණු කඳුළු මහ රළ පහරක් වෙරළට වේගයෙන් ගසා එන්නා සේ කම්මුල දිගේ රූරා වැටුණි. ඒ කඳුළු හලන්නට කිසිදු බාධාවක් නැත. ඉතාමත් වේගයෙන් ගලන කඳුළු දෙස මම බලා සිටියෙමි.

”ඇයි මේ?” මම හඬ අවදි කළෙමි.

”මට මගේ දරුවෝ මතක් වුණා”

ඒ පියාගේ සිතේ ගුලි වී කැටි වී හිර වී තිබුණ දුක, කඳුළු අතරින් මුදාහළ බවක් මට සිතුණි.

”දරුවෝ. . . . “ මවුපියන්ගේ ලේ, ඇට, මස්, නහර කිඳා බැසගෙන තිබෙන එක් සුන්දර වූ බලාපොරොත්තුවකි. ඉතාමත් දුකසේ ඇතිදැඩි කරන දරුවෝ ටිකෙන් ටික උස්මහත් වනවිට මවුපියන්ව මදිපුංචි වන්නේ ඇයි? ඔවුන්ව නුරුස්සන්නේ ඇයි? ඒ හඬට කන් නො දෙන්නේ ඇයි?

ඉතා වේගයෙන් පරිහානියට යන අප සමාජයේ ඇත්තේ දරුවන් සහ මවුපියන් අතර යම් අරගලයකි.

උස්මහත් වන දරුවන් ඔවුන් ගැන සොයනවාට කැමැති නැත. නමුත් දරුවන් සිතන්නේ අප දැන් රැකියාවක් කරන සමාජයේ අත්දැකීමක් ඇති පිරිසක් බව ය. අම්මා, තාත්තා අවවාදයක් කළොත් ඔවුන් කිපේ.

දොර වේගයෙන් වසයි. රවා බලයි. එකටෙක කියයි. “මම දැන් පොඩි එකෙක් නොවේ. මගේ පස්සෙන් එන්න එපා. මම මගේ වැඩ ගැන බලා ගන්නම්” යැයි කියයි. සමාජය පුරා උඩු දුවමින් යන පවුලක් තුළ ඇති තව ගැටුමක් එතැනින් ඇරඹෙයි.

පුතා විවාහ කරගෙන නිවෙසට එන ලේළිය සම්ප්‍රදායික සිරිත් විරිත් සුරකින්නට මැළිබවක් දක්වයි.

බොහෝ විලාසිතාවන්ට කැමැති ඇය, මිිතුරන් ද බොහෝ සේ ඇසුරු කරයි. පි‍්‍රයසාද ඇයගේ ජීවිතයේ බහුලය. තමන් සමාජයේ යම් ස්ථාවරයක සිටින බව සිතයි. ඇයගේ සිතිවිලි මහලු මවුපියන්ට නොතේරේ.

ඔවුන් සොයනුයේ ඉතාමත් නිරහංකාර, පි‍්‍රයමනාව, සියුමැළි ගතිඇති තම ඥාතීන්ට ගරු බුහුමන් කරන දියණියකි. නමුත් තරුණ ලේළියට ඒ කටයුතු හිසරදයක් ය. පවුල තුළ එතැනින් ද ගැටුම් හටගනියි.

තව විටෙක රූප පෙට්ටියේ පෝලිමට යන නාට්‍ය පෙළ අපගේ කාලය මෙන්ම පවුලේ සමගිය ද සොරාගෙන ඇත. බත්පත බෙදා ගන්නා තාත්තා ප්‍රවෘත්ති බැලීමට ද, කුඩා දරුවා කාටුන් බැලීමට ද, වැඩිමහල් දරුවා ක්‍රිකට් හෝ නාට්‍ය බැලීමට ද, අම්මා තමන්ට රුචි දෙයක් නැරැඹීමට සැරසී සිටිති.

එනිසා ම අනා ගන්නා බත්පිඬ කටට යනවා ඔවුන් නො දනී. නිවෙසට කෙනෙක් පැමිණ කතා කළ ද ඔවුන් නො දනී.

තමන් රුචි දෙයට ඇබ්බැහිව සිටින ඔවුන් නිදිමත වූ විට එතැනින් නික්ම ගොස් නිදා ගැනීමට හුරු වී සිටිති. ඒ නිවෙසේ දරුවන් මාපියන් අතර සුහදව ගනුදෙනුවක් වන්නේ නැත.

තම තමාගේ තොරතුරු කීමක් හෝ විමසීමක් නැත. දරුවන් ඔවුන්ගේ ලෝකවල තනි වේ.

මවුපියන් තමන්ගේ ලෝකයේ තනි වේ. එතැනින් ද පවුලේ සමඟිය බිඳ වැටී අර්බුද හටගෙන ඇත.

අද අපේ සමාජයේ බොහෝ වැඩිහිටියන්ගේ තවත් මැසිවිල්ලක් තිබේ. ඒ අපට තිබුණ කුඩා අවදිය අපේ දරුවන්ට නැතැයි කියයි. තමන්ගේ කුඩා කාලයේ දී වෙල් ඉපනැල්ලේ දුව පැනපු ආකාරය, ගඩාගෙඩි කඩාගෙන කෑ ආකාරය, ඔංචිලි පැද්ද ආකාරය, මිදුල පුරා දුව පැන නැටූ ආකාරය, ඔවුන්ගේ සිත්වල සිහිනයක් මෙන් මතකයක් ඇත.

තම දරුවාට නොමැති, ඒ විවේකී සුවය පිළිබඳව ඔවුන්ට කණස්සල්ලක් ඇත. නමුත් ජංගම දුරකථනය මෙන්ම නොයෙක් තාක්ෂණ උපකරණවලට සිර වී ඇති දරුවා ගැන ලොකු වැටහීමක් ද මාපින්යන්ට නැත.

තරගකාරි සමාජයේ නොදීම බැරි දෙයක් ලෙස සිතා දුරකථනය දරුවාගේ අතේ තබන්නේ ද මවුපියෝ ය. ඉන්පසු මැසිවිලි නගන්නේ ද ඔවුන්මය.

තාක්ෂණය මේ වනවිට අප වටකොට හමාරය. එයින් බේරී පලායාමක් සිතනු මෝඩකමකි. නමුත් තාක්ෂණය නිසිලෙස පරිහරණය කිරීමට දරුවා හුරු කිරීම මාපියන් සතු වගකීමකි. මෙවලම් භාවිතය නිසා දරුවා නොමඟ ගියා යැයි කීමට මාපියන්ට අවසරයක් නැත.

ඒ දරුවාට නිසි රැකවරණය ඔවුන් නොදුන් නිසා ය. සමහර පවුල් අර්බුද මේ හේතුව නිසා ද ඇතිවේ.

මේ සියලු ගැටුම්වලට මවුපියන් මෙන්ම දරුවෝ ද වගකිව යුත්තෝ වෙති.

දරුවන් කුඩා කාලයේ දී තරගයට දුවන රැල්ලට තල්ලු කරන වැඩිහිටියෝ අධ්‍යාපනයක් පමණක් ඔවුන්ට දීමට සැරසී සිටිති. එහා ගෙදර පොඩිඑකාට වඩා තමන්ගේ දරුවා එක ලකුණකින් හෝ ඉදිරියෙන් සිටිනවා නම්, එය මහමෙරකි. ඉරිදා දහම් පාසලකට නොයන දරුවා අමතර පංති යැවීමට මවුපියන් කටයුතු කරන්නේ එනිසා විය හැකිය. දහමින් කිසිදු පෝෂණයක් ලබා නොදී තරගයකට යොමුකරන දරුවා නොතේරෙන වයසේ සිට තරගයට දුවති.

එලෙස උස් මහත්වන දරුවා සමාජගත වීමේදී යම් යම් ගැටුම් ඇතිවේ. ගුණයෙන්, දහමින් පෝෂණය නොකිරීම මවුපියන් කළ වරදකි. එයට සියුම් ලෙස දඬුවම් විඳින්නේ ඔවුන් වයසට යාමත් සම ඟම ය.

ඒ වගේම පාසල් යනවිට දණ නමා තම මවුපියන්ට වන්දනා කරන්නට කියා නොදෙන ඔවුන් බායි. . .බායි කියමින් අත වනන්නට පුරුදුව සිටියි. නිවෙසේ වැඩ සිටින බුදුපිළිම වහන්සේට වන්දනා කොට අම්මා, තාත්තා, ආච්චි, සීයාට වන්දනා කොට නිවෙසෙන් පිටවෙන දරුවෝ අද ඉතාමත් සීමිත ය. තරගය ඔවුන් පසුපස හඹා එන නිසා ඔවුන් ද ඒ තරගයට දිවීමට සැරසී සිටිති.

අද සමාජයේ එකෙන් එකට පෙළගැසී ඇත්තේ එක් එක් ආකාරයේ ගැටුම් ය.

මෙය තවදුරටත් සමාගතවීමට පෙර වර්තමානයේ ජීවත්වන අප විසඳුම් සෙවීමට උත්සුක විය යුතුය. ඒ සඳහා ඇති එකම විසඳුම බුදු දහම යි. තම දරුවා තිසරණය සමාදන් කොට පංචසීලය රැකීමටත්, දහමින් පොහොසතුන් කිරීමටත් ගුණයෙන් වර්ධනය කිරීමටත් කටයුතු කිරීමයි. ඒ වගේම දිනපතා පවුලේ සියලු දෙනාම එකතුව බුද්ධ වන්දනාවට කාලයක් වෙන්කර ගැනීමත්, නිවෙසේ සිටින වයෝවෘද අම්මා, තාත්තා ජීවතුන් අතර සිටීනම් කුඩා දරුවන්ට දැනෙන සේ ඒ වයෝවෘද වැඩිහිටියන් රැකබලා ගැනීමත් කළයුතුව ඇත.

එසේ නොමැතිව වයසක වැඩහිටියන්ට පොඩි දෙයටත් කෑ ගසමින්, බැණ වදිමින්, අපහාස කරමින්, ඔවුන්ගේ සිත බොහෝ සේ තලාපෙළා දමයිනම්, ඔවුන්ට ද ඒ විපාකය බොහෝ විට දිට්ඨධම්මවේදනීය කර්මයක් ලෙස ගෙවීමට සිදුවනු ඇත. මරණින් මතු දුගතිය ද හිමිවනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.