ජීවිතාවබෝධය ලබන්න ඔබ, ඔබ ම වී බලන්න

ජූලි 3, 2019

ධර්මයයි ඔබයි දහම් සාකච්ඡාවේ දී හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ කළ ධර්ම දේශනයක් ඇසුරිනි

තරුණී සදහම් සෙවණ දහම් සාකච්ඡාවෙන් තරමක් ගැඹුරු දහම් අවබෝධයක් ලබාදීමට අද අපි බලාපොරොත්තු වන්නෙමු. එහෙත් එය ඔබට තේරුම් ගැනීම අපහසු නොවේ. මෙතෙක් ඔබ නොසිතූ නමුත් සිතිය යුතුම කරුණක් ගැනයි මේ සඳහන පින්වතුනි, ඔබගේ ජීවිත අත්දැකීමට එකතුකර මේ දහම ගළපා බලන්න. එනම් මනසිකාර කරගන්න. එවිට ඔබට වැටහේවි මේ දහම් කරුණුවල සත්‍ය අසත්‍යතාව.

පින්වත් ඔබ මහ ඉහළට ඉගෙනගත් අයකු විය හැකියි. ඔබ මහා ධන කුවේරයකු විය හැකියි. ඒ වගේම එදා වේල හරි හම්බකරගෙන ජීවිතය ගැටගහ ගන්නකු විය හැකියි. මේ කොයිකාට වුණත් සිදුවිය හැකි අත්දැකීමක් ගැනයි මේ ගෙනහැර දැක්වීම.

“යෝ නිසෝ මනසිකාර” ඔබ මේ ලිපිය කියවනවාත් සමඟම මනසින් ඔබ, ඔබම වී බලන්න, ඔබ කවුද කියලා. මනස තුළ ඇති වන්නා වූ අවබෝධය වැඩි වන්න, වැඩි වන්න ඔබ සමාධිගත වේවි. එවිට ඔබට ජීවිතාවබෝධය ලැබේවි. බුද්ධ දේශනයට අනුව සද්ධර්මය මනාකොට මෙනෙහි කරන්නාගේ සිත තුළ අවිද්‍යාව වේ නම් එය පහව යනු ලැබේ. අවිද්‍යාව, තෘෂ්ණාව සිඳලූ තැන ජීවිතය පවත්වාගෙන යාම හරිම සරලයි.

ඔබ කවුරුද ?

ඇත්තෙන්ම ඔබ කවුරුද ? තමන් කවුරුන්දැයි දැන ජීවත්වීම වඩාත් සුදුසුයි. ඔබ අන්තර්ජාලයේ සැරිසරමින් විවිධ තොරතුරු සොයයි. එහිදී පිළිතුරු ද ලැබේ. එහෙත් ඔබ කවුද කියන දේ සඳහා පිළිතුර අන්තර්ජාලයේ සඳහන් නොවෙයි. ඒ සඳහා පිළිතුර ඇත්තේ ඔබ තුළමයි. ‘ඔබ කවුරුද ?’ යන පැනයට පිළිතුර නිමල්, කමල්, අමරා, නයනා විය හැකියි. එහෙත් ඒ නිවැරැදි පිළිතුර නම් නොවේ. මවුපියන් ඔබට ලබාදුන් නම නෙමෙයි මෙතැනදී පිළිතුර විය යුත්තේ.

මම කවුරුද ? මොනවාද කරන්නේ ? මගේ ගමන කුමක් ද? යැයි නිවැරැදිව නොදන්නා පුද්ගලයා තමයි මතු දිනක මියගොස් තිරිසනකුව උපත ලබනුයේ. එහෙත් හිතාගෙන නම් ඉන්නේ මහ ලොකුවට, මහ උජාරුවටයි. ඔබ වගේමයි ධර්මය දේශනා කරන මමත් හිතාගෙන හිටියේ.

 

පින්වතුනි, මටත් ලොකු වුවමනාවක් තිබුණා මේ ලෝකයේම මුදුනා වෙන්න. කොච්චරට ද කිවුවොත් මගෙ සිහිනය වුණේ එංගලන්තයේ ‘මිලියනර්’ (ථඪතතඪධදචඪපඥ) කෙනෙක් වෙන්න. ඒකට තමයි මම උපරිම උත්සාහ කළේ. වාසනාවකට මට ශ්‍රී සද්ධර්මය ඇසුරු කරන්නට ලැබුණා. ධර්ම සාකච්ඡා කියෙව්වා. ධර්ම සාකච්ඡාවලට සවන් දුන්නා. පින්වතුනි, ත්‍රිපිටකයේ එක් තැනක සඳහන් වෙනවා ඕනෑවට වඩා මුදුන්වෙන්න උත්සාහගන්න තැනැත්තා තිරිසනකුගේ තැනට වැටෙන බව. පටිච්චසමුප්පාදය හා ගළපා බැලීමේ දී එය තවදුරටත් තහවුරු වුණා. ‘මා නේන මක්ඛටෝ - අතිමානේන පුබ්බරෝ’ මානෙන් වඳුරෙක් වන බවත්, අතිමානයට පත්වූවන් බල්ලකු වන බවත්. ඔබගේ ජීවිත අත්දැකීම තුළින් මෙය මෙනෙහිකර බලන්න. ඔබ පිරිසක් අතරට ගිය විට ඔවුන් අතරින් මුදුනා වන්නට දඟලනවා ද?

බලන්න, ඔබ වාහනයක් ගන්නෙ, ගෙයක් හදන්නෙ, රත්තරන් බඩුවක් ගන්නෙ අනෙකාට පෙන්වීමටත්, එයින් උජාරුවට පත්වීමටත් නේද? පින්වත්නි, මමත් මහණ දම් පුරන්නට පෙර ගිහි කල දී නොදන්නාකමට ඔය ටිකම කළ අයෙක්. දැන් මට සත්‍යය වැටහෙනවා. මගෙ පින්වත් ඔබ නොදැන යන මේ සසර ගමනේ තිරිසනකුව උපත ලබනවා නම් එය මහා අපරාධයකි. මිනිසත් භවය ලැබූ අප තිරිසනකුව ඉපදෙන්නට හේතු හදා ගන්නේ ඇයි ?

මිනිසත් භවයෙන් ප්‍රයෝජන ගන්න

මේ මනුෂ්‍ය ජීවිතය ලබාගන්න කොයි තරම් අපහසු ද? අපි ලබපු මනුෂ්‍ය ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගන්න දැනගත යුතුයි.

 

මේ ලෝකයට ආවේ ඇයි?

දැන් කල්පනාකර බලන්න, ඔබ මේ ලෝකයට ආවේ ඇයි කියලා. මොකටද මේ උපත ලැබුවේ කියලා. උපත ලබලා මොනවද කළේ කියලා. ඔබ කෑවා. බිව්වා. නිදාගත්තා. දරුවෝ හැදුවා. එතැනින් එහාට කළ විශේෂ දෙයක් තිබේ ද? ඔබට සිතේවි මම හොඳට ඉගෙන ගත්තා. දැන් හොඳ රැකියාවක් කරනවා. මම වෛද්‍යවරයෙක්. ඉංජිනේරුවරයෙක්. ගණකාධිකාරිවරයෙක්, ව්‍යාපාරිකයෙක් වගේ ඉහළ වෘත්තිකයෙක් කියලා.

පින්වත්නි, කනවා, බොනවා, නිදියනවා, දරුවෝ හදනවා කියන දේ තිරිසන් කුලවලටත් පොදු දෙයක්. මනුෂ්‍ය ජීවිතය ලැබූ ඔබත් ඔය ටිකම කරනවා නම් එහි ඵලය කිම? ඇත්තෙන්ම ගෙදර ඉන්න බල්ලා ඔබට හිනාවේවි. මොකද? මහත් වෙහෙසක් දරා ඉගෙනගෙන අමාරුවෙන් රැකියාවක් හොයාගෙන හම්බකරගෙන ඔබ කරන දේ උන් වෙහෙස මහන්සියක් නොවීම කරනවා කියලා. ඇත්තටම වෙනසක් නෑ නේද? ඌ නිකම් ඉඳලා කනවා, බොනවා, නිදියනවා, පැටවු හදනවා. මේ කාරණාව ගැඹුරින් අධ්‍යයනය කරන්න. තිරිසන් සතකුට එහාට ගිය යමක් ඔබට කරන්නට පුළුවන්.

ඔබට හිමි මනුෂ්‍ය ජීවිතය ලැබුණේ කොහොමද කියන දේ හරියටම ඔබ දන්නෙ නැහැ. ඒකයි මේ ගැටලුව. මේ මිනිස් භවය විනාශකර ගන්නට එපා. එය මහ අපරාධයක්. ඔබ කවුද යැයි තේරුම් ගන්නට කීවේ එබැවිනි.

 

අමාරුවෙන් ලැබුණ දේ වටිනවා

 

ඔබට පාරේ යනකොට බිම වැටී ඇති මාලයක් ලැබෙනවා. තවත් මාලයක් පරම්පරාවෙන් ලැබෙනවා. තව එකක් අමාරුවෙන් හරි හම්බකරලා ගන්නවා. දැන් මේකෙන් ඔබ රැකගන්නේ අමාරුවෙන් ගත්ත දේ නේ ද?

වසර ගණනාවක් දරුවන් නොලබපු අම්ම කෙනක්, තාත්තා කෙනක් දරුවකු ලැබුණ පසු ඒ දරුවා මැණිකක් රකිනා නා රජකු මෙන් රකී. ඔබ දන්නෙ නෑ පින්වතුනි මේ ජීවිතය ලැබුණ විදිහ. ඔබ හරි ලේසියෙන් මවුුකුසකට ආවේ නැහැ.

ඔබට හිතන්න පුළුවන් ඔබ ධනවත්. ගමෙන් බාගයක ඉඩම් ඔබේ. ඔබට සැපය හිමියි කියා. එහෙත් මිය ගිය පසුව තිරිසන් භවයක් ලැබේනම් මේ විඳිනා සැපය ඵලක් තිබේ ද? මතු භවයෙත් මිනිසත් උපතක් ලැබේවි කියන රක්ෂණය ඔබ සතු ද? දැන් සසර බයක් ඇති විය යුතුයි. බල්ලකු හෝ තිරිසන් සතකු දුටු විට ඔබේ ඇඟ කිලිපොළා ගොස් බිය දැනිය යුතුයි. ඔය සතකු වී උපත ලබා ඇත්තෙත් ඔබ වැනිම මනුෂ්‍ය ආත්මයක උපත ලැබූවකුයි.

පාරේ තුන්මං හන්දියෙ පෙරේත ගොටු තබා තිබේ. ඒ මිනිස් ආත්මයක ඉඳ ජීවිතාවබෝධය නොලද ඔබ වැනිම අයයි. බෝතලයක ඇතුළත දමා ඇති පෙරේත ආත්මවලට යළි ඉන් මිදිය හැකි වන්නේ මෛත්‍රී බෝසතුන්ගේ කාලයේයි. හෙට දිනයේ බස් රථය, දුම්රිය නැතිවුවහොත් රැකියාවට, නිවෙසට යන අයුරු සිතූ නමුත් මිය ගිය පසු කොහේ උපත ලබාවිදැයි ඔබ මීට පෙර සිතුවේ නැතිව ඇති. පෘථග්ජනයාගේ හැටි එලෙසයි. එහි වරදක් නැත. එහෙත් ඒ අතර ජීවිතාවබෝධයක් ලබාගත යුතුයි.

අවුරුදු දසදහස් ගණනක් සැරි සරනවා

මනුෂ්‍යයකු උපදින්නේ මවු කුසිනි. එහෙත් අම්මාටයි, තාත්තාටයි මනුෂ්‍යයකුට උත්පත්තියක් දිය නොහැකියි. ඔවුන්ට කළ හැකිවන්නේ මනුෂ්‍යයකුට මස් ලේ කයක් ලබාදීමයි. මිනිසත් භවය ලැබෙනුයේ කර්ම ඵලය අනුවයි.

කෝටි ගාණක් ගන්ධබ්බයෝ මස් ලේ කයක් ගන්නට කර්ම ශක්තිය ගැළපෙන තැනක් සොයා අවුරුදු දස දහසක් සසර සැරිසරති. ඒ අතරින් ඔබ සංසාරේ කරගත් අනන්ත පුණ්‍ය ශක්තියක් පල දී උතුම් මිනිසත් භවයක් ලැබුවා විය හැකියි.

එලෙස ආ ඔබ මේ ජීවත්වන අනවබෝධය ගැන හරි පුදුමයි. දුක්ඛිතයි. මොහොතක් සිතන්න, කන්න, බොන්න, නිදාගන්න ද මේ ලෝකයට ආවේ.

ඔබ කවුද යැයි මා මුලින්ම යොමු කළ පැනයට ඔබේ පිළිතුර වූයේ නම හෝ තනතුරයි. එහෙත් ඒවා ඔබට සමාජය ලබා දුන් නාමයන්.

එලෙස ඔබට සමාජය දුන් නම, තනතුර රැකගන්නටයි උත්සාහ කරන්නේ. සමාජ වටිනාකම රැකගැනීම වරදක් නොවේ. එය ජීවත්වීම උදෙසා සිදු කළ යුත්තකි. පින්වතුනි, මේ දහම් සාකච්ඡාව වරදවා වටහා නොගන්න. මෙයින් අදහස් කරනුයේ මනුෂ්‍යයකුව උපන් ඔබ තිරිසන් සතුන් කරනා දේම නොකර භවාන්තය පිළිබඳ සිතිය යුතු බවයි. නැතිනම් ගෙදර සිටින තිරිසන් සතා ඔබට කියයි "මා ඉන්නේ සුගතියේ - ඔබ ඉන්නේ දුගතියේ '' කියා.

ඒ මොකද ඔබ වෙහෙස වී ඉගෙනගෙන මහන්සි වී රැකියාව කර සිදුකරන්නෙත් කන, බොන, නිදාගන්න එක සහ දරුවෝ හදන එකයි. වෙහෙසක්, මහන්සියක් නොවී කන්න, බොන්න, නිදාගන්න මේ හැමදේම අර තිරිසන් සතාටත් හම්බවෙනවා. ඇත්තෙන්ම තිරිසන් සතා සුගතියේ යැයි අපට ද සිතීම සාධාරණයි.

පින්වතුනි, එසේ වී නම් එතැනින් එහාට ඔබෙන් යමක් සිදුවිය යුතුයි. ඔබ මවාගත් ලෝකයෙන් මිදෙන්න. සැබෑ ලෝකයට පිවිසෙන්න. යථාර්ථය අවබෝධකර ගන්න. ඔබේ වටිනා මනුෂ්‍ය ජීවිතය තවදුරටත් ආරක්ෂා කරගන්න. මිය ගිය පසු ලෙහෙසියෙන් දිව්‍ය ලෝකයේවත් නැවත මනුෂ්‍ය ලෝකයේවත් ඉපදෙන්නේ නැත. ඒක හරියට කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ දෙයක්. තවත් සරලව කියනවා නම් වසර පනහක් එක දිගටම දවස ගාණේ ලොතරැයියක පළමු ජයග්‍රහණය ඔබට හිමිවනවා වගේ. මෙය සිදුවීම ලෙහෙසි දෙයක් නොවෙයි. වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. විය හැකි සම්භාවිතාව හරිම අඩුයි.

මේ ලැබුණ මනුෂ්‍ය ජීවිතය රැකගන්න නිරතුරු උත්සාහ ගන්න. පින්වතුනි, උතුම් බුද්ධත්වය ලැබීමට ද මිනිස් උපතක් ලැබිය යුතුමයි.