චිත්ත ශක්තියේ බලයෙන් ලැබිය හැකි ජයග්‍රහණ බොහෝය

ජූලි 10, 2019

අනුශාසනාව - සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන සංඝනායක, මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය

රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද

ස්වාමීන් වහන්සේ

මිනිස් ජීවිතයක් ලැබූ පමණින් ලොව සියලු මිනිසුන් භාග්‍යවන්තයන් නොවෙති. ධර්මයට අනුකූලව තම චින්තනය හසුරුවා ගැනීමේ හැකියාව ඇත්නම් ඔබ ද මම ද මේ මිනිස් ලොව ජීවත් වන භාග්‍යවන්ත මිනිසුන්ගේ ගණයේ ලා සැලකිය හැකියි.

අපගේ ශාස්තෘන්වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම මනා කොට දේශනා කරන ලද්දක්මය. ඒ ශ්‍රී සද්ධර්මයේ ආරම්භය වූ සීලයත් සුන්දරය. මැද වූ සමාධියත් සුන්දරය. අවසානය වූ ප්‍රඥාවත් සුන්දරය. ඉතාම පිරිසුදු වූ අර්ථවලින් යුක්තය. මුළුමනින්ම පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ අරහත්වය දක්වා දියුණු කළ හැකි ජීවිතය ගැන පෙන්වා දෙන්නකි.

එවන් වූ ශ්‍රී සද්ධර්මය අප විසින් ඉගෙන ගත යුත්තේ වාද විවාද කිරීමේ අදහසින් හෝ තර්ක විතර්ක කිරීමේ අදහසින් නොවේ. ඒ ධර්මය අප විසින් ඉගෙන ගත යුත්තේ,

  •  කෙලෙස් නිසා අපිරිසුදු වූ අපේ සිත පිරිසුදු කරගැනීම පිණිසය.
  •  ශෝක වැළපීම්වලින් නිදහස්වීම පිණිසය.
  •  කායික, මානසික, දුක් දොම්නස්වලින් නිදහස්වීම පිණිසය.
  •  චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසය.
  •  අවසානයේ අමා මහ නිවන මේ ජීවිතයේදීම

සාක්ෂාත් කරගැනීම පිණිසය.

ඒ සඳහා වැඩිය යුතු එකම මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ සතර සතිපට්ඨානය යි. සතර පතිපට්ඨානයට අයිති කායානුපස්සනා භාවනාව තුළ සිත පිහිටා ගත යුතුයි. ඒ උතුම් ධර්ම කොටස් ගෞරවයෙන් යුතුව ධාරණය කර ගතයුතුයි. ඒ අනුව ‘භාවනාවේ’ යෙදෙමින් සමථ, විදර්ශනා වඩා මේ ජීවිතයේදීම සසර දුක නිමකර ගැනීමට පින්වත් ඔබ උත්සාහ ගත යුතුයි.

භාවනාවේ හරි මඟ

ඇත්තෙන්ම අද බොහෝ දෙනෙක් භාවනාව වෙත යොමු වී සිටිති. එය සැබෑවටම සතුටට කරුණකි. එහෙත් ඔබ භාවනා කරනුයේ කවර අරමුණක් සඳහාද? යන්න විමසූ කළ සමහරු නිරුත්තර වෙති. ඔවුහු අනුන් අනුකරණය කිරීමට භාවනා කරති.

පින්වතුනි, සැබැවින්ම භාවනාව යනු නියත අරමුණු සහිතව ප්‍රගුණ කළ යුත්තකි. පැහැදිලි ඉලක්ක සහිතව වැඩිය යුත්තකි. නොඑසේ නම් අනුන් අනුකරණය සඳහා භාවනා කිරීම ඵලක් නොවනු ඇත. එය පුහුදුන් ක්‍රියාවකි.

  •  භාවනාවෙන් ලද හැකි ජයග්‍රහණ
  •  ඉවසීම පුහුණුවීම.
  • පෞරුෂය දියුණු කර ගැනීමට හැකිවීම.
  •  නිරෝගී සුවය.

යන කාරණා භාවනාවේ ප්‍රතිඵල කිහිපයකි. ඒ වගේම ආධ්‍යාත්මික ඉලක්ක ජය ගැනීමට හැකිවීම භාවනාවේ ප්‍රබල විශේෂත්වයකි. එනම්,

  •  ධ්‍යාන සුව විඳීම.
  •  මාර්ග ඵල ලැබීම හා සත්‍යාවබෝධය.
  •  අධිමානසික බල ලැබීම.

මේ සියලු ඉලක්ක සපුරා ගැනීමේ මඟ භාවනාව තුළින් විවර කර දෙයි. පින්වත්නි, භාවනාව සිදු කිරීමට නම් ඔබ ඔබේ සිත පාලනය කරගත යුතුය. රාගය, ද්වේශය, මෝහය ඇති මේ සිත පාලනය කරගැනීම සිතන තරම් පහසු කටයුත්තක් ද නොවේ.

සිත හසුරුවා ගැනීම

කුළුමීමා පාලනය කරගැනීම, ඌ හසුරුවා ගැනීම බෙහෙවින්ම අපහසු වන්නේය. කුළුමීමා පාලනය කරගැනීමට හෙවත් හසුරුවා ගැනීමට නැතහොත් හීලෑකර ගැනීමට ගොපල්ලාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවේ. ඒ අන්දමින් දැඩි වෙහෙසක් දැරීම තුළින් කුළුමීමා හික්මවා ගත්තද යළිත් ඌ කුළුමීමා බවටම

පත්වන්නේය. එය එසේ වී නම් ඌ මනාවටම හීලෑකර ගත යුතුය. එමඟින් නොහික්මුණ ගතිය සම්පූර්ණයෙන්ම ඉවත්කර ගත යුතුය. එහෙත් මිනිස් සිත පාලනය කරගැනීම කුළුමීමා පාලනය කිරීමට වඩා බෙහෙවින්ම වෙනස්ය.

මිනිස් සිත ද හීලෑකර ගැනීම, පාලනය කරගැනීම බෙහෙවින්ම දුෂ්කර වන්නේය. එසේ වුවද මනාව පාලනය කරගත් සිත සැපය කරාම ඔබව රැගෙන යනු ඇත.

සිතේ බලය

පින්වතුනි, මිනිස් සිත හරිම පුදුම සහගතයි. ඒ වගේම බලසම්පන්නයි. බලය යනු ශක්තියයි. ශක්තිය චිත්ත ශක්තිය වූ විට එම ශක්තියට විශ්වයෙහි කළ නොහැකි දෙයක් නැත. ඒ අනුව චිත්ත ශක්තියේ මෙහෙයවීම තුළින් පුද්ගලයා යහපත් දේ ද කරයි. අයහපත් දේ ද කරයි. මැදහත් දේ ද කරයි. එම චිත්ත බලයට අනුව ක්‍රියාත්මක වන චිත්ත බලවේගය මෙන්ම ඇස, කන, දිව, නාසය හා කය යන මේ ඉන්ද්‍රීයය ධර්මයන් සම්බන්ධ වෙයි. එම ඉන්ද්‍රීය ධර්මයට රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ හා ධර්ම යන අරමුණු යොමුවීම තුළින් චිත්ත බලයෙහි ක්‍රියාකාරිත්වය උපදී.

මිනිස් සිතෙහි වූ අසීමිත අධිෂ්ඨාන බලයෙන් ක්‍රියා කළ ප්‍රථම මනුෂ්‍යා ගෞතම බුදුන් වහන්සේය. උන්වහන්සේගේ චිත්තාධිෂ්ඨානය වූයේ කෙසේ හෝ සර්වඥතා ඥානය ලබා ගැනීමයි.

සිතින් දැකීමේ බලය

සිතේ අධිෂ්ඨාන බලය මෙන්ම සිතින් දැකීමේ බලය ද සිත හා සම්බන්ධ තවත් ශක්ති විශේෂයක් වෙයි. සිතින් දැකීමේ බලය ද පුද්ගලයා සතු සිත පිළිබඳ විශේෂ කාරණයකි. ඔබ පාසල් යන, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන හෝ රැකියාවක් කරන එසේත් නැතිනම් ගෘහණියක් විය හැකියි. ඔබ යම් දෙයක් සිදු කළේ නම් ඒ ක්‍රියාව ගැන යළි යළිත් මෙනෙහි කරන්න. ඒ වැඩ කළ ආකාරය සිතින් දැකීමට උත්සාහ ගන්න. එවිට ඔබ පෙර කළ එම ක්‍රියාව ඔබගේ ඇසින් දකින්න. එසේ කරනු ලබන ඕනෑම කර්තව්‍යයක් පිළිබඳ ඔබට සිතින් මෙනෙහි කළ හැකියි. ඔබ විසින් කරනු ලබන හොඳ වැඩ පිළිබඳ මෙන්ම අයහපත් දේ ද මෙසේ සිතින් මෙනෙහි කරන්න. දැන් මෙසේ මෙනෙහි කිරීමේ දී ඔබට ඒ දේ සිතින් දැකිය හැකිය.මෙයත් එක්තරා භාවනාවකි. තමන්ගේම යහපත්, අයහපත් ක්‍රියා තමන්ම මෙනෙහි කරගැනීම තුළින් දිනෙන් දින ඔබ වඩාත් නිවැරැදි පුද්ගලයකු වේ.

ඉදින් පින්වත්නි පුද්ගලයාට ස්වකීය චිත්තාධිෂ්ඨාන බලයෙන් තමන් පුරුදුව සිටි නරක, අයහපත් පුරුදුවලින් ඈත්විය හැකියි. එබැවින් කිසිදා ඔබේ චිත්ත ශක්තිය බිඳ වැටිමට ඉඩ තබන්නට එපා.