ජය ශ්‍රී මහා බෝ සමිඳුන් මලින් පුදා දෙලොවම සැනසෙන්න ඔබත් එන්න

ජූලි 24, 2019

රටට සෙත්පතා කරන පිච්ච මල් පූජාව ලබන 27 වැනිදා

උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් මෙන් වැඳුම් පිදුම් ලබන තවත් වෘක්ෂයක් මේ ලොවෙහි නැති තරම්. එසේම ලොව ඇති පැරැණිතම ඓතිහාසික හා පූජනීය වෘක්ෂය ලෙස ද එය පිළිගනු ලැබේ. සිදුහත් තවුසාණන් බුද්ධත්වය සාක්ෂාත් කළේ බුද්ධගයාවෙහි පිහිටි මේ ශ්‍රී මහා බෝධියේ මවු බෝධිය පාමුලදී ය. අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි දී පින්වත් ඔබට දක්නට ලැබෙන ශ්‍රී මහා බෝධිය ඒ බුද්ධගයාවේ පිහිටි මාතෘ බෝධියේ දක්ෂිණ ශාඛාවයි.

ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණි දෙස් විදෙස් බැතිමතුන් ගණනය කළ නොහැකිය. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්, දරුවන් නොමැති අඹුසැමියන්, රැකී රක්ෂා නොමැති වූවෝ මෙන්ම ලෙඩදුක් කරදර, නඩුහබ ආදිය වෙනුවෙන් පිහිට පතා ශ්‍රී මහා බෝ සමිඳුන් ඉදිරියේ භාරහාර වෙති.

හුදෙක් රටට, ජනතාවට යහපත උදාකර ගැනීම උදෙසා බුදුන් වහන්සේගේ පාරිභෝගික ධාතුවක් ලෙස සලකන ශී‍්‍ර මහා බෝධියට කෙරෙනා පුද පූජා, සත්කාර ගණනාවකි. ඒ අතර තිස් වසරක් මුළුල්ලේ නොකඩවා කෙරෙන පිච්ච මල් පූජාව මහත්පල මහත් ආනිශංසය.

පින්බර ඇසළ මහේ පැවැත්වෙන මේ පූජාව මෙවරත් 27 වැනි සෙනසුරාදා දින දවල් 1.00ට ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට සහ රුවන්වැලි මහ සෑ රඳුන් උදෙසා සිදු කෙරෙයි.

ආරම්භය

හරියටම මීට වසර 30 කට පෙර එනම් 1989 ජූලි මස පළමු සෙනසුරාදා දින මේ උතුම් පුණ්‍ය කර්මය සිදුවිය. ප්‍රථම ශ්‍රී සම්බුද්ධ දේශනාව විශ්වයට එක්වූ ඇසළ මාසයේම මෙවන් පූජාවක් සිදුවීම තවත් පින්වන්තය.

සේරුවිල මංගල රාජ මහා විහාරයේ අධිපතිව වැඩ සිටි දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර මහානායක ස්වාමීන් වහන්සේ ආචාර්ය කොටගත් කොටපොළ අමරකිත්ති මහා ස්ථවරයන් අඛණ්ඩව පවත්වා ගෙන එන පිච්ච මල් පූජාවේ නිර්මාතෘන් වහන්සේය. එය සංවිධානය කරනුයේ උන්වහන්සේ ප්‍රධාන කොටගත් එන්.එස්. වීරතුංග මහතා ඇතුළු ශාන්ති පදනම මඟිනි.

පෙර සඳහන් කළ වසරේ දී කොටපොළ අමරකිත්ති හිමියන් ජය ශ්‍රී මහා බෝ සමිඳු වන්දනා කිරීමට සූදානම් වන අතරතුර සුදුවතින් සැරසුණ අයෙක් පිච්ච මල් මිටක් උන්වහන්සේට ලබාදී අතුරුදන්ව ඇත. ඒ සමන් දෙවිඳු යැයි උන්වහන්සේගේ විශ්වාසයයි. එදවස පටන් අද දක්වාම ජූලි මස පළමු සෙනසුරාදා හෝ අවසන් සෙනසුරාදා දින මේ පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කෙරේ.

පූර්ව සුදානම

අද වන විට සිරිලක පුරාම නන් දෙසින් ලක්ෂ පහළොවකට වැඩි ජනතාවක් මේ පූජාවට සහභාගී වන බව වාර්තා වේ.

මේ වෙනුවෙන්ම පිච්ච මල් වගා කරන පින්වතුන් ද වේ. පුරා සති ගණනක් නිර්මාංස වී ගමනට අවශ්‍ය සුදු ඇඳුමින් සැරසී පැමිණෙන ඔබට පිත්තල පාත්‍ර, මුතු කුඩ පූජා කිරීම ද සිදු කළ හැකියි.

මල් රැගෙන ඒම

සැදැහැ සිතින් යුතුව ඔබ රැගෙන එන මල් පවිත්‍ර නිකැළැල් විය යුතුයි. පරනොවී, පොඩිනොවී ගෙන ඒම වැදගත්ය. පිච්ච මල් පූජාව සඳහා සමන් පිච්ච, ගැටපිච්ච, පොකුරු පිච්ච ගෙන ආ හැකි වේ. ඒවා පරනොවී රැගෙන ඒමට කෙසෙල් පතුරින් සිලින්ඩරයක් සාදා ගැනීමත්, කෙසෙල් කොළ වට්ටි මෙන් සාදා ගැනීමත් කළ හැකියි. මෙලෙසින් රැගෙන එන මල් දින 03 ක් පමණ නැවුම් තත්ත්වයේම පවතී.

ඔබ පරෙස්සමෙන් රැගෙන එන මල් එදින දහවල් 12.30ට පෙර මල් භාර ගැනීමේ කාර්යාලය වෙත ලබා දිය යුතුය. එහිදී පොඩි වුණ, තැම්බුණ, පෙති කැඩුණු මල් ඉවත්කොට හොඳ මල් වායුසමනය කළ කන්ටේනරයක තැන්පත් කරනු ඇත. අනතුරුව පාත්‍රවල දමා පෙරහරේ ගෙන යාමට ලබා දෙයි.

පෙරහර පටන් ගැන්ම

දහවල් 1.00 ට ථූපාරාමය අසලින් පෙරහර පෙළ ගැසේ. පස්වරු 4.00 වනවිට දිවයිනේ නන් දෙසින් ඉමහත් භක්ත්‍යාදරයෙන් යුතුව ගෙන එන පිච්ච මල් රන්වන් පාත්‍රවල තැන්පත් කොට අලංකාර මුතු කුඩ යටින් පෙරහර ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත වැඩම කෙරේ. අනතුරුව උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින උඩමළුව භුමියෙහි සුදු පලසක් ලෙසින් අඩියක් පමණ උසට මල් අතුරා බෝධි වන්දනාව අරඹයි.

මෙදිනම රාත්‍රියේ රුවන්වැලි මහ සෑරඳුන්ට පුද පූජා පවත්වා රටට, ජාතියට සෙත්පතා මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනය කරනු ඇත.

සද්කාරක සේවාවන්

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවයට නන් දෙසින් පැමිණෙන පින්වත් ජනතාවට අනුරාධපුරයට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි විශේෂ දුම්රිය හා බස් සේවාවන් සුදානම් කර තිබේ. පූජා භූමිය තුළ නිර්මාංශ ආහාරපාන දන්සල් ගණනාවකි. බටහිර හා දේශීය ජංගම රෝහල් ද වේ. වැසිකිළි, කැසිකිළ,ි ජල පහසුකම් ස්ථාපිත කර ඇත. කුඩා දරුවන්, වයස්ගත මාපියන්, වැඩිහිටියන් කැටුව එන ඔබ තම දුරකථන අංකය ලියන ලද කොළයක් ඔවුන්ට ලබාදෙන මෙන් ශාන්ති පදනම විශේෂ ඉල්ලීමක් කර සිටී.

මල් පූජාවේ අනුහස්

බැතිමතුන් ලක්ෂ ගණනකගේ සාධු නාදය මධ්‍යයේ සිදු කෙරෙන පිච්ච මල් පූජාවේ අනුහස් බොහෝය. උපදින උපදින භවයේ රූප සම්පත්තියෙන් අග තැන්පත් වීම, සියලු දෙනාට පි‍්‍රය උපදවීම, සත්පුරුෂ ඇසුර ලැබීම ඒ අතර වේ. පෙර වසරවලදී මල් පූජෝත්සවය අතර තුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ වෙසෙන තැන්හි අහසේ ආලෝක රශ්මි දහරා දකින්නට තරම් සැදැහැවතුන් පින්කර තිබිණි.

අදත් මෙය ඔබට ලියන්නේ මෙවර පිච්චමල් පූජාවට සහභාගී වී දෙලොවම පින් උපදවා ගන්නට මඟ හසර පාදා දෙන්නටයි.

පිච්ච මල් පූජාවේ නිර්මාතෘ සහ සංවිධායක

කොටපොළ අමරකිත්ති මහා ස්ථවරයන් වහන්සේ