සීලයෙන් තොර වූ තැනැත්තා සතකු හා සමානයි

ඔක්තෝබර් 2, 2019

“කායේන සංවරෝ සාදූ

වාචාය සංවරෝ සාදූ

මනසා සංවරෝ සාදූ

සබ්බත්ත සංවරෝ....

 

පින්වතුනි, ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ ගාථා රත්නයෙන් කියැවෙනුයේ යමෙක් කයෙන්, වචනයෙන්, සිතෙන් සංවර වන්නේ නම් ඔහු අධ්‍යාත්මික අතින් ඉතාමත් සම්භාවනීය චරිතයක් බවට පත්වන බවයි.

යමෙක් කයින් කරන දුෂ්චරිත දෙස බැලූ කල සත්ත්ව ඝාතනය, අනුනට හිංසා කිරීම, මත්පැන් පානය වැනි දේවල් ප්‍රධානයි. ඒවායින් අපේ ජීවිතවලට විශාල හානියක් වෙනවා. ඇතැම්විට මේ මනස ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය එකතුවීමෙන් පුද්ගලයා සමාජයේ ගැරහුමට ලක්වෙනවා. තමන්ගේ ජීවිතය ආයු, වර්ණ, සැප, බලය, ප්‍රඥාවෙන් පිරිහෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැඩිවෙන්න වැඩිවෙන්න එම චරිත තුළ ලේ විසවීම නිසාවෙන් මානසිකත්වය වෙනස් වෙනවා. ආතතිය වැඩිවීමෙන් වර්ණය ගිලිහී යනවා. තම මානුෂික ශක්තිය පිරිහීමෙන් බලය දුබල වෙනවා. මෙමඟින් තමන් සතු ප්‍රඥාව ඈත් වෙනවා. මේ සියල්ල එකතුවෙන් ආයුෂ හීන වෙනවා.

පින්වතුනි,

ශීලයෙහි පිහිටන්නේ නැති පුද්ගලයා විනාශයට, පිරිහීමට ලක්වන බව බුදුන් වහන්සේ දේශනා කළේ එබැවිනි.

කෙනකුට සිත, කය, වචනය සංවර කරගැනීමට පහසුම මඟ සීලයයි. ඒ සඳහා පුන් පොහෝ දින හෝ සිල් සමාදන් වීම අගනේය. සීලය පුරුදු පුහුණු කිරීමට එදින කදිමයි.

අපේ අම්මලාට, නිවෙසේ මහමෙරක් තරම් වැඩ රාජකාරි. මේ දෛනික කටයුතුත් එක්ක ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තරහව, ආතතිය දැනෙනවා. පන්සලට ගොස් දිනක් හෝ අට සිල් සමාදන් වන්නේ නම් මේ ආකල්පයන්ගෙන් දුරස් වීම, ඒවා ගැන අවබෝධයක් ඇතිවීම සිදු වෙයි.

එසේම සිල් සමාදම් වීමට කිසිම දිනයක් නියම වෙලා නැහැ.

පසළොස්වක පොහොය වඩාත් සුදුසු යැයි වෙන්වී තිබෙනුයේ ගිහියන් වූ ඔබට එදින වතාවත් සිදුකිරීමේ පහසුව මතයි.

පින්වතුනි, සීලය යනු හැදියාවයි. සිත, කය, වචනය සංවර කරගැනීමේ හැදියාවයි. මේ සීලය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඇතිකර ගන්නේ නම් තමන්ටත්, අනුන්ටත් සිදුවන හානිය අවමයි. බුද්ධ දේශනාවට අනුව සීලය යනු පරෝපකාරයයි. මෙය නැති තැන දුශ්ශීලය රජ කරයි.

ඒ වගේම ලැජ්ජාව, බය කියන දේව ධර්මය අද දකින්නටවත් නැති තරම්. බොහෝ දියණිවරුන්, මවුවරුන්, බිරින්දෑවරුන් විලි වැහෙන්නට ඇඳුමක් අඳින්න දන්නේ නැහැ.

කාන්තාව විසින් පිරිමියාගේ රාගික හැඟීම් අවුලනවා. හැඟීම් පාලනය නොවූ තැන ආරවුල්, මිනීමැරුම්, පොලීසි, සිරගෙවල් වැඩිවෙලා. අවසාන ප්‍රතිඵලය සියදිවි හානි කරගැනීමයි. දැන් ඔබට අවබෝධ වනවා ඇති සීලය, හැදියාව නොමැතිකමේ ප්‍රතිඵලය බොහොම භයානකයි.

පින්වතුනි, කිසියම් පුද්ගලයකුට ඔරොත්තු දීමේ ශක්තිය ඇතිවන්නේ එම පුද්ගලයා සතු සිල්වත් ගුණයෙනි.

මේ සමාජයේ ජීවත්වන අපට විවිධ ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවෙනවා. එහෙත් ඒවා විඳදරා ගැනීම, විසඳා ගැනීමේ හැකියාව ඇතිවන්නේ සිත්වත්, ප්‍රඥාවන්තයාට පමණි. උදාහරණයක් ලෙසින් කෙනෙක් අපහාස කළොත්, නින්දා කළොත් පෙරළා ඔවුන්ට ප්‍රතිචාර දැක්වීම ගෝත්‍රික ගතියයි. සිල්වත් ඔබ යමෙක් බැණ්නාට බණින්නට මුල් නොවන්න.

නින්දා කළාට, අපහාස කළාට නිශ්ශබ්දතාවය ඇතිකර ගන්න. එතැනදී දරාගැනීමේ ශක්තිය ඔබේ සිල්වත් බව කියාපායි. එවිට මුළු මහත් සමාජයක් ඔබ සමඟ හිඳීවි. සීලයෙන් ජීවත්වන්නා සීලය තුළින්ම ආරක්ෂා වේ.

පින්වත් ඔබට ගිහි ජීවිතයේ වැඩ රාජකාරි, වගකීම්, යුතුකම් එමටයි. ඒ කෙසේ වෙතත් සිල් රැකගැනීම, භාවනාවට යොමුවීම අද යුගයේ අවශ්‍යතාවක්.

සැබැවින්ම සීලවන්ත නොවුණහොත් ඔබ සතකු හා සමානයි. ඉතින් පින්වතුනි, මෙවන් වටිනා මිනිසත් භවයක් ලැබූ ඔබ සතකු හා සමාන වන්නේ ඇයි? ධර්මය අවබෝධකර ගන්න. ධර්මයට අනුව කටයුතු කිරීම කිසිවකුට අපහසු නොවේ. ධර්මය තුළ සරල බව, චාම් බව තියෙනවා. ඒ තුළ රැඳෙන ඔබම බොහොම යහපත් දිවි පෙවෙතක් උරුම කරයි.

මෙහෙම හිතන්න පින්වතුනි, ඇයි අපි බුද්ධ ප්‍රතිමාවලට වන්දනා කරන්නේ? ක්‍රි.පූ. හයවැනි සියවසේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ උතුම් චරිතයට ලොවක් දණ ගසා වන්දනාමාන කරනවා.

මේ හැම භෞතික සම්පතක්ම අප කවදා හෝ හැරදා යනවා. එහෙත් ගුණසම්පන්න, සීලවන්තව ජීවත්වන්නා ලොව අමරණීයයි. ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ අදත්, හෙටත්, මතුවටත් ජීවමාන වන්නේ උන්වහන්සේ තුළ තිබූ උතුම් සිල්වත් ගුණයටයි.

 

අනුශාසනාව

කතරගම ශ්‍රී අභිනවාරාම මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය

කපුගම සරණතිස්ස නාහිමි

 

ඡායාරූප  - උපාලි ජයරත්න