සාංසාරික පිනක් උරුම කර ගන්න කඨින පින්කමකට දායක වන්න

ඔක්තෝබර් 16, 2019

බුදු දහමේ උගැන්වෙන පූජා චාරිත්‍ර අතරින් කඨින පූජා චාරිත්‍රයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. කඨින පූජාව යනු දුෂ්කර වූ ද (ප්‍රශංසාවට ලක් කළ යුතු) වූද පූජා චාරිත්‍රයක් බව ප්‍රථමයෙන් කිව යුතුය.

එය බුදුරජාණන් වහන්සේගේ පවා ප්‍රශංසාවට ලක් වූවකි. “කඨිනාවත්ථං නාම බුද්ධප්පසන්ථං” යනුවෙන් සමන්ත පාසාදිකාවෙහි සඳහන් වන්නේ එයයි.

කඨින පූජා චාරිත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ගිහි පින්වතුන් දක්වන්නේ ද ඉතාමත් පහන් හැඟීමකි. විශේෂයෙන්ම වසරේ අනෙකුත් කාල වකවානුවලට සාපේක්ෂව කඨින සමයේ ගමත් පන්සලත් යාකරමින් විවිධාකාරයේ පින්කම්වලට සුපින්වත් බොදුනුවෝ පෙළගැසෙති.

කඨින පූජා චාරිත්‍ර සියල්ලක්ම නිමවීමෙන් පසුව කඨිනානිසංස ධර්ම දේශනාවක් ද පවත්වනු ලැබීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. කඨින පූජා උත්සවය හා සම්බන්ධ වූ ‘කප්රුක් පූජාව‘ ද විශේෂය. මෙය කොස් අත්තක් කපා සකසන ලද විශේෂ වෘක්ෂයකි. කඨින පූජා මණ්ඩපය අසල සිටුවා මෙහි විවිධ පූජා භාණ්ඩ තැන්පත් කෙරේ. කඨින වස්ත්‍රය සඟසතු කිරීමත් සමඟම මෙම අවශේෂ පූජා භාණ්ඩ සියල්ලක් ද සඟසතු වස්තූන් බවට පත්වෙයි.

මෙසේ සිදුකරන ලද කඨින පින්කම අටමහා කුසල් අතර ප්‍රමුඛතම පින්කම වේ. “මහ පොළොව මෙන් කිසි කලෙක කම්පා නොවන මහා මේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්විය හැකි, ඒ ඝන වජ්‍ර පර්වතය මෙන් සිඳින්නට බිඳින්නට නොහැකි බව කඨින චීවර පූජාවේ ආනිසංසයි.

එසේම උතුම් ගුණ ඇති මහා සංඝයා කෙරෙහි කඨින දානයක් පූජා කිරීමෙන් මහා කල්ප තිහක් දුගතියට පත් නොවේ. මහා කල්පය යනු නිදසුනකින් ගත් කළ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස කොටුවක අබ පුරවා අවුරුදු සියයකට වරක් එක අබ ඇටයක් බැගින් ගෙන යම්කිසි දවසක ඒ අබ ඇට ඉවර වේද එම කාල පරිච්ඡේදය මහා කල්පයකි. කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබෙන කුසලය එතරම්ම බලවත්ය.

ආනිසංස අට

ලෞකික වශයෙන් ද සාංසාරික වශයෙන් ද එහි ආනිසංස ලබා ගත හැකි වේ. ඉන් ප්‍රධානම ආනිසංස අටකි.

01. උත්තම පුරුෂයකුව ඉපදීම.

02. අගතියට නොයාම.

03. ඉසුරුමත්ව මිනිස් ලොව ඉපදීම.

04. උසස් කුලයන්හි ඉපදීම.

05. ධනවත් වීම.

06. සියල්ලන්ට ප්‍රිය මනාප වීම.

07. සක්විති සම්පත් ලැබීම.

08. තේජස හා කීර්තිය පැතිර යාම

එසේම කප්රුක් පූජාවට පූජා කරන වස්තූන්ට අනුගාමිව උපදින ආත්මයක් පාසාම වස්තුව ලැබෙනු ඇත.

ඡත්‍ර - කුඩ පිදීම

මහා සංඝරත්නය උදෙසා අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවීම පිණිස ඡත්‍ර - කුඩ පූජා කළේ නම් කිසිදු ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නොදේ. කිසිදා සිරුරේ කුණු ඇලෙන ගතියක් නොවේ. සෑම තැනකදිම ප්‍රධානත්වය, මූලිකත්වය, ගෞරව ලබන කෙනෙක්ව උපදී.

අනුශාසනාව

රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය රදාවඩුන්නේ

ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ

 

2019/10/16 තරුණි බලන්න