ඉවසලා ඉවසලා බැරිම තැනත් ඉවසන්නට හැකි නම්..

ඔක්තෝබර් 30, 2019

අනුශාසනාව

ශාස්ත්‍රපති, පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

පින්වතුනි, ඉවසීම පාරමිතාවක් ලෙසින් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. පාරමිතා කියන්නේ පරතෙරට පමුණුවන්නට, කෙලෙස් සයුරෙන් එතෙර කරවන්නට සමත් වන සුවිශේෂ ගුණ ධර්මවලටයි.

සත්ත්වයාට නොයෙක් ආකාරයෙන් සසරෙහි දුක් පීඩාවලට භාජනය වෙන්නට හේතු වන ක්ලේශ ධර්මයේ ප්‍රහානය කිරීම සඳහා බුදුන් වහන්සේ දෙසූ පාරමිතාවක් ලෙසින් ද ඉවසීමේ ගුණය හඳුන්වන්න පුළුවන්.

බුදු රජාණන් වහන්සේ මෙසේ ද දේශනා කළ සේක. “විටෙක මේ පංචේන්ද්‍රියයන් අපට සුවදායකයි. ඒත් තවත් විටෙක ඒවා නිසාම කටුක අත්දැකීම් ලැබෙනවා. ඒ අත්දැකීම්වලට විරුද්ධ නොවී නොකිපී ඉන්නට පුළුවන් නම් එය තමයි ඉවසීම හැටියට උන්වහන්සේ දක්වන්නේ. මෙලොව සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි, දුක්‍යයි, අනාත්මයි. මේ ත්‍රිලක්ෂණයට යටත් නොවන කිසිවක් මේ ලොව නැහැ.

අනිත්‍යයි කියන්නේ වහා අභාවයට යාම. දුකයි කියන්නේ පීඩා ඇතිවීම. ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා ගියාම ඉතිරි වන කිසිවක් නැහැ. අනාත්ම ලෙසින් හඳුන්වන්නේ තමන් කැමැති ආකාරයට පත්වන්නට පුළුවන් කමක් නැතැයි යන්නයි. මේ හේතූන් නිසාවෙන් අපේ රුචි අරුචි කම්වලට අනුගතව ලෝකය පවතින්නේ නැහැ.

පෘථග්ජනයා

පෘථග්ජනයා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් අතර එක්තරා කොටසක්. එනම් මමය, මාගේය කියලා වෙන් කරන තැනැත්තායි. පින්වතුනි ඔබ තමන් කැමැති දේ සිද්ධ වෙනකොට සතුªටු වෙනවා. තමන් අකැමැති දේවල් සිද්ධ වෙනකොට දුකට දොම්නසට පත්වෙනවා. ඒත් තමන් කැමැති දේවල් සිදුනොවන අවස්ථාවන්හිදීත්, අකැමැති දේවල් සිදු වන අවස්ථාවන්හිදීත් මනසෙහි පහළවන විරෝධය ඒ ආකාරයෙන් මතු වී එන්නට නොදී සමනය කරගන්නට පුළුවන් නම්, එය තමයි ඉවසීම කියලා අදහස් කරන්නේ.

ඉවසීමේ සීමාව

බොහෝ දෙනා ඉවසීම ප්‍රගුණ කරන්නට උත්සාහ දරනවා. මනස තුළ ආවේගය මතුවෙනවා. නමුත් ඒවා පිටකරන්නේ නැතිව බලහත්කාරයෙන් හිර කරනවා. යම් කෙනෙක් මේ විදිහට හිටියත් ආවේගය එළියට මතුවන අවස්ථා එනවා. බොහෝ දෙනා කියන එකක් තමයි ‘ඉවසීමෙහි සීමාවක් තියෙනවා’ , ‘ඉවසල ඉවසල බැරිම තැන තමයි මම එහෙම කළේ’ කියලා. නිවැරැදිව ඉවසීම හඳුනාගෙන ප්‍රගුණ කළා නම් දිනෙන් දින ඒ ගුණය වැඩි විය යුතුයි. ඉවසීමේ සීමාවක් තියෙනවා කියලා ඒ සීමාව පෙන්වා දී කුපිත වීම සුදුසු දෙයක් නොවෙයි. ඔවුන් සිදුකර තිබෙනුයේ බලහත්කාරයෙන් දරාගෙන, ඒවා පිටට එන්නට නොදී හිර කරගෙන හිඳීම පමණි. ඇත්තෙන්ම ඉවසීම තිබුණා නම් අර බොහෝ දුර අතීතයේ දේවල් නැවත නැවත සිහි කරලා ඒවාට දොස් නඟන්නට හේතුවක් නැහැ.

පින්වතුනි, ඔබ කළයුතු වන්නේ කාරණය නිවැරැදිව තේරුම් අරගෙන මනසේ මතුවෙන ආවේගය සමනය කරගෙන මනස සන්සුන් කර ගැනීමයි.

ඔබට හිතෙනවා ඇති බාහිරින් පැමිණෙන්නා වූ හිරිහැර ඉවසන්නේ කොහොමද කියලා. බාහිරින් අපට සීතල, උණුසුම පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම මැසි මදුරු උවදුරු පැමිණෙන්නට පුළුවන්. ඒවා ඉවසන්නට බැරි වුණොත් ඒ හැම මොහොතකදීම නුරුස්නා බව කෝපය මතුවෙලා කෙලෙස් ඈත් වේ. අද කාලයේ මදුරුවන්ට කන්න ඉඩ දීලා අප බලා ඉන්න බැහැ. ඩෙංගු වැනි බරපතළ රෝග පීඩා වැලඳෙන්න පුළුවන්. ඔබ කළයුත්තේ ඒවා වළකාලන්නට උපක්‍රම යෙදීමයි.

අටලෝ දහම

අන් අයගෙන් අපට අහන්නට සිදුවන කටුක වචන, අපවාද, ඇනුම්, බැණුම්, චෝදනා වැනි දේවල්වල දී ඉවසන්නට පුරුදු විය යුතුයි. සමාජය හා ගැටීමේ දී අපට ඕනෑ තරම් එබඳු දේ අහන්නට අත්විඳින්නට සිදු වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ නුවණ ඇති කෙනාටත් නුවණ නැති කෙනාටත් පොදුවේ හැම කෙනාටත් ලෝක ධර්ම අටකට මුහුණ පාන්නට සිදුවෙනවා කියලා. එසේ නම් ප්‍රශංසා වගේම නින්දාවලටත් හැම කෙනකුටම ජීවිතයේ යම් යම් අවස්ථාවල මුහුණු දෙන්න සිදුවේ. ඔබ අන්න ඒ විදිහට අනුන්ගෙන් අපි අහන්නට අකැමැති ඇණුම් බැණුම්, චෝදනා ගර්හා නින්දා අපවාද ආදිය තමන් වෙත පැමිණෙන විට එයට කුපිත නොවී දරාගන්නට පුහුණු වෙනවා ද? එය ඉවසීමේ ප්‍රතිපදාවයි.

අතීත පුරාවෘත්තයක සඳහන් පරිදි නිදසුනක් දක්වන්නම්,

එක්තරා ස්වාමීන් වහන්සේ නමකට රාත්‍රී කාලයේ උදරයේ තදබල වාත අමාරුවක් ඇතිවුණා. ඒක දරාගන්නට බැරිව උන්වහන්සේ ඒ මේ අත පෙරළෙනකොට වෙනත් තෙරුන්වහන්සේ නමක් කියනවා “ඇවැත්නි පැවිද්දා ඉවසීම පුරුදු පුහුණු කරන කෙනෙක්. ඒ නිසා මේ වේදනාවෙන් ඇඹරෙන්නට, නළියන්නට සුදුසු නැහැ. ඔබ වහන්සේ ඉවසීම ප්‍රගුණ කරන්න” කියලා. ඒ කතාවෙන් පසු වේදනාවෙන් සිටි ස්වාමීන් වහන්සේ වේදනාව ඉවසීමෙන් දරාගන්නවා. අන්තිමේදී අර ස්වාමීන් වහන්සේගේ උදරය පුපුරා යනවා. ඒ තදබල වේදනාව ඉවසා දරා සිටි උන්වහන්සේ විදර්ශනාව වඩා අනාගාමී ඵලයට පත්ව අපවත් වූ බව කියැවෙනවා. එම කතා පුවතින් අපට සිහිපත් කරනුයේ ඉවසීම සරලව පටන්ගෙන ගැඹුරින් පුරුදු වූ කළ තමන්ට කයට පැමිණෙන මාරාන්තික වේදනාවලදී පවා දරාගෙන සිටිය හැකි බවයි.

මේ විදිහට කියනකොට

කෙනකුට හිතෙන්න පුළුවන් ඔය කියන ලෙසින් ඉවසීම අපි කොහොම කරන්න ද කියලා. ඇත්ත සාමාන්‍ය කෙනකුට එය තරමක් අපහසුයි. නමුත් අවශ්‍ය පමණට ඉවසීම පුරුදු නොකරන කෙනාට කෙලෙස් නසන්න පුළුවන්කමක් නැහැ.

අද සමාජයේ බොහෝ දෙනකුට අවශ්‍ය පමණ ඉවසීම නැහැ. දරාගැනීමේ හැකියාව නැහැ. පලා යන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට හෝ ගැලවෙන්නට හෝ මං හොයන්නේ ඒවා දරාගන්න, ඉවසන්න මනස පුහුණු කරලා නැති නිසයි.

පින්වතුනි, මේ සසර දුකින් නිදහස් වන්නට නම් පුළුවන් තරම් ඉවසීමම ප්‍රගුණ කරගත යුතුයි. තමන්ට ඉවසීම අපහසු කොතැන ද, එය මැනවින් හඳුනාගෙන ඒ තුළත් ඔබ කළ යුතුවන්නේ ඉවසීමමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.