වෛර නොකරන්නා ලොවම ජය ගනී

ක්‍රෝධය මිනිසකුඋන්මත්තකයකු කරවයි
නොවැම්බර් 20, 2019

නහි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවේරේනච සම්මන්ති
ඒස ධම්මෝ සනත්තනෝ

පින්වතුනි, ඔබ මේ බණ පදය හොඳින් අසා ඇති. මේ බුද්ධ දේශනාව මෙයට වසර දෙදහස් පන්සියයකටත් වඩා පැරැණිය. එහෙත් එහි සත්‍යතාව අදටත් එලෙසමය.

නුතන සමාජයේ බොහෝ දුක් කම්කටොළු හමුවේ ජීවිතය ගෙන යන මනුෂ්‍යයා ධාර්මික දිවි පෙවෙතක ගෙන යන්නේ නම් ඉන් නිසැකවම අත් මිදිය හැකිය.

අප ශාන්තිනායක තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවන විහාරයෙහි වැඩ සිටියදී එක්තරා වඳ ස්ත්‍රියක් මුල් කරගෙනයි මෙම ගාථාව දේශනා කර තිබෙනුයේ.

මෙහි සරල අදහස වනුයේ කිසිදා වෛරයට වෛර කිරීමෙන් එහි සංසිඳීමක් නැති බවත්, වෛර කරන්නාට අවෛර කිරීමෙන් පමණක් වෛරය සංසිඳෙන බවත්ය.

වෛර කරන්නා සසර ගමන කෙතරම් දුක්බරව ගෙන යන්නේදැයි පින්වත් ඔබට පහත සඳහන් නිදාන කතාවෙන් අවබෝධ වේවි.

එදවස දෙව්රම් වෙහෙර සමීපයේ අඹුසැමි දෙපළක් වාසය කළා. ඔවුන්ට එක් කුල පුත්‍රයෙක් සිටියා. පියා මිය යෑමෙන් අනතුරුව මවගේ ඉල්ලීම පරිදි පුතා භාර්යාවක් ද ගෙනාවා. ඇය දරුඵල නැති වඳ තැනැත්තියක්. මව තම පුතාට තව භාර්යාවක් ගෙනාවා. කල්යාමේදී ඇයට දරු සම්පත් ඇති වුණා. මේ කරුණ කෙරෙහි වෛර සිතක් ඇති කරගත් වඳ භාර්යාව කල්පනා කළා “මැයට දරුවන් ලැබුණොත්, මාව මෙහෙකාර කමට ගනියි. සියලු වස්තුව ඇයට හිමිවෙයි” එසේ සිතා, මිත්‍ර ලීලාවෙන් දරු සම්පත නැති කිරීම සඳහා උපාය යෙදුවා.

දෙවැනි වතාවේ ද දරු ගැබක් හටගෙන ඇති බව දැක එය ද විනාශ කිරීම සඳහා උපාය යෙදුවා. තෙවැනි වර දරුවකු පිළිසිඳගත් බව ඇයට නොකියාම සිටියා. මහත් වූ උදරය දුටු වඳ භාර්යාව කල්පනා කළා. “ඇය මට මෙවර දැන්නුවේ නැහැ. නමුත් මා මෙවර ද දරු ගැබ විනාශ කරනවා.” කියා. එම අදහස ඇතුව ආහාර සමඟ විස බෙහෙත් දුන්නා. මෝරා ඇති දරු ගැබ හෙළීමට නොහැකි වූමුත් දරුවා මිය ගියේය.

එහිදී ඇය “තී මගේ දරුවන් තුන්දෙනාත් නැසුවා. දැන් මාත් නැසෙයි. මා මෙයින් නික්ම දරුවන් කෑමට සමර්ථ වෙම්වායි” ප්‍රාර්ථනා කොට මිය ගියා. ඇය මිය ගොස් ඒ ගෙදරම බැළලියක්ව උපන්නා. සැමියාගේ පහර දීමෙන් වඳ භාර්යාවද මිය ගොස් ඒ ගෙදරම කිකිළියක්ව උපන්නා. කිකිළිය දමන බිත්තර දෙවතාවක්ම මේ බැළලිය කා දැම්මා. තෙවැනි වරද කිකිළිය දැමූ බිත්තර බැළලිය කා දැමුවා.

කිකිළිය වෛර බැඳ මිය ගොස් දිවි දෙනක්ව උපන්නා. බැළලිය මිය ගොස් මුව දෙනක්ව උපන්නාය. එහිදී මේ දිවිදෙන දෙවතාවක් පැටව් ද, තෙවැනි වර පැටව් හා මුවදෙන ද කා දැම්මාය. මුව දෙන වෛර බැඳ මියගොස් යකින්නියක් වී උපන්නාය.

දිවි දෙන මියගොස් සැවැත් නුවර කුල දුවක්ව උපන්නාය. යකින්නිය විසින් පෙර සේ දෙවතාවක්ම කුලදුවගේ දරුවන් කා දමන ලදි. තමන්ට අත් විඳින්නට වු විපත් දැන ගත් ඇය තෙවැනි වර ද දරු ගැබක් හටගත් පසු තම මවගේ ගෙදරට ගියහ. දරුවාගේ උප්පත්තියේ සත්වැනි දින නැවතත් තම නිවෙස බලා යන්නේ දෙව්රම් වෙහෙර සමීපයේ ඇති ගඟකින් නෑමෙනි. භාර්යාව නාමින් දරුවා අත තබාගෙන කිරිදෙමින් සිටියි. දියවරෙන් මිදුණු යකින්නිය වහා ගෙදරට ගොස් යෙහෙළිය කොහිදැයි විමසුවාය. එහි නැති බව දැනගෙන ඈ කැමැති තැනක ගියාවේ. මගෙන් බේරීමක් නම් නැතැයි වෛරයෙන් යුක්තව නුවර බලා ගියහ. වේගෙයන් එන යකින්නිය හඳුනාගත් කාන්තාව දරුවා ද රැගෙන ඇතුළු විහාරයට දුවගෙන ගියාය. බුදුරජාණන් වහන්සේ පිරිස මැද දහම් දෙසමින් වැඩ සිටියාහුය. එහිදී “ස්වාමීනි මේ දරුවා ඔබ වහන්සේට පූජා කරමි. මගේ පුතාට ජීවිත දානය දෙනු මැනව“ යි ඉල්ලා සිටියාය.

විහාර දොරටුවෙන් ඇතුළුවීමට බැරි වු යකින්නිය බුදුන් වහන්සේගේ නියමයෙන් අනඳ හිමි විසින් කැඳවාගෙන ආවේය. යකින්නිය පැමිණි පසු “ඇයි මෙසේ වෛර කරන්නේ” විමසූහ.

එහිදී දැනගන්නට ලැබුණේ හැම තැනකම ඇති වූ හේතූන්ට මූල බීජය පළිගැනීම, ක්‍රෝධය හෙවත් වෛරය බවයි. ක්‍රෝධ කිරීම හේතුවෙන් ශරීර වර්ණය ද අවලක්ෂණ වන බව මල්ලිකා බිසවගේ චරිතයෙන් දැක ගත හැකියි.

පින්වතුනි, ධර්මයේ සඳහන් පරිදි ක්‍රෝධය ඇති වීමට කරුණු කීපයක් බලපානවා. එනම් තමන් හට පෙර අනර්ථයක් කිරීම, තමන්හට දැන් අනර්ථයක් කිරීම, තමන්හට මතු අනර්ථයක් කිරීම, තම හිතවතකුට පෙර අනර්ථයක් කිරීම, තම සතුරකුට පෙර අනර්ථයක් කිරීම, තම හිතවතකුට දැන් අනර්ථයක් කිරීම, තම හිතවතකුට මතු අනර්ථයක් කිරීම.

මංගල කරුණු අතර ඉවසීම එක් මංගල කරුණකි. දසරාජ ධර්ම අතර ඉවසීම එක් රාජ ධර්මයකි. “කුද්ධො අනත්ථා න ජානති, කුද්ධො ධම්මං න පස්සති” ක්‍රෝධය මිනිසාගේ ප්‍රකෘති සිහිය වෙනස් කොට උන්මත්තකයකු බවට පත් කරන පාප කර්මයකි.

පින්වතුනි, ඔබ සැම විටම ප්‍රඥාවන්තයකු වන්න. මන්ද ප්‍රඥාවන්තයා තම සිතෙහි වෛරය ක්‍රෝධය ආදි සිතිවිලි පැමිණි කළ එයින් මිදී තම සිත සැහැල්ලු කර ගනී.

එලෙසින් ඉවසන තැනැත්තාට ලැබෙන ආනිසංස පහකි.

* ඉවසන තැනැත්තා බොහෝ දෙනාට ප්‍රිය මනාප වේ.

* ක්‍රෝධ සිතිවිලි නැති වේ.

* වැරැදි අඩුවෙන් කරන තැනැත්තකු වේ.

* මරණයට පත්වන විට සිහි මුලාවෙන් තොරව පිරිසුදු සිහියෙන් යුතුව මරණයට පත්වීමට හැකි වේ.

* එය මරණින් පසු යහපත් ප්‍රතිසන්ධියක් ඇතිකර ගැනීමටත් දෙව්ලොව ඉපදීමටත් හේතු වේ.

මිනිසා තුළ ඇතිවන වෛරය නිසා සුළු සුළු වචන හුවමාරුවීම්වලදී ඇතිවන විනාශයන් ද බොහෝය. මේ හැම දේකටම හේතුව එක් අයක් පරයා අනෙකා ජය ගැනීමට සිතා ක්‍රියා කිරීමයි. මේ නිසාවෙන් ඔවුන් තුළ ද්වේෂයක් හෙවත් පළිගැනීමේ චේතනාවක් ඇති වේ. සාකච්ඡා කොට විසදා ගත හැකි බොහෝ ප්‍රශ්න දුරදිග යන්නේ එබැවිනි.

පින්වතුනි, වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නේ නැත. අවෛරයෙන් වෛරය ජයගන්නා ලොවම ජයගනී.

 

අනුශාසනාව

රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය රදාවඩුන්නේ

ශාන්ත අමරනන්ද

ස්වාමීන් වහන්සේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.