ආර්ය ගුණ පිහිටුවා ගත් ඔබට මිහිපිට දෙවියකු විය හැකියි

නොවැම්බර් 27, 2019

'සන්තුට්ඨි පරමං ධනං' සතුට පරම ධනයයි. එහෙත් අපි මේ ලබන්නේ පරම සතුට ද යන්න සොයා බැලිය යුතුය. අවිද්‍යාවෙන් පිරුණ සමාජයක් බාහිර දේවල් ඔස්සේ සොයා යන සතුට නම් ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කළ “පරම සතුට” නොවන බව අවධාරණය කළ යුතුය.

එවැනි සතුටක් සෙවීමට එකම මඟ නම් ‘පංච ශීලය’ තුළ ජීවත් වීමයි. ඒ තුළින් සම්මා දෘෂ්ටියෙන් ලොව දෙස බැලීමට පුරුදු වන විට සිත නිවා සැනසිය හැකියි.

පින්වතුනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය ද ඔබ උත්තම මිනිසකු කරයි.

 

සම්මා දිට්ඨි - යහපත් දැකීම

සම්මා සංකප්ප - යහපත් සංකල්පනා

සම්මා වාචා - යහපත් වචන

සම්මා කම්මන්ත - යහපත් ජීවන

මාර්ගය

සම්මා ආජීව - යහපත් ජීවත්වීම

සම්මා වායාම - යහපත් උත්සාහය

සම්මා සති - යහපත් සිහිය

සම්මා සමාධි - යහපත් එකඟකම

 

යහපත් දැකීම

යහපත් දැකීම තුළ ජීවත් වන පින්වත් ඔබට මේ තුන් ලෝකයේ තිබෙන එකම ශක්තිය තෙරුවනයි. එවැනි ආර්ය මාර්ගයේ ගමන් කරන පින්වතුන් නැකැත් බලන්නේ නැත. නොපෙනෙනා දෙවියන් පිටුපස යන්නේ නැත. බුදුන් වදාළ ධර්මයට ගරු කරයි. ‘ආමිස පූජාව’ පමණක් නොව ‘ප්‍රතිපත්ති පූජාව’ තුළ ජීවත් වේ.

නිවැරැදි සංකල්පනාව

පළමු ආර්ය මාර්ගයේ ආකර්ෂණය මේ දෙවැනි ආර්ය මාර්ගය පාදා ගැනීමට උදවු වේ. මේ පින්වතා සිතන්නේ, කල්පනා කරන්නේ ද හැම විටම නිවැරැදි ආකාරයටයි. හැමවිටම කුසල් රැස්කරගෙන සියලු සත්ත්වයන් තමන්ගේ දරුවා හා සමානව ජීවත්කර වීමට උත්සාහ දරයි. ඒ නිසාම එවැනි පුද්ගලයන් මරණින් පසු සුගතිගාමී වේ. මේ නිවැරැදි සංකල්පනාව නිසාම නිවැරැදි ප්‍රාර්ථනා නිසාම මෙලොව , දෙලොව දිනා ගත හැකියි.

යහපත් වචන

තම ජීවිතයට හානියක් වුවත් වැරැදි වචනයක් භාවිත නොකරනවා මෙන්ම දුකේ දී මෙන්ම සැපේදීත් උපේක්ෂාවෙන්ම සිටිය යුතුය. පිසුනා වාචා, පරුෂා වාචා, සම්ප්‍රප්ප්‍රලාපා ආදී සියලුම ශිල්ප දිවි දෙවැනි කොට ආරක්ෂා කරන පුද්ගලයාට යහපත් වචන කතා කළ හැකියි. ඔහු මේ ජීවිත රටාව තුළ වචනයකින්වත් කෙනකුගේ සිත නොරිදවන ආකාරයට ජීවත්වෙයි.

යහපත් ජීවන මාර්ගය

තමන් කොපමණ අසරණව ජීවත් වූවත් වැරැදි මාර්ගයකට පිවිසෙන්නේ නැත. එවැනි මාර්ගවල තිබෙන වැරැදි දකිමින් ඉන් ඈත්වීමට මොවුන් උත්සාහ ගනී. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව වැරැදි ජීවන ක්‍රම කීපයකි.

 

* වස විස වෙළෙඳාම

* මත්පැන් මත්කුඩු වෙළෙඳාම

* මස් පිණිස සතුන් ඇති කිරීම

* මස් මාංස වෙළෙඳාම

* ආයුධ වෙළෙඳාම

* වහල් වෙළෙඳාම

ගෞතම බුදු රජාණන් වහන්සේ එක් ආත්මයක කුඹල් කර්මාන්ත කරන පවුලක ඉපිද අඳ මවුපිය දෙදෙනා රැකීමට හැලි වළං තැනූයේ මීයන් හාරා ඉවත දමන මී ගුල්වල පස් වලිනි. එපමණක් නොව එක දිනක් අම්මාටත්, තාත්තාටත් තමාටත් ජීවත් වීමට පමණයි කර්මාන්තය කළේ. අමතරව වැඩි මුදලක් සෙවීමට තම කර්මාන්තය ආයුධයක් කරගත්තේ නැත. නිවැරැදි ජීවන මාර්ගය අනුගමනය කරන පින්වතුන් සිත, කය, වචනය නිවා ගනිමින් සැනසේ.

යහපත් උත්සාහය

 

ඔබ හැමවිටම වෑයම් කළ යුත්තේ බාලයකු සේ ජීවත් නොවීමටත් පණ්ඩිතයකු සේ ජීවත් වීමටත්ය. එබැවින් අලුයම කළ යුත්ත අලුයමත්, දවාලයේ කළ යුත්ත දවල් කාලයේ දීත්, සවස් කාලයේ කළ යුත්ත සවස් කාලයේ දීත් නිම කළ යුතුයි. මෙසේ කිරීමෙන් වැඩ අතපසු නොවේ.

 

අනුශාසනාව

රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය රදාවඩුන්නේ

ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ

 

2019/11/27 තරුණි බලන්න

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.