සංසාර ගමනේ රැකවරණය ඔබටත් හිමි ද?

දෙසැම්බර් 11, 2019

සසර කතරේ අතරමං වී සිටින අප ඉතා ටික කලකට තාවකාලිකව මිනිසත් භවය ලැබ තිබේ. මේ තාවකාලික අම්බලමේ ගිමන් නිවාලමින් සිටින අතරතුර එයින් එතෙරවීමට මඟ සලසා ගත යුතුයි. ලද මිනිසත් බවින් උතුම් ඵල ලැබිය යුතුයි.

අප මෙහෙයවනු ලබන්නේ අරමුණුවලිනි. පින්වතුනි, මේ විශ්වයේ මෙන්ම සොබා දහමේ නීතිය වන්නේ ද යහපත් අරමුණු ඇත්තා රැකීමයි. ඉඳින් ඔබ නිතැතින්ම යහපතටම යොමු විය යුතුයි.

පින්වතුනි, බුදු රජාණන් වහන්සේගේ ධර්මය මේ මනුෂ්‍ය ලෝකය ගැන විතරක් නොවේ. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක ආදිය ගැනත් සඳහන් වෙනවා. කර්මානුරූපව ඒවායේ උපතක් කරා යන ආකාරය ගැනත් මේ ධර්මය තුළින් උන්වහන්සේ පෙන්වා දෙනවා. ධර්මය ගැන වැටහීමක් නැති, ශ්‍රද්ධාවක් නැති බොහෝ දෙනා මේ පිළිබඳ විශ්වාස කරන්නේ නැහැ. දිව්‍ය ලෝක ගැන සතර අපාය ගැන කතා කළොත් “ඕවා කොහෙද තියෙන්නෙ ? ඔය ඔක්කොම තියෙන්නෙ මෙහෙනෙ” කියලා මිථ්‍යා දෘෂ්ඨියක ඉන්නවා. මේ හේතුවෙන් බොහෝ දෙනකුට ලැබූ මනුෂ්‍යත්වයේ සුන්දරත්වය අත්විඳීමට ඇති වාසනාව අහිමි වී තිබේ. එවැනි අයගේ ජීවිත අවාසනාවන්ත ලෙස අමනුෂ්‍ය ග්‍රහණයට අසු වේ.

ඇත්තෙන්ම මේ තත්ත්වය හරිම ශෝචනීයයි. අමනුෂ්‍ය ග්‍රහණයට අසුවූ විට ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නෙ උත්සාහයත්, වීර්යයත් තියෙන අයට විතරයි. බොහෝ දෙනෙක්ට අමනුෂ්‍ය ග්‍රහණයෙන් ගැලවෙන්නට බැරිව අමනුෂ්‍යයන්ගේම ගොදුරු බවට පත්වෙනවා.

මේ සංසාරයේ තිබෙන ඇත්තම ස්වභාවය කොයි ආකාරයක එකක් ද කියලා බුදු රජාණන් වහන්සේ සංයුත්ත නිකායේ දේශනාකර තිබේ. මේ මනුස්ස ලෝකේ කෙනෙක් මරණයට පත්වුණාට පස්සේ එයාට කොයි වගේ ඉරණමක් ද අත්වෙන්නෙ කියලත් පෙන්වාදී තිබේ.

ලබාගැනීම පහසු නොවේ

එදා බුදු රජාණන් වහන්සේ මහ පොළොවෙන් පස් ස්වල්පයක් නිය සිල මතට අරගෙන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා “පින්වත් මහණෙනි, ඔබ මොකක් ද මේ ගැන හිතන්නෙ ?” තථාගතයන් වහන්සේගේ නිය සිල මත තියෙන පස් ද විශාල ? මේ මහ පොළොවේ තියෙන පස් ද? කියලා. භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ නිය මතුපිට තිබෙන පස් ඉතා ස්වල්පයයි. මහ පොළොවේ අති විශාල පස් ප්‍රමාණයක් තියෙනවා කියලා. එවිට බුදු රජාණන් වහන්සේ දේශනා කරනුයේ, පින්වත් මහණෙනි, මේ මනුස්ස ලෝකෙ ජීවත්වෙන මිනිසුන් අතරේ මරණයට පත්වුණාම ආයෙමත් මනුස්ස ලෝකෙ උපතක් කරා එන්නෙ තථාගතයන් වහන්සේගේ නිය සිල මත තියෙන පස් ප්‍රමාණය වගේ සුළු පිරිසක්. මේ මහ පොළොවේ තියෙන පස් වගේ අති විශාල ප්‍රමාණයක් මිනිස් ජීවිත ගෙවා මරණින් මත්තෙ නිරයේ උපතක් කරා යයි. අමනුස්ස ලෝකවල, පේ‍්‍රත ලෝකවල උපදී.

 

 

අනුශාසනාව

රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය රදාවඩුන්නේ

ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ

 

2019/12/11 තරුණි බලන්න