මරියතුමිය ආදර්ශයට ගත හැකි නම් මේ උදාවූයේ ඔබේ ජීවිතයේ සොඳුරුතම නත්තලයි

දෙසැම්බර් 25, 2019

ගරු එඩ්මන්ඩ් තිලකරත්න පියතුමා

(අගරදගුරු, ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්ෂ)

ලොව මැවූ දා පටන් මිනිසුන්ගෙන් සිදුවුණු පාප සහ අකීකරුකම් වෙනුවෙන් දෙවියන් වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත් ක්‍රිස්තුතුමන් කන්‍යාවකගේ කුසින් මෙලොවට එවා වදාළ සේක. අපි නත්තල යනුවෙන් සමරන්නේ ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සාමයේ කුමරුවාගේ උපතයි.

ජුසේතුමා සහ මරියතුමිය කිතු සමිඳුන්ගේ පියාණන් සහ මෑණියන් ය. ගාබ්‍රියෙල් දේව දූතයාණන් විසින් “නමෝ මරියනි, පි‍්‍රය ප්‍රසාද පූර්ණවන්තියනි, ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය” යැයි දැන් වු විට මරියතුමියගේ පිළිතුර වූයේ “මේ මම ස්වාමීන් වහන්සේගේ දාසීමි. ඔබ කී වචන ලෙස මට සිදුවේවා..” යන්නයි.

ඉදින් මේ අපූර්ව සිදුවීම සනිටුහන් කරන තවත් නත්තලක් උදාවී ඇත. සොබා දහමේ සිසිලස ද බාහිර ලෝකයේ අසිරිය ද වෙළෙඳ ලෝකයේ මතුවූ බඩු බාහිරාදිය ද මඟින් නත්තල් සිරිය කියාපායි. කිතුණු ජනතාව මේ සියලු කරුණු කාරණා මැද නත්තලේ ආත්මය ලෙස ගැනෙන ජීවිතයේ මහිමය සැබෑ ලෙස සුරකින්නටත් ඊට බුහුමන් දක්වන්නටත් ලක ලෑස්තිවන්නේ ආධ්‍යාත්මිකව මෙම සිද්ධිය ස්මරණය කරමිනි.

සියලු කතුන්ට ආදර්ශවත් මරියතුමිය

ජේසුස් වහන්සේ මෙලොවට බිහිකළ මවුතුමිය නත්තල් සමයේ අපට අමතක කළ නොහැකිය. එතුමිය සතුව තිබූ නිහතමානීත්වය සේම උතුම් ගුණ කන්දරාව නිසාම දෙවියන් වහන්සේ එතුමිය ජේසුස්වහන්සේගේ මවු පදවියට තෝරාගත්හ. මුළුමහත් ලෝකයේ ම දුක් විඳින ජනතාවගේ ගැලවුම්කරුවා බිහිකිරීමට ලැබීම කාන්තාවක් වශයෙන් මරියතුමියට මහත් අභිමානයකි. ඒ අභිමානය එතුමිය යහපත පිණිසම කටයුතු කළාය. එහෙත් අද සුළු සිද්ධීන් පවා මුල් කොටගෙන මාන්නයෙන් ඉදිමී අත්තනෝමතිකව කටයුතු කරන්නෝ බහුලව සිටිති. උතුම් නත්තලක් උදාවන මෙවන් මොහොතක මනුෂ්‍යයා මනුෂ්‍යයාට ආදරය කිරීම උගත යුතුය. සාමයේ පණිවුඩය බෙදාලන නත්තල තුළින් එකිනෙකාට උදවු උපකාර කරගෙන ජීවිත යහපත් කරා රැගෙන යන සමාජයක් වේ නම් එතැන සැබෑම නත්තලකි.

මුදලට යට නොවීම

ජේසුතුමා ඉපදුණේ මිනිසුන් වෙනුවෙනි. මහා මන්දිරවල ඉහළින් සමරන නත්තල ඔවුනොවුන් අතර ද තරගකාරීත්වය ඇති කර තිබේ. අනෙකා සමරනවාට වඩා ඉහළින් වියපැහැදම් කරමින් පුහු අනුකාරකයන් වන්නට නත්තලෙහි පෙලඹවීමක් නොමැත. සැබෑ නත්තල දිළින්දාට සුබාරංචියකි. දුප්පතුන්, අසරණයන් වෙනුවෙන් තමනට හැකි පරිදි කෑම බීම, ඇඳුම් පැලඳුම් මෙන්ම හිසට සෙවණක් තනාදීමට හැකි නම් එවන් අය අතර නත්තල හැමදාමත් පවතී. නත්තල ජනපි‍්‍රය සංස්කෘතිය විසින් හොඳින් ආහාරපානවලින් සන්තර්පණය වන දෙයක් බවට ද පත්කර ගෙන තිබේ. එහෙත් නත්තලේදී ඔබෙන් අනුනට ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්නට ගන්නා උත්සාහ බෙහෙවින්ම වටී. ඔබ ඉදිරියේ වෙළෙන්දන් මවා තිබෙන්නේ සර්ව පිත්තල නත්තලකි. එය බැබළෙන නමුත් තාවකාලිකයි. ඔබ ඉන් මිදෙන්න. විසිතුරු මැවුම් තාවකාලික බව අවබෝධ කර ගන්න.

ගවලෙනෙහි අසිරිය

ජේසුස් වහන්සේ ඉපදුණේ පුංචි ගවහලකය. අද වෙළෙඳ සමාජය දිරි දී තිබෙන්නේ එම ගවහලත් මන්දිරයක සිරි ගන්නට නිමකිරීමටයි. මොඩිෆයි කිරීමටයි.

මේ සංකර ජීවිතය ඔබ ගෙන යන්නේ නිවැරැදි මාවතට නම් නොවේ. ගවලෙන නිර්මාණයේ දී ගොයම් පැළ තැබීම සම්ප්‍රදායයි.

එයින් අදහස් කරන්නේ ජේසු බිලිදාණන් අප ජීවිතවලට දෙන පෝෂණයයි. ජේසු බිලදාගේ උපතෙන් තහවුරු වූ සාමයෙන් ලෝකය පෝෂණය වේ යන්නට අදහස් වේ.

නත්තල් ගස

නත්තල් ගස යනු ඇති අය නැති බැරි අය හා බෙදාගැනීමට යොමු කරවන බෙදාදීමේ සංකේතයකි.

සුබ පැතුම් පත්

ශ්‍රී ලාංකිකයන්ට වෙසක් සුබ පැතුම් පත ඉතා සමිපය. එසේම යුරෝපීය අත්දැකීමට අනුව කිතුණු ජනයාට නත්තල් සුබ පැතුම් පත සමීපය. එහෙත් වර්තමාන නත්තල් සුබ පැතුම්පත්වල සැබෑ නත්තලේ කතාව දක්නට ඇත්තේ ඉතාමත් අඩුවෙනි. වස්ත්‍ර නැති අයට වස්ත්‍ර බෙදාදීම, කුසගිනි වුවන්ට ආහාර සැපයීම යන දයාවේ ක්‍රියා ඇතුළත් සුබ පැතුම්පත් වේ නම් එය අපූරුය.

නත්තල් සීයා

සෙන්ට් නික්ලස් යන නම අද ‘සැන්ටා ක්ලෝස්’ ලෙස ප්‍රචලිතය. මේ පුද්ගලයා තුර්කියේ ගුරුවරයෙකි. එතුමා දුපපත් අයට ආදරය කළ අයෙකි. විවාහවීමට දෑවැද්ද සොයාගැනීමට අපහසු වූ යුවතියන් තිදෙනකුට එතුමන් රන් කාසි මලු තුනක් දුන් බව කියැවේ. දුප්පතුන්ට ධනවතුන් විසින් යමක් ලබාදිය යුතුය යන අදහස ‘නත්තල් සීයා’ ගෙන් කියැවේ.

වර්තමානයේ ඇතැමුන් සමරන නත්තල තුළ සත්‍ය වශයෙන්ම නත්තලක් නම් නැත. දක්නට ඇත්තේ හෝලි වළලු, බල්බ් පිරි සැරසිලි පමණි. ඇතැම් ස්ථානවල ජේසුස් වහන්සේ, මරියතුමිය, ජුසේතුමා, ගවලෙන සංකේතවත් වන්නේත් නැත. ඓතිහාසික සිදුවීම පසෙකට ලා හුදෙක් විනෝදවීමක් පමණයි අද ඇත්තේ.

දෙවියන් වහන්සේගෙන් මිනිස් සංහතියට ලැබුණු ලොකුම තෑග්ග තමයි ජේසුස් වහන්සේ. කතෝලික බැතිමතුන් තුන් කාල ආරාධනා ලෙසින් දිනකට තුන් වරක් යාඥා කරනු ලබනවා. එහිදී ක්‍රිස්තුස් වහන්සේගේ මිනිසත් බවයි, මිනිසාට දුන් ආදරයයි සිහි ගන්වනු ලබනවා.

නත්තලට තෑගි ලබාදෙන්නේ ඒ ආදරය සිහිපත් කිරීමටයි. එසේ නොමැතිව ආත්මාර්ථකාමීත්වය රජයීමට නම් නොවේ. පවුලක් සුරැකීමට නම් ආදරය, කරුණාව, විශ්වාසය, පරිත්‍යාගය, නම්‍යශීලී බව තිබිය යුතුමයි. ජේසුස් වහන්සේගේ ජීවන දර්ශනයෙන් මේ බව මනාවට පිළිබිඹු වෙනවා. ඒ ගුණාංග ඔබ තුළත් පිහිටුවා ගන්නේ නම් පවුල තුළින් සැබෑ නත්තල අත්දැකිය හැකියි.

අඹු සැමියන් අතර ප්‍රේමය ඇතිවන්නේ පරිත්‍යාගය තුළිනි. අනෙකාට ඇති ගෞරවය ඉන් ප්‍රධාන වේ.

මතුපිටින් පෙනෙන හැඟුම්බර බන්ධනය ප්‍රේමය නොවෙයි. ආකර්ෂණය ද ප්‍රේමය නොවෙයි. එකිනෙකා තුළ වූ කැපකිරීම, බෙදා හදාගැනීම, පරිත්‍යාගය, විශ්වාසය තුළයි සදාකාලික ප්‍රේමය පවතින ලබන්නේ මේ සියල්ල මරියතුමිය තුළත් තිබුණා. කාන්තා ඔබ එතුමිය ආදර්ශයට ගන්නේ නම් ආදරණීය සොඳුරු පවුලක හිමිකාරිණිය විය හැකියි. මරියතුමිය වන් උතුම් පරිත්‍යාගශීලී, විශ්වාසවන්ත කාන්තාවක් වන්නට හැකිනම් මේ උදාවනුයේ ඔබේ ජිවිතයේ සොඳුරුතම නත්තලයි.

ඔබ සැමට සාමය, සතුට සපිරි ආදරණීය සුබම සුබ නත්තලක් වේවා!