ණය නොවී ජීවත් වීමට හිතට ගන්න

ජනවාරි 1, 2020

නැවුම් පැතුම්, නැවුම් බලාපොරොත්තු සමඟින් 2020 නව වසර උදාවුණා. ගෙවී ගිය වසර තුළ ඉටුකරගන්න බැරිවුණු බලාපොරොත්තු බොහොමයක් මල්ඵල ගන්වන්න හැකි වසරක් කරගැනීම සැමගේ පැතුමයි.

මොහොතක් සිතන්න, ඔබට මතක් වේවි මේ ලෙසින්ම පසුගිය වසර උදාවූ පළමු දිනයේ් ඔබ තුළ නැවුම් පැතුම් තිබූ බව. එනමුත් දින, සති, මාස ගතවී ඔබටත් නොදැනීම පසුගිය වසර ගෙවී ගියා.

යළි උදාවන වසරේදී පෙර වසර තුළ සඵල කරගත් දේ ගැන සතුටු සිතින් මෙනෙහි කරන්නට හැකි පරිදි ජීවිතය දිනන්නට කටයුතු කළ යුතු වේ. එනම් මේ උදාවු 2020 නව වසරේ මනා සැලැස්මක් අනුව ක්‍රියාත්මක විය යුතුයි.

කාර්යය කළමනාකරණය

උදාවූ වසර තුළ පෞද්ගලික ජීවිතයේ ඉටුකරගන්නට ඇත්තේ මොනවා ද? වෘත්තීමය මට්ටමේ බලාපොරොත්තු, නිවෙස තැනීම, විභාග සාමාර්ථ, විවාහය, පවුල් ජීවිතය යන මේ අංශයන්ගේ ප්‍රවණතාවයක් ගැන සිතිය යුතුය. එහිදී ඔබට නව වසර තුළ හොඳ කාර්යය කළමනාකරණයක් අවශ්‍යයි. මෙවැන්නක් ගැන සිතීම පමණක් නම් ප්‍රමාණවත් නොවෙයි.

ලැයිස්තුගත කළ සටහනක් අවශ්‍යයි. මේ කාලයේ මෙන්න මේ අවශ්‍යතාව මම ඉටුකර ගන්නවා යැයි නියමයක් ඇති කරගන්නට ඕනේ.

සමාජ සේවය

අපි අපටම පමණක් යමක් සිදුකරගැනීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. යහපැවැත්මකට එය බාධාවකි. සමාජ සුබ සාධනය අවශ්‍යයි. අපෙන් සමාජයටත් යම් සේවයක් සිදුවිය යුතුය. අපෙන් සමාජයට සිදුවන සේවාව අනුවයි පෙරළා අපටත් සමාජයෙන් සේවාවක් ලැබෙනුුයේ.

පාරිසරික අවබෝධය

අප බුදුරජාණන් වහන්සේ ඉරට, හඳට, ජලයට, ගින්නට ගෞරව කළා. අපි කොහොමද අලුත් අවුරුද්දේ ජලයට ගෞරව කරන්නේ? ඔබ දැක ඇති අපේ අම්මලා ළිඳෙන් නැවුම් වතුර බෝතලයක් අරන් නිවෙසේ තබනවා. නියමිත වේලාවක් බලා හෝ උදෑසනම ගිනි දල්වා කිරිබතක් පිසිනවා. ඒ ඔවුන් ගින්නට කරන ගෞරවයක්.

මේ වසර පුරාවටම නිවෙසේ බතක් ඉදෙන්නට අතමිට සරු වී ස්වයං පෝෂිත වීම ප්‍රාර්ථනා කරනවා.

අපට හිරු, සඳු නැතිව කිසිසේත්ම ජීවත්වන්නට නොහැකියි. ගහකොළ ඵල දරන්නේ, අව්ව වැස්ස පිහිට වන්නේ අපි ඒවාට දක්වන සැලකිල්ල අනුවයි. බුදු දහමේ අව්ව, වැස්ස, ජලය වෙනුවෙන් පිරිත් කියනවා. ඒවා හිස් ලෙස නොලැබී යාමෙන් එදිනෙදා මිනිස් ජීවිත කෙතරම් අපහසුතාවට පත්වෙනවා ද?

රටක් ලෙස ගත් කළ සමස්තයටම අලුත් අවුරුද්ද පොදුයි. සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු ජාතීන් සාමයෙන් සමගියෙන් කටයුතු කළ යුතුයි. හැම ආගමකටම ගරු බුහුමන් දැක්විය යුතු වේ. ජීවත්වීමට අරමුණක් ඇතිකර ගැනීමට මේ පාරිසරික අවබෝධය මැනවින් තේරුම් ගැනීම හරිම වැදගත්.

ආර්ථිකය

ආර්ථික කළමනාකරණය ජීවිතයට හරිම වැදගත්. අපේ ජීවිතයේ ගෙවුණ වර්ෂය තුළ ආර්ථික පීඩනයට ලක්වූ වාර අනන්තයි. අප්‍රමාණයි. එබැවින් ආර්ථික කළමනාකරණය ගැනත් සිතීම අතිශය වැදගත්.

අවශ්‍යතා න්‍යාය කියලා ආර්ථික විද්‍යාවේ සඳහන් වේ. එනම් මූලික අවශ්‍යතා, ද්විතියික අවශ්‍යතා හා තෘත්‍රික අවශ්‍යතායි.

ඒ අනුව මට මේ වසර තුළ දී ඉටුකර ගත යුතු මූලික අවශ්‍යතා මොනවා ද? කෑම බීම, ඇඳුම් පැලඳුම් මූලික අවශ්‍යතා ගණයට වැටේ. සමාජ සේවාවන්, තරගකාරී ලෝකයේ තමන්ට කැපී පෙනෙන අවශ්‍යතාව තෘත්‍රික අවශ්‍යතායි. බලන්න, ඔබත් මේ ගණයට ඇතුළු වෙන්නට ඇති.

බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ‘සන්තුෂ්ඨිි පරමං ධනං’ සතුට පරම ධනය ලෙස.

දහම හරිහැටි අවබෝධ කරනොගත් අපේ ඇත්තන් බාහිර පුහු ආටෝපය සතුට ලෙස පිළි අරන් තියෙනවා. එහෙත් දරුවනේ සැබෑ සතුට සැනසීම එතැන නැහැ. බලන්න, අද ගොඩක් දෙනකුට අවශ්‍ය වන්නේ ඉන්න හිටින්න ගෙයක් නෙමේ. ලොකු ගෙයක්. ගමනක් යන්න වාහනයක් නෙමේ. ලොකු වාහනයක්.

හැමෝටම පේන්නයි ඕනේ. අනෙකාව පැරැද්දීමට හැල්මේ දුවන කාලයක් වෙලා. මේ දේවල් තමන් සතුකරගන්න ඔබ ණය වෙනවා. ණය ගෙවීමේ ක්‍රමයක් නොමැති වුණොත් ඔබ මොකද කරන්නේ. ඔබ කෙතරම් අසරණ වෙනවා ද? එබැවින් ණය නොවී ජීවත්වීමට උපරිම උත්සාහයක යෙදිය යුතුය. එවිට ජීවිතය සැහැල්ලුයි. ඉතා සාර්ථකයි.

හැමදාමත් ජවය අවශ්‍යයි

අපේ ඇත්තන් ජනවාරි පළමු වැනිදා හරිම ජවසම්පන්නයි. උදෑසනම අවදිවෙලා ආගම සිහිකරලා කිරිබත් පිස ආහාරයට ගන්නවා. අනේ ජනවාරි දෙවැනි දා මල්ලක් අරන් කඩේට යනවා.

මේක තමයි ඔබේ පිරිහීම. තවත් පැත්තකින් දැන් අලුත්ම කලාවක් පුරුදු වෙලා. අල්ලපු ගෙදර ගේන මල් පෝච්චියට වඩා ලොකු මල් පෝච්චි, විශාල මල් ගස්, විශාල මුදල් වැය කරලා ගේනවා. එවැනි පුහු සෙල්ලම් තරග ඔබට ඔබින්නේ නැහැ. ඒ වෙනුවට එළවළු පාත්තියක් හදන්න පුළුවන්. වස විස නැති ආහාරයක් ඔබේ පවුලට ලොකු ආයෝජනයක්. ස්වයං රැකියාවක් ලෙස

පටන් ගන්නටත් හැකියි.

යුතුකම් ගැන හිතන්න

පෙර වසරේ ඔබ අතින් ඉටුවිය යුතු යුතුකම් ඉටුවුවා ද? තම බැඳීම් ශක්තිමත් කිරීමට අදිටන් කරගන්න. ඔබ ආවේගශීලී නම්, අකාරුණික නම් ඒවා මැඩ පවත්වා ගත යුතුයි.

තවකකු තළා පෙළා යන ගමන අවසානයේ ඔබට ද සැනසුමක් නැත.

මේ යහපත් ගුණාංග තුළින්ම ඔබ, ඔබේ ජීවිතයට අවශ්‍ය සෙසු කළමනාකරණයන් ද ලැයිස්තුගත කරගන්න. වසර තුළ දිනෙන් දින ඉලක්ක ගත අරමුණට යන්න.

ඔබට සුබම සුබ නව වසරක් වේවා!

අනුශාසනාව

ශාස්ත්‍රපති, පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ