ප්‍රාණඝාතය භයානක අකුසල කර්මයකි

පෙබරවාරි 5, 2020

උපන් සත්ත්වයකුට හිමි වටිනාම දෙය ද උතුම්ම දෙය ද ශ්‍රේෂ්ඨතම දෙය ද ඔහුගේ ජීවිතයයි. එය ඒ ඒ සත්ත්වයන් විසින් ඔවුන්ගේ අතීත කර්ම ශක්තියෙන් ලත් දායාදය වන බව, බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඉදින් ඔබේ දිවි පැවැත්ම යහපත්වීම උදෙසා යහපත් කල් ක්‍රියාවෙහිම යෙදිය යුතුය.

මිනිසත් බව ලැබ උපන් අපි බොහෝ දෙනෙක් අනවශ්‍ය ලෙස රාග, ද්වේශ සහ මෝහා දී සිතිවිලිවලින් කාලය ගත කරමින් සිත් අකුසල ශක්තියෙන් පුරවා ගනිමින් සිටින්නෙමු. ඒ නිසාම මතු උපදින ආත්මභාවවලදී උතුම් දුර්ලභ මිනිසත් බව ලැබීමට ඇති අවස්ථා මඟහැර ගනිමින් සිටින්නෙමු.

එහෙත් ඒ නිකරුණේ ගතකරන කාලය තුළ බුද්ධ ගුණයක් සිහිකරන්නට පුරුදු කර ගතහොත් අනවශ්‍ය ලෙස රාග, ද්වේශ, මෝහ සිතිවිලිවලින් සිත කිළිටි නොකරගෙන නිකරුණේ ගතකරන කාලය සිත් පහන් කරවන කුසල බලයෙන් ශක්තිමත් කරගන්නට කටයුතු කළහොත් මතු උපදින ආත්ම භවයකදී මිනිසත් බවක්ම ලැබීමට හැකිවනු ඇත.

පින්වතුනි, මේ ලොව ඉපදුණු බුද්ධිමත්ම සත්ත්වයා වන අපට, තවත් කෙනකුගේ හෝ සතකුගේ ජීවිතය බලෙන් පැහැර ගැනීමට හෝ විනාශ කිරීමට අවසරයක් නැත. අයිතියක් ද නැත.

වෙනත් කවරකුට තබා කෙනකුට තමන්ගේම ජීවිතය හෝ විනාශය කරගැනීමට අවසරයක් නැත. එහෙත් අපට දිනකට මෙවැනි සත්ත්ව සහ මිනිස් ඝාතන ගැන බොහෝ අසන්නට ලැබේ.

එවැන්නක් කළහැක්කේ වෛරී සිතක් ඇති කෙනකුට පමණි. සතකුගේ ජීවිතය වෙනත් කෙනකුට අයිතිකර ගත නොහැකිය.

ඇතැම් මිනිසුන් හෝ සත්ත්වයන් නොදන්නාකම නිසාත්, අතීත ජාතියෙහි කරන ලද අකුසල හේතුවෙන් පර පණ නැසීමට යොමු වෙනු දැකිය හැකිය.

ලෝකයේ ජීවි හා අජීවී යනුවෙන් කොටස් දෙකකි. ජීවීන් අතර නානාප්‍රකාර ප්‍රමාණ, පාට, හැඩ ඇති වර්ග බොහෝ වෙසෙති. මේ අතරින් බුද්ධිමත්ම ජීවියා වන්නේ මිනිසාය. බුදු හිමියන්ගේ දේශනාවට අනුව මෙලොව මිනිසත් බව ලැබ ඉපදීම අතිශයින්ම දුර්ලභ අවස්ථාවකි. මිනිසා ඇතුළු මෙලොව උපදින සෑම සත්ත්වයකුටම හිමි වටිනාම දෙය උතුම්ම දෙය මෙන්ම ශ්‍රේෂ්ඨතම දෙය වන්නේ ජීවිතයයි.

මිනිස් ආත්මයක වේවා, තිරිසන් ආත්මයක වේවා උපතක් ලබන්නේ ඒ ඒ සත්ත්වයන් විසින් ඔවුන්ගේ අතීත කර්ම ශක්තීන්ගෙන් ලත් දායාදයක් ලෙස බව බුදුන් වහන්සේ වදාළ සේක.

මිනිසුන් වශයෙන් අපි දැන දැන සතුන් මරන්නේ නම්, අපි ද ඒ හා සමානව පවු රැස්කර ගන්නෙමු.

සත්ත්වයෙක් සෙසු සියල්ලටම වඩා අගය කරන්නේ තම ජීවිතයයි. මේ නිසා ජීවිතය රැකගැනීම සඳහා ඒ සත්ත්වයා කවර දෙයක් වුව ද කරයි. ජීවිතය රැකගැනීමට, පවත්වාගෙන යෑමට උදවු ලබාදීම, උපකාර වීම නියම මිනිස්කමයි. ඔවුන්ට වඩා හැකියාවක් ඇති අප විසින් ඔවුන්ගේ හෝ ඒ සත්ත්වයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට උපකාර වීම යුතුකමකි. මහා සත්පුරුෂකමකි.

මරණ අවස්ථාවෙහි සත්ත්වයකුගේ මුහුණෙහි පැවැතිය හැකි ස්වභාවය ගැන සිතන්න. අසරණභාවය ගැන සිතන්න. වේදනාව කෙතරම්දැයි ඔබට දැනේවි.

එහෙත් කෲර හදවතකට අනුකම්පාවක් ඇති නොවෙයි. තමන් කරන දෙයෙහි භයානක බව නොදැනේවි. තමන්ට මතුවට විඳින්නට සිදුවන අපා දුක් ගැන නොවැටහෙයි.

සතුන් මැරීම සිදුකරන බොහෝදෙනකු එසේ කරන්නේ මරණ මොහොතෙහි ඒ සත්ත්වයා විඳින වේදනාව ඔහුට නොතේරෙන නිසාය.

බුදුරජාණන් වහන්සේ මිනිස් සිතෙහි ඇතකරගත හැකි උසස් සිතුවිලි හතරක් පෙන්වා දුන්සේක. ඒ මෛත්‍රිය, කරුණාව මුදිතාව හා උපේක්ෂාවයි. මෙවැනි ගුණ ඇත්තාට සතුන් මරන්නට සිතෙන්නේ නැත.

පින්වතුනි, අප ලොව්තුරා අමා මෑණී බුදුපියාණන් සතුන් කෙරෙහි දයාව නැති අය වසලයන් සේ දක්වා වදාරා ඇත. සතුන්ට හිංසා පීඩා වධ බන්ධන ආදිය කරනවිට, ඒවායේ ඇති අමාරුකම, අපහසුව, දුක, වේදනාව කියා පෙන්වන්නට පුළුවන්කමක් නැතිකම කියා අසරණ වන සතුන්ට දයාව දැක්වීම මිනිස් යුතුකමකි. ඔවුන්ට මිනිසුන්ට මෙන් හඬා වැළපෙන්නට පුළුවන්කමක් ද නැත. තමන්ගේ දුක කියා ගන්නට හැකි ක්‍රමයක් ද නැත. එතරම් දුර්වල අකුසල ශක්තියකින් ඉපිද ඇති සතුන්ට අප කොතරම් දයාව අනුකම්පාව, කරුණාව දැක්විය යුතු ද?

මරනු ලබන සියලුම සතුන් මිය යන්නේ තදබල වෛරී සිත් ඇතිව වේදනාවෙනි. ක්‍රෝධයෙනි.

පන්සිල්වල ප්‍රධාන වන ශික්ෂාපදය ලෙස සත්ත්ව ඝාතනයෙන් වැළකීම හෙවත් සතුන් නොමැරීම දක්වන බැවින්ම එහි වැදගත්කම සිතාගත හැකිය. ලෝකයෙහි කොයිතරම් දේ තිබුණත් එහි ඇති ප්‍රධානතම වස්තුව වන්නේ ජීවිතයයි. ජීවිත නැත්නම් ලෝකයෙන් ඇති වැදගත් දෙය කුමක් ද?

පව් කිරීමේ හේතුවෙන්ම මස් කන සතුන්ව උපදින සිංහ, ව්‍යාඝ්‍ර, බලු, බළල්, නයි, පොළොන් ආදී සතුන් බඩගිනි වූ විටම සතුන් මරයි. මෙවැනි භවවල උපත ලබන්නේ ද පසුගිය භවවල අකුසලයන් රැස්කළ වූවන්මය.

යම්කිසි ජීවියකු මැරීමත්, මැරවීමත්, මැරීමට පෙලඹවීමත්, අනුබල දීමත් යන කොයි දේත් බරපතළ අකුසල කර්මයන්ය. අන් අය පෙලඹවීම අනුන්ද තමන් කරන වරදට යොමුකරවීමේ චෝදනාවට ලක්විය යුතුය. තමන්ගෙන් තමන්ටත්, අනුන්ටත් යම්කිසි සේවයක්, යහපතක් සිදුකර දීම මිස අයහපතට මඟ සැලසීම බලවත් අපරාධයකි.

ජීවිත විනාශ කරනවාට වඩා ජීවිත ආරක්ෂා කරදීම ම වැදගත්ය.

අපෙන් අනුන්ට යහපතක් වනසේ ජීවත්වනු මිස, අයහපත් වනසේත්, විනාශයක් වනසේත් ජීවත් නොවිය යුතුය.

මිනිසත්ව උපන් අප කළයුත්තේ අනුන් නොමඟ යැවීම නොව අනුන් සුමඟ යැවීමය. අනුන් ආරක්ෂා කිරීමය. මැරීමත් මැරවීමත් දෙකම වැරැදි බව පෙන්වා දීමය.

මැරීමට හෝ මැරවීමට අනුබල ලැබෙන කිසිවක් නොකිරීමය.

පින්වතුනි, මා දන්නා පවුලක පියෙක් සම්බන්ධ කතාව ඔබ ඇසුවහොත් යළි කිසි දිනක පර පණ නැසීමට සම්බන්ධ වන්නේ නැත. ඒ පවුල ජීවත්වූයේ ගම්මානයක් ඇතුළත. ගහකොළ, සතුන් වටපිටාව බොහොම සුන්දරයි. මේ පියා නිතර නිතර සතුන්ට මදු වැල් බඳිනවා. ඒවා ට හසුවූ සතුන් කැලේදීම පුලුස්සාගෙන කනවා. හරියට මස්වැද්දෙක් වගේ. මේක ඔහුගේ විනෝදාංශය වෙලා. අන්තිමේදී මොහු ලෙඩ වුණා. සතුන් කෑ ගහන හඬවල්වලින් කෑගහන්න ගත්තා. සිවුපාවුන් වගේ යන්න ගත්තා. හරිම ශෝචනීයයි. ඔහුගේ අවසන් කාලය ගතකළේ තනිකරම වන සතකු වගේ. දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵලදීලා... ගමේ හැමෝම හූල්ල හූල්ල කියන්න ගත්තා.

සත්‍ය කතාවක් ඒක. ඔහු මිනිසත් භවය ලැබුවාට ගතකළේ තිරිසන් භවයක්. ලැබූ මිනිසත් භවයෙන් ප්‍රයෝජන ගන්න බැරි වුණා. මිනිසකුව උපත ලබා සතකුව මියැදුණා.

බලන්න පින්වතුනි, සත්ත්ව ඝාතනයේ ආනිසංසය. පර පණ නැසීම එතරම්ම භයානකයි.

සසර දුකින් එතෙර වන්නට නම් සත්ත්ව හිංසනයෙන්, සත්ත්ව ඝාතනයෙන් අත්මිදිය යුතුමය.

පින්වත් ඔබ කවර හේතුවක් නිසාවත් සතකු නොමැරීමට අදම අධිෂ්ඨාන කරගන්න. කවරකු වුව තත්පරයක් හෝ ජීවත්වීමට ආසා කරන්නේය. එහෙයින් එම ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතුය.

 

2020/02/05 තරුණි බලන්න

 

අනුශාසනාව ශාස්ත්‍රපති පූජ්‍ය

කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ