ඉවසීම පුහුණු කිරීමෙන් කරදරවලට පිළිතුරු සපයන්න

මාර්තු 4, 2020

 

අනුශාසනාව

රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය රදාවඩුන්නේ

ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ

ධර්මය ඉගෙන ගැනීමත් ඒ ධර්මය අවබෝධ කරගැනීමත් අපේ ජීවිත ජයග්‍රහණයටම හේතු වේ. ඔබ මේ ජීවිතයේ විවිධ කරදර, හිරිහැරවලට ලක්වී ඇති. කරදර ඇයි අපට කරදර කරන්නේ ? මෙහෙම ඔබ හිතන වාර අනන්තයි නේද ?

එහෙත් සමාජයේ ජීවත්වීමේ දී අපට කරදරකාරී පුද්ගලයන් අප නොරුස්සන පුද්ගලයන් සමඟ වුවත් අපට නිරන්තරයෙන් කටයුතු කරන්න සිදුවෙනවා. අප අවබෝධ කරගත යුත්තේ එවන් අවස්ථාවන්හිදී කරදරකාරී පුද්ගලයන් සමඟ කටයුතු කරන්නේ කොහොම ද? යන්නයි.

පින්වත් දුවේ පුතේ මුලින්ම වැදගත්වන්නේ කරදරකාරී පුද්ගලයන් යනු අපේ ජීවිතයේම කොටසක් විත්තිය පිළිගැනීමයි. එය තේරම් ගත්තාම, කරදරකාරී පුද්ගලන් සිටීම අමුතුම දෙයක් නොවන බව අවබෝධ වේවි.

ඔබ කුමක් කළත්, ඔබ කොහේ ගියත්, ඔබ කොයි විදිහට හැසිරුණත් ඔබට නොරුස්සන පුද්ගලයන් මුණ ගැසීම වළක්වන්න බැහැ. මුල්ම කාරණය තමයි කරදරකාරී පුද්ගලයන් නැත්නම් ඔබ නොරුස්සනා පුද්ගලයන් සිටීම වෙන්න බැරි දෙයක් කියා නොසිතා සිටීමයි.

 

කරදර ජීවිතයට ආශීර්වාදයක්

 

කරදරකාරී පුද්ගලයන්, කරදරකාරී අවස්ථා අරුමයක් නොවෙයි. එය ජීවිතයේ යථාර්ථයක් පමණි.

මීළඟට ඉගෙන ගත යුතු පාඩම වන්නේ මේ කරදරකාරී පුද්ගලයන්, කරදරකාරී අවස්ථාවලින් වැඩි හරියක් ඉස්මතු වෙන්නේ වෙන කොහෙන්වත් නොව ඔබ තුළින්ම බව වටහා ගැනීමයි.

ඔබ කරදරකාරී පුද්ගලයන් දැක තිබෙනවා ද? සමහරවිට ඔහු ඔබේ සැමියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇය ඔබේ බිරිය වෙන්න පුළුවන්. නැත්නම් පවුලේ නොවන කෙනෙක් වෙන්නත් පුළුවන්. එවැනි අය ඔබේ ජීවිතයට මුණ ගැසී ඇත්නම් ඒ ඔබේ කර්මය අනුවයි. ඒ නිසා ඔවුන් සමඟ ජීවත්වීමේ දී ඔබ කළ යුත්තේ ඉවසීම ප්‍රගුණ කිරීමයි. එයම ඔබට මහඟු ආශීර්වාදයක් බවට පත්වේවි.

 

වෙනස් කරන්නට පුළුවන්

 

මීළඟ කරුණ තමයි මේ කරදරකාරී පුද්ගලයන් නැත්නම් නොරුස්සා සහගත පුද්ගලයන් ඔබට වෙනස් කරගන්න පුළුවන් බව අවබෝධ කරගැනීම.

ඒ වගේම ඔබ මුහුණපාන ඔවුන්ගේ නොරුස්නා බව, නොරුස්නා ක්‍රියාවන් සදහටම පවතින්නක් නොවන විත්තියත් මතක තියාගන්න.

එවැනි ගතිගුණ උපතේ සිට මරණය දක්වා සදාකාලිකව පවතින දෙයක් නොවෙයි. ඒ නිසා ඔවුන්ගේ ඒ ගතිගුණ ඔබට වෙනස් කරන්න පුළුවන්.

 

ඡායා

ද උපාලි ජයරත්න

නිරූපණය - ද සංජනා