තම පුතු උදාර පුත්‍ර රත්නයක් කළ ආදරණීය මවටයි

මාර්තු 11, 2020

අනුශාසනාව ධර්ම විශ්ව කීර්තිධර, ධර්ම සංගනී ශාසනධජ, ශාස්ත්‍රපති

 

මඬුල්ලේ විජිතනන්දා භික්ෂුණීන් වහන්සේ

ලෝකය මිනිසාට පි‍්‍රයමනාප වූත් සුවදායකවූත් තැනක් කරන්නේ ගැහැනියයි කීම අතිශයෝක්තියෙන් ගෙතුණු කතාවක් නොවේ. ලෝකය සුවදායක කරන, පි‍්‍රයමනාප කරන ගැහැනිය සැබෑවටම ජීවිතය ගැන තෘප්තිමත් ද? බොහෝ දෙනාගේ පිළිතුර නැත යන්නයි. සතුට බෙදාදී ගැහැනිය දුක් උසුලන්නීය.

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වන කාලයේත් කාන්තාව අනේක දුක් ගැහැට විඳි වකවානුවකි. බ්‍රාහ්මණ ආධිපත්‍යයක් තිබූ ඒ කාලයේ ගැහැනියට ඉඩක් තිබුණේම නැත.

කිසිවිටෙක කිසිම හේතුවකට ගැහැනිය පවුලේ, සමාජයේ මුලසුන දැරුවේ ද නැත. එයට කිසිසේත් අවසරයක් නොවුණි. හරියටම කිවුවොත් ඇයගේ ජීවත්වීමේ අයිතිය උදුරා ගෙන තිබුණි.

පින්වතුනි, බ්‍රාහ්මණයෝ කාන්තාව බොහොම පවුකාර තැනැත්තියක්, අඥාන තැනැත්තියක් ලෙස සමාජයේ හංවඩු ගසා තිබුණි. විශේෂයෙන් ඔවුන්ගේ සමාජ ඉගැන්වීම වූයේ මේ ලෝකය මැවුවේ මහා බ්‍රහ්මයා කියලයි. බ්‍රහ්මයාට රුචි පරිදි මේ ලොව පවතින බව විශ්වාස කරනු ලැබුවා. මේ සාවද්‍යතාව නිවැරැදි කරමින් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ මහා බ්‍රහ්මයා ඇසට පෙනෙන කෙනෙක් නොවන බවයි. මේ ලොව දරුවකු උපද්දවන්නට මවක පියකු අවැසි බවයි.

“මාතා පිතරං හෝති” - අම්මා, තාත්තා තමයි මහා බ්‍රහ්මයා. පූර්ව ගුරුවරු වන්නේත් මවුපියන්. ඒ අයුරින් අම්මා තාත්තාගේ සෙනෙහසට මැදි වී දරුවෙක් මේ ලොවට දායාද වෙනවා. එතැනදී කාන්තාව මහා බ්‍රහ්මයාට සමාන වේ.

මේ අයුරින් පැහැදිලි කරමින් එදා සමාජයේ කාන්තාව විෂයෙහි වූ දුර්මතය බුදුරජාණන් වහන්සේ දුරු කළහ. මහා ප්‍රජාපතිය, යශෝදරාව වැනි කුල කාන්තාවන් භික්ෂුණී ශාසනයේ පැවිදි කරවා ගත්තා සේම පටාචාරා, කිසාගෝතමී, රජ්ජුමාලා වැනි කාන්තාවන්ට ද කිසිදු භේදයකින් තොරව බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා දුන් සේක. උන්වහන්සේ කාන්තාව සමාජ තත්ත්වය අනුව උස් පහත් කළේ නැත.උන්වහන්සේ නිරතුරුව දේශනා කළේ සියලු දෙනා ක්‍රියාවෙන් යහපත් හෝ අයහපත් වන බවයි. බුද්ධ ශාසනයේ පැවිද්දට කුලවත් කතුන්ට වගේම කුල හීන කතුන්ට අවසර ලැබුණා සේම කිසිදු භේදයකින් තොරව තනතුරු ද පැවරූහ. උන්වහන්සේ සෑම විටම කාන්තාවට නිසි තැන ලබාදුණි.

පින්වතුනි, බුදුන් වහන්සේ කාන්තාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේ ඇය මවක් ලෙසින් අසහනයෙන්, දුකෙන්, පීඩාවෙන් සිටියහොත් පවුලම, රටම දුගතියට පත්වන බව අවබෝධකර ගනිමිනි. ඇයට අසීමිත සංවිධාන ශක්තියක් තිබේ. දැන් බලන්න, විහාරස්ථානයේ කඨින පිංකම දෙස. ඇය මූලිකව පිළිවෙළකට එය සංවිධානය කරනවා. දිනපතා පන්සලේ දාන මාන සිදුවීමේ දී කාන්තාව ඉදිරියෙන්.

ඇය අවශ්‍ය කළමනා සූදානම් කර දානය පිසගෙන නිවෙසේ පිරිසක් පරිවරාගෙන පන්සලට එනවා. මේ සංවිධාන ශක්තිය ඇයට උපතින්ම උරුමවූවක්. සැබැවින්ම ඇය සමාජයේ ජීවනාලියයි. පවුලක වුණත් අම්මා නැතිවූ කල පවුල කඩා වැටෙනවා.

ඔබ අසා ඇති දුටු ගැමුණු රජ්ජුරුවන්ට යුද්දෙ ජයගන්න උපදෙස් දුන්න විහාර මහාදේවිය කියලා. ඇය රාජ කුමාරිකාවක්. අතීතයේ මුහුද ගොඩගලමින් ආ සුනාමියෙන් රට බේරගන්න ඇය මුහුදට බිලි වුණා. රට වෙනුවෙන් තම ජීවිතය පූජාකිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.

ඒ උතුම් වීරෝදාර කාන්තාව බිහි කරපු උදාර පුත්‍ර රත්නය තමයි දුටුගැමුණු කුමාරයා. එතුමන්ටත් රට එක්සේසත් කරන්න, රට සතුරන්ගෙන් බේරාගන්න නැඟී සිටින්න ශක්තියක් ආවේ අර දිරිය මාතාවගේ අසීමිත ශක්තියෙන්.

රටක් වශයෙන් දිරියෙන් ඉදිරියට යන්න රට ගොඩනඟන්න මුලින්ම කළයුත්තේ රටේ කාන්තා පරපුර ගැන යහපත්ව කටයුතු කිරීමයි. ඇයගේ මානසිකත්වය දියුණු කිරීමයි. ඇයව උසස් තැනකට නංවාලීමයි. මේ ලෙසින් කාන්තාවගෙන් පටන් අරන් රට ගොඩනඟන්න උත්සාහ ගත්තොත් එය 100% ක්ම සාර්ථක වේ.

අද වර්තමාන කාන්තාව දෙස බැලූවිට ඇය මහත් පීඩාවෙන් පසුවේ. අතීත කාන්තාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෘහණියක්. නිවෙසේ වැඩ ටික කර දරුවෝ බලා හදාගෙන සැමියාට ඉවුම් පිහුම් කර දෙන සෙනෙහබර බිරියකි. වත්මන් කාන්තාව අධ්‍යාපනය, රැකියාව, ගෘහ පාලනය, සමාජ සේවය මේ හැම භූමිකාවකම සැරිසරනවා. මේ සියල්ලට ඇය දක්ෂයි. එහෙත් ඇයට මේ භූමිකාවල නිවැරැදි ගමනක් යන්නට යහපත් සැමියකු අවැසිය. එසේ නොවුණු කළ ඇය අසරණ වේ.

අද අපේ රටේ මේ මොහොතේ දී කතුන් කී දෙනෙක් විදෙස් රටවල හුදකලා ජීවිත ගතකරනවා ඇත් ද?

බීමත්ව එන සැමියාගේ තාඩන පීඩන ඉවසාගත නොහැකිව දරුවන්ට කන්න බොන්න අඩුපාඩු මතු වූ කළ ඇය මෙවැනි තීරණ ගන්න ඇති. ඔවුන් ඒ රටවල විඳින සුවයක් නැත. මානසික පීඩන, කායික පීඩන එමටය.

ඇය කරන මේ උදාර මෙහෙය ස්වාමි පුරුෂයා ඇගයීමට ලක්කළ යුතුයි. එවිට ඒ ඒ කාර්යයන්හිදී ලක්වන අපහසුතාව මඟහැරේ. නැතිනම් “කොච්චර කළත් හොඳක් නම් නෑ, මට මේ ජීවිතේ එපා වෙලා” මෙහෙම කියන කාන්තාවට අත්වන ඉරණම අමුතුවෙන් පැහැදිලි කළයුතු නොවේ.

ඔවුන්ගේ මානසික අසහනය මූණෙන් පේන්න ගන්නවා. මේ අසහනකාරීත්වය සැමිය බිරිය දුරස් කරන්න හේතුවක්. ඔවුනොවුන් අතර රණ්ඩු සරුවල් ඇති කරවයි. ප්‍රශ්නය දුරදිග ගිය තැන දික්කසාදය උරුමයි.

මෙය අද සමාජයේ සුලබ කරුණකි. පින්වත්නි, මේ එළැඹි කාන්තා දිනයේදීවත් මේ තත්ත්වය තේරුම් ගන්න. පිරිමියාට අවැසි තැන ගැහැනිය ගෙන, හිතූ හිතූ පරිදි ඇය අතහැරිය නොහැකිය. උදාර පුත්‍ර රත්නයක් ලොවට දායාද කළ හැකි එකම වස්තුව ගැහැනියයි. ඇගේ සුරක්ෂිතතාවව රටේ අභිවෘද්ධියයි.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ ස්වාමියකු විසින් තම බිරියට ඉටුකළ යුතු යුතුකම් 05 ක් පෙන්වා දී තිබේ.

* ගරු බුහුමන් දැක්වීම

* අවමන් නොකිරීම

* පර අඹුවන් කරා නොයාම

* සැප ඉසුරු පාවාදීම

* අලංකාර ආභරණ ආදිය ගෙන්වා දීම

මේ යුතුකම් ඉටුකරමින් ඇයට යහපත් මානසිකත්වයක් ලබාදෙන්නේ නම් කාන්තාව ඇගයීමටත් ඇගේ අයිතිය තහවුරු කිරීමට එක් දිනයක් වෙන් කිරීම අවැසි නොවේ.

පින්වතුනි, මේ නිසාම දියණියක, සොයුරියක, යෙහෙළියක, බිරියක, මවක, මිත්තණියක, සමාජ සේවිකාවක වන ඇය ආරක්ෂා කරගැනීම සැමගේ වගකීමකි. ඇයට ලැබෙන ආදරය, කරුණාව, මෛත්‍රිය, රැකවරණය ඔබේම ජීවිතයට වක්‍රාකාරයෙන් ලැබෙන මහත් ආශීර්වාදයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.