සියලු සත්ත්වයන් සුවපත් වේවායි ප්‍රර්ථනා කරන්න

ඔබේ ජීවිතයට ලැබිය යුතුම සුන්දරතම ප්‍රතිශක්තිකරණය එයයි
අප්‍රේල් 1, 2020

අපේ ස්වාමින්වහන්ස මේ වන විට චීනයේ කොරෝනා නම් වෛරසයක් ව්‍යාප්ත වෙමින් යන අතර අද වන විට අපගේ මවු රට මෙන්ම රටවල් ගණනාවක් මෙම ව්‍යසනයට ගොදුරු වෙමින් පවතී. සමහර රට වල ගම්මාන පිටින් මෙම ව්‍යසනයට ගොදුරක් බවට පත්ව ඇත. එම වෛරසයට ගොදුරු වූ රෝගින් මියයාමත් සමහර රෝගීන් සුවපත් වීමත් සිදුවේ. මේ රෝගයට හේතුව සත්ත්ව මාංශ අනුභවය නිසා බවටද තොරතුරු ලැබෙමින් පවතිනවා. මේ පිළිබඳ ධර්මානුකූල පැහැදිලි කිරිමක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා....

මෙහෙමයි මෙම ව්‍යසනය ධර්මානූකූලව බලන කළ භික්ෂුවක් ලෙස මට පෙනෙන්නේ සුන්දර ධර්මතාවක්. බොහොමයක් චීන මිනිසුන් විවිධ සතුන් අමු අමුවේ මරාගෙන කනවා යන්නත් ඔබ සඳහන් කළා? කැරපොත්තෙක් වේවා, මීයෙක් වේවා, සර්පයෙක් වේවා, එහෙමත් නැත්නම් ගෙම්බෙක් වේවා කවුරුන් හෝ අමු අමුවේ මරාගෙන කනවානම් එතන තියෙන්නේ සුන්දර එහි පස්සික ධර්මයක්මයි. බුදු රජානන්වහන්සේ කියනවා ධර්මය විවෘතයි බබලනවා කියලා ධර්මය කියන්නේ කුසලයයි අකුසලයයි දෙකම යන්න අප සිහියේ තබාගත යුතුයි. කුසලයත් බබලනවා අකුසලයත් බබලනවා, තේරුණාද? ඒ නිසා චීන ජාතිකයෙක් වේවා අපේ ශි‍්‍ර ලාංකිකයෙක් වේවා , කවුරුන් හෝ වේවා සත්වයෙක් මරාගෙන කනවානම් භික්ෂුවක් හැටියට මම නම් දකින්නේ සුන්දර ධර්මයක් මයි. ඒ ධර්මය තුළ බුදුරජානන් වහන්සේගේ ධර්මයේ පමණයි එවැනි සුන්දර අර්ථයක් මතු කරලා දෙන්නේ, තේරුනාද? කර්මය කර්මථල විශ්වාසය, පටිච්ච සමුප්පන්න නැවත උපත එතකොට එවැනි දෙයක් තුළින් අර තිරිසන් සතෙක් මරා ගෙන කද්දි මොකක් ද දකින්නේ? දැන් ඔබ දකින්න තලගොයෙක් , කබරයෙක් , මොණරෙක් වැනි සතෙක් , උන් ජීවත් වන්නේ වෙනත් සත්තු මරාගෙන කාලා. එක තලගොයෙක් දවසකට ගෝණුස්සෝ කීදෙනෙක්, පත්තෑයෝ කී දෙනෙක්, කැරපොත්තෝ කී දෙනෙක් කනවද? ඔබ මෙන්ම සමාජයම එය දකිනවා. ඔය සතුන් මැරිලා පටිච්ච සමුප්පනව මිනිසුන් උණාට පස්සේ ඒ මනුස්සයාට ගෝණුස්සෙක්, පත්තෑයෙක්, සර්පයෙක් කනවා කියන එක මහ දෙයක් නෙවෙයි. කුමන ජාතිකයෙක් වුණත් ඔය ආකාරයෙන් සතුන් අමු අමුවේ මරාගෙන කනවා නම් ධර්මානුකූලව ඔවුන් ගිය ආත්ම වල කබරයෙක්, කටුස්සෙක් වගේ අනෙක් සතෙක් මරාගෙන කාපු සතෙක්මයි.

සීලය දුර්වල වන සමාජයක තිරිසන් සතෙකුට මිත්‍යාදෘශ්ටික මනුස්සයෙක් වනවා කියන කාරණය එච්චර අමාරු දෙයක් නෙවෙයි. තේරුණාද? ඒ තිරිසන් සතා මැරෙන වෙලාවේ මනුස්සයා කෙරෙහි යම් තෘෂ්ණාවක් ඇති වුණොත් එයා අනිවාර්යෙන්ම මවු කුසක මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එම මිත්‍යාදුශ්ටික මනුස්සයා විවිධ සතුන් මරාගෙන කලා ඊළඟ ආත්ම භවයේ නැවත සතර අපායට වැටෙනවා.

අපේ ස්වාමීන් වහන්ස නිය සිලට ගත්ත පස් ප්‍රමාණයක් වැනි ඉතා ස්වල්ප පිරිසක් පමණක් නැවත මනුස්ස භවයන් වෙත පැමිණෙනවා යන්න ධර්මයේ සඳහන් වෙනවා නේද?

එසේ සඳහන් වන්නේ බෞද්ධයෙක් වීමයි. කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ දුෂ්කර වෙන්නේ බුද්ධෝත්පාද කාලයක බෞද්ධයෙක් වීම කියන දුර්ලභ සිදුවීමයි. සීලය දූර්වල, සම්මා දිට්ඨිය දූර්වල සමාජයක මිත්‍යාදෘශ්ඨික මනුස්ස උපතක් ලැබීම සාමාන්‍ය සිදුවිමක් පමණයි. අද සමාජය යන්නේ එතෙන්ටයි. බදුරජාණන්වහන්සේ සුත්‍රගත ධර්මයේ පැහැදිලිව දේශනා කරනවා මනුස්සයාට ආයුෂ 100ක් වෙද්දි ඒ කියන්නේ මේ කාල වකවානුව තුළ මනුස්සයා විශම ලෝභය, විශම රාගය, මිඡ්චා ධර්මයන් බලවත් අකාරයෙන් පැතිරෙනවා කියලා. අන්සතු දේ අයිති කර ගැනීමේ ආශාව වැඩිවීම නිසා චීනය, ඇමෙරිකාව වැනි රටවල් බලවත් ආකාරයෙන් අන් සතු රාජ්‍යයන්, අන් සතු වස්තුව, අයිතිකර ගැනීමේ බලවත් ලෝභයකින් පෙළෙනවා. එම නිසා මුළු ලෝකයම පිරිහීිමට ලක්වෙනවා. දැන් මේ චීනයේ පැතීරි යන ව්‍යසනය සත්තු මැරීම නිසා සිදුවන්නක් නම් නොවෙයි. එය හොඳට තේරුම් ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. බුදු රජාණන්වහන්සේ ජීවමානව සිටින කාලයේ මුළු විශාලා මහ නුවරම විනාශ වෙලා ගියා. ඒ විශාලාව විනාශ වෙලා ගියේ රෝග මෙන්ම දුර්භික්ෂයෙන් විනාශවෙලා ගියේ සතුන් මරලා නම් නෙවෙයි එනම් කාය කර්ම කරලා නෙවෙයි. මනෝ කර්මයන් සිදුකරලයි. ලිච්ඡවින්ගේ මාන්නය නිසා, ආඩම්බර කම නිසා, ඇතිකරගත්තා වූ ලෝභ , ද්වේශ , මෝහ මනෝ කර්මයන් නිසාම එදා එම විශාලාව විනාශවෙලා ගියා. අද මේ ලෝකය තළ යම් විනාශයක් සිදුවන්නේ නම් එය සිදු වන්නේ මනුස්සයාගේ මනෝ කර්මයන් නිසාමයි.

 

02 කොටස මීළඟ කලාපයෙන්

රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ දේශනා කළ කාලීන ධර්ම දේශනාවකි.