මේ විනාශයෙන් මිදෙන්නට නම් ඔබ සෙවිය යුත්තේ අවිහිංසාවයි

අප්‍රේල් 8, 2020

දිනක් සච්චක නම් බමුණකු බුදුන් හමුවට ඇවිත් කියනවා මනෝ කර්මයන්ට වඩා කාය කර්මය බලවත් කියලා. එවිට බුදුරදුන් දේශනා කළේ, නැත සච්චක කාය කර්මයට වඩා මනෝ කර්මයයි බලවත් යනුවෙනි. එහෙත් සච්චක එය පිළිගත්තේ නැහැ.

“සච්චක, ශක්තිමත් පුරුෂයෙක් ඉන්නවා යැයි සිතමු එයා මුවහත් කඩුවක් ගෙනත් කියනවා මම මේ කඩුවෙන් මුළු නගරෙම විනාශ කරනවා කියා. කරන්න පුළුවන් ද? බැහැ. රාජ පුරුෂයන් ඔහුව අල්ලා හිර කරාවි. එසේම යම් ඍෂිවරයෙක් ඉන්නවා. ඔහු මේ නගරය අළුවේවා යි ශාපයක් කරනවා. එය ඉටුවේදැයි බුදුරදුන් සච්චකගෙන් ඇසුවා. සච්චකගේ පිළිතුරු වූයේ “ඔව්” යනුවෙනි. දැන් ඔබටම අවබෝධ වෙනවා නේද කාය කර්මයට වඩා මනෝ කර්මය බලවත් බව.

ඔබ දැක තිබෙනවා ද චීන ජාතිකයෙක් සිනාසී හිස නමා කතා කරනවා. නැහැ නේද? ඔවුන් හරි මාන්නාධිකයි. එහෙත් ජපන් ජාතිකයා ඊට වෙනස්. මෙහෙම බලනවිට සියලු ජාතීන් අතරින් ලෝකයේම මාන්නාධික චීන ජාතිකයායි. ඔවුන් සුපිරි රටක්. සුපිරි ජාතියක් ලෙසින් ලෝකයේ පළමු තැනට ඒම පිළිබඳ දැඩි ආඩම්බරයකින් පසුවෙනවා. ඒ හේතුවෙන් ලෝභ, ද්වේෂ, මෝහය ඔවුන්ව ගිලගෙන.

දානය, සීලය, මෛත්‍රිය සමාධිය පවතින්නේ නම් එවැනි විනාශයක් ඇතිවන්නේ නැහැ.

ඔබ හිතනවා ඔබ අතින් අකුසල් සිදුවන්නේ නැහැ කියලා. නමුත් ඔබ කරන්නා වූ කුඩා මනෝ කර්මයක් අකුසලයක් වන්නට ඉඩ තිබේ. තිරිසන් සතකුට දෙන දානයේ ආනිසංස සියයක් ඇති බව බුදුරදුන් වදාළා තිබේ. ඒ වගේම දුස්සීල මිථ්‍යා දෘෂ්ටිකයාට දෙන්නා වූ දානයේ ආනිසංස දාහක් බවත් උන්වහන්සේ දේශනා කර තිබේ. සිල්වත් මිථ්‍යා දෘෂ්ටිකයාට දෙන දානයේ ආනිසංස දස දහසයි.

තවද තෙරුවන් සරණ ගියා වූ අයකුට දෙන්නා වූ දානයෙහි ආනසංස ලක්ෂ ගණනාවකි.

ඔබ දැන් හිතන්න තිරිසන් සතාට දෙන දානයේ ආනිසංස සියයක් නම් ඒ සතාගේ ජීවිතය නැති කළහොත් ඔබට ලැබෙන විපාක ඵලය ගැන. දැන් ඔබට සාධාරණත්වය අවබෝධ වනවා නේද? ඔබ බලන්න මේ සමාජය තුළ තිරිසන් සතාට කරන්නා වු හිරිහැර කෙතරම්ද කියලා. මොන අකුසල් කන්දක් ද මේ එකතු කර ගන්නේ ? පෙර මා සඳහන් කළ කතාවේදී බුදු රදුන් සච්චකට කියනවා ඍෂිවරයකුගේ බලයෙන් ලෝකය අළු කළ හැකි බව.

ඒ ඔහුගේ සීලය නිසයි. සීලයේ පරිපූර්ණභාවය මතයි. සත්‍ය වශයෙන්ම එවැනි මානසික බලයක් ඇති අයකුට ලෝකයට යමක් කළ හැකියි. විපත්තියක් ඇතිකර ලෝකය නැති කරන්න පුළුවන්. යුද කලකෝලාහල ඇතිකරන්න පුළුවන්.

දැන් ඔබට හිතෙනවා ඇති සීලයක් ඇති අයෙක් තව කෙනකුට සාප කරනවා ද කියලා. මෛත්‍රියක් ඇති අයකු ලෙසින් හෙතෙම සාප කරාවිද කියලා. නැහැ. උන්වහන්සේ ධ්‍යාන බලයෙන් ඉල්ලා සිටින්නේ සංස්කාරකයන්ට අනුව ලෝකය පවතීවා කියලයි. වෛරය වුව ධර්මයෙන් ප්‍රකාශ කරයි. තමාට කරන කායික, මානසික පීඩා හමුවේ මෙවැනි අය ඉල්ලා සිටින්නේ සියල්ල සිදුවියි යුතු අන්දමට සිදුවන්න කියලා. සාධාරණත්වය ඉස්මතු කරන්න කියලයි.

දැන් හිතන්න ඍෂිවරයා එලෙස හිතනවා නම් ඔය මිනිසුන් ඝාතනය කරන සතුන් විසින් මියැදෙන මොහොතේ මොන මොන වේදනා, සාප වා තලේට මුසුකරනවා ඇති ද?

අපි මනුස්සයන්ගේ හිත් පීඩා කරන විදිහට, ඔවුන්ට හිරිහැර කරදර කරන විදිහට ලෝකය මේ ලෙසින්වත් තිබීම ගැන සතුටු විය යුතුයි.

මේවා හේතුවෙන් ඇති කර ගන්නා කාය කර්මයන් එකතු වී මනෝ කර්මයන් හා සම්බන්ධ වී තමයි ඔය විපාක දීම ඇති වී තිබෙන්නේ.

මේ සම්මා සම්බුදු ශාසනය තුළ සීලය ආරක්ෂා කරගෙන යමෙක් ජීවත් වේද හෙතෙම ස්වභාව ධර්මයා විසින්ම රකී. ලෝකයේ මොන මොන රටවල් විනාශ වුණත් අපේ රට කිසිසේත්ම විනාශ වන්නේ නැහැ. ඔබ කුසලයටම නැඹුරු වන්න. අප්‍රමාදීව කුසල් රැස් කරන්න.

බුද්ධ දේශනාවේ අලි ඇත්තුන්ගේ මාංස, නයි මාංස අනුභව කරන්නට එපා කියලා තියෙනවා. ඒ වගේම වළස්, සිංහ, මස් අනුභව කිරීම ද අකැප බව උන්වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ සඳහා උන්වහන්සේ හේතුපලය ද දේශනා කර තිබෙනවා.

එදවස භාරතයේ අලි, ඇත්තු, නයි දේවත්වයෙන් අදහා තිබෙනවා. ඒ හේතුවෙන් එම සත්ත්ව ඝාතනයට ඉඩ නොතිබීමක් වශයෙන් උන්වහන්සේ එම සත්ත්ව මාංසය අකැප ලෙස වදාළා තිබෙනුයේ.

කොහොම වුණත් එදා විශාලා මහනුවර ඇති වූ දුර්භික්ෂ බියම අද මුළු ලෝකයම ගිලගෙන. ඔබ යහපත් මනෝ කාය ශක්තියක් පවත්වා ගතයුත්තේ මෙවැනි කාලයකදීයි.

අධික මාන්නය, අධික ආඩම්බරකම, අන්සතු දේ අයිති කරගැනීමේ බල තණ්හාව වැනි අකුසල මානසික කර්මයන්ගෙන් ඔබ හැකි ඉක්මනින් ඈත් වන්න. චීනය, ඇමරිකාව තවමත් ඉන්නේ අන්සතු දේ තමන් සතුකර ගැනීමේ බල තණ්හාව තුළයි. ලෝකය තුළ මෙවැන්නක් ඇතිවීම පිළිබඳ චක්ඛවත්තී සීහනාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

ලෝභ, ද්වේෂ, මෝහ තිබෙන තාක් මෙවැනි ආපදා, ව්‍යසන, වසංගත මතුවන්නට පුළුවන්.

ඔබට මේ විනාශවලින් ගැළවෙන්නට උත්සාහ දරන්නෙක් නම්, මෙය අවබෝධ කරගන්න. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදෙන්න. නොඑසේනම් පෙරුම්කායම්. විසබීජ නාශක, මුඛ වාඩගම් සොයා මෙයින් ගැළවිය නොහැකියි.

එලෙස සොයා මිදුණා කියාල හිතන්න. ඒත් එය සදාතනික නැහැ. යළි යළි මතුවිය හැකියි.

නිවැරැදි සිහිය ඇතිකර ගන්න. ධර්මතාව අවබෝධ කරගන්න. මේ සිදුවන්නේ අකුසල් විපාකයක් බව තේරුම් ගන්න.

සියලු සත්ත්වයෝ සුවපත් වේවා කියලා නිරතුරුවම මෙනෙහි කරන්න. මේ විනාශයෙන් මිදෙන්නට නම් ඔබ සෙවිය යුත්තේ අවිහිංසාවයි.

මගේ කයෙමි දුක් දුරු වී සිතෙහි දුක් දුරු වී නිදුක් වෙත්වා!

සුවපත් වෙත්වා !

මා මෙන්ම සියලුම සත්ත්වයන්ගේ කයේ දුක් දුරු වී සිතෙහි දුක් දුරු වී නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

සුවපත් වෙත්වා !

මා මෙන්ම දස දිසාවේ සත්ත්වයන්ගෛ් සිතෙහි දුක් දුරු වී නිදුක් වෙත්වා! සුවපත් වෙත්වා!

දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

 

ඔබ උදේ සවස මේ ප්‍රාර්ථනාව හදවතින්ම කරන්න.

එවිට ඔබේ ජීවිතයට ලැබිය යුතුම සුන්දරතම ප්‍රතිශක්තිකරණය ලැබෙනු ඒකාන්තයි.

 

 

රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ දේශනා කළ කාලීන ධර්ම දේශනාවකි.